ජාතික වකුගඩු රෝහලට මුල් ගල් තැබීම හෙට

0
210
Patients receive dialysis treatment in the Anuradhapura Teaching Hospital's dialysis clinic.
Patients receive dialysis treatment in the Anuradhapura Teaching Hospital's dialysis clinic.
Patients receive dialysis treatment in the Anuradhapura Teaching Hospital’s dialysis clinic.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත‍්‍රශීලි පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා මුල් ගල් තැබීම හෙට (06) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරේ.

වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් ඉදිකෙරෙන මෙම රෝහල දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස ඉදි කෙරෙනු ඇත.
පොළොන්නරුව මහ රෝහලට නුදුරින් 28 කණුව ප‍්‍රදේශයේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12,000 කි. මෙම සම්පූර්ණ මුදලම චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබීම විශේෂත්වයකි.
උතුරු මැද පළාතේ පමණක් නොව රට පුරා විසිරී සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකෙරෙන අතර, ලොව නවීනතම පරික්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විතය. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම, රුධිර කාන්දුකරන සේවා ඇතුළු සායනික සේවාවන්, රසායනාගාර සේවාවන්, උපදේශන සේවාවන් ආදී සියලු සේවාවන් මෙම රෝහල මගින් සැපයෙන අතර මූලික ප‍්‍රතිකාර ඒකකයක් සහිත බාහිර රෝගී ප‍්‍රතිකාර ඒකකයක්, ඇඳන් 200 කින් යුත් නේවාසික රෝගී ප‍්‍රතිකාර ඒකකයක්, රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් සහ නවීන තාක්ෂණික පහසුකම්වලින් යුත් ශල්‍යාගාර, දැඩි  සත්කාර ඒකක දෙකක් සහ ලේ බැංකුවක් මීට ඇතුළත්ය.
ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග අතර ප‍්‍රධානත ම රෝගයක් වන වකුගඩු රෝගය මේ වන විට ප‍්‍රබල සමාජ ගැටළුවක් බවට පත්ව ඇත. ඒ පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමුව තිබෙන අතර වකුගඩු රෝගය පාලනය සහ නිවාරණය වෙනුවෙන් මෙන්ම ප‍්‍රතිකාර අංශ ශක්තිමත් කිරීමට ද ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය.
මීට සම්බන්ධ විවිධ ආයතන සම්බන්ධීකරණය වෙනුවෙන් වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායක් පිහිටුවීමට ද ජනාධිපතිතුමා පියවර ගත්තේය. මෙම වැඩපිළිවෙළට ජාත්‍යන්තර සහය ද පුළුල් ලෙස ජනාධිපතිතුමා වෙත හිමිව තිබෙන අතර, මෙම රෝගයට මූලික හේතුව සොයාගැනීම ඉලක්ක කරගත් පර්යේෂණ සඳහා ශ්‍රී ලංකා රජයට සහයවීමට  ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා සහ තාක්ෂණ සංවිධානය ඉදිරිපත්වී සිටී.
පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේදී පෝස්ටර් සහ කටවුට් සඳහා ලැබුණු පරිත්‍යාග තැන්පත් කරමින් ආරම්භ කළ වකුගඩු අරමුදල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට පත්වීමත් සමග ජාතික වකුගඩු අරමුදල බවට ප‍්‍රකාශයට පත්කෙරුණු අතර ඒ සමග ද මේ වන විට දෙස් විදෙස් පරිත්‍යාගශීලින් රැසක් අත්වැල් බැඳගෙන සිටි.
වකුගඩු රෝගය පවතින ප‍්‍රදේශවල ජනතාවට ජල පෙරණ යන්ත‍්‍ර ලබාදීම, වකුගඩු රෝගයෙන් මව හෝ පියා අහිමි වූ පාසල් දරුවන්ට තම අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, වකුගඩු රෝගින්ගේ භාරකරුවන් වෙනුවෙන් අනුරාධපුර මහනුවර සහ ගිරාඳුරුකෝට්ටේ රෝහල්වලට අනුබද්ධ නේවාසිකාගාර සංකීර්ණ ඉදිකිරීම, වකුගඩු රෝගයට ගොදුරු වූ පවුල්වල ජීවනෝපාය මාර්ග නගා සිටුවීම වැනි සුබසාධන වැඩසටහන් මෙම අරමුදල හරහා සිදු කෙරේ. එමෙන්ම වකුගඩු රෝගින් වෙනුවෙන් මසකට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට ද රජය පියවර ගෙන ඇත. මෙම රෝගය ව්‍යාප්තව ඇති ප‍්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම වෙනුවෙන් රජය ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව පුළුල් වැඩසටහනක් ක‍්‍රියාත්මක කර තිබේ.
මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය මුලිනුපුටා දැමීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ගෙන යන සංග‍්‍රාමයේදී සෞඛ්‍ය අංශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා පසුගිය කාලය තුළ සුවිශේෂ අවධානයක් යොමු කර තිබේ. ඒ යටතේ ලංකාවේ මුල්ම වකුගඩු රෝහල වන මාලිගාවත්ත ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ජනාධිපතිතුමා පෞද්ගලිකවම මැදිහත්වී කටයුතු කළේය.

එමෙන්ම යාපනය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, බදුල්ල  මහ රෝහල සහ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල යන රෝහල්වල වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරු සහිත වකුගඩු ඒකක පිහිටුවීම සඳහා සැලසුම් කර තිබේ. වකුගඩු සායන, රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන, වෛද්‍ය විශේෂඥයන්, ගිලන් රථ සේවා, සාත්තු සේවා, වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථාන, වකුගඩු රෝගින් පිළිබ`ද තොරතුරු එක්රැස් කිරීම වැනි කරුණු කෙරෙහි මේ වන විට විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරයි.


 www.news.lk/