ජාතිවාදී වී රට අස්ථාවර නොකර මධ්‍යස්ථ ප්‍රවේශයකට ගමන් කරන්න – ඇමැති නවීන් දිසානායක

0
137

IMG_0008

 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 261 දෙනෙක් බවට දැනට තහවුරු වී තිබෙන බවත්, එයින් 174 දෙනෙකු වෙනුවෙන් මේ වන විට වන්දි ලබා දී ඇති බවත්, තුවාල සිදුවූ 407 දෙනෙකු අතරින් දැනට වෛද්‍ය වාර්තා ලැබී තිබෙන 226 දෙනෙකු වෙනුවෙන් වන්දි ලබා දී තිබෙනවා බවත් ඉතිරි ස්යළු දෙනාගේම වෛද්‍ය වාර්තා ලැබුණු විගස වන්දි ලබා දීම සඳහා පියවර ගන්නා බවත් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඇමැතිවරයා මෙසේ ඉල්ලා සිටියේ රජයේ සංවර්ධන කටයුතු සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ කාලීන අභියෝග පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය.

IMG_0014අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

මෙයට අමතරව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ආබාධිත වූ පුද්ගලයන්ට විදේශගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවල රජය විසින් වියදම් දැරීම හා වින්දිතයන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා කටයුතු කිරීමට ද රජය විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද
විනාශයට පත් දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රජය විසින් ලබා දී තිබෙන බවත් කී ඇමැතිවරයා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථාන ගොඩනැගිල්ල පුළුල් කරලීම උදෙසා වරාය අධිකාරියට අයත් පර්චස් 9 ක ඉඩම් ප්‍රමාණයක් ද ලබා දී ඇති බව ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ (සංවර්ධන සන්නිවේදන ) නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාද සහභාගි විය.

නවීන් දිසානායක මහතා මෙසේද ප්‍රකාශ කළේය.

අද දින විශේෂයෙන් වත්මන් දේශපාලන තත්ත්වය සහ ඒ පිළිබඳ රජයේ මතවාදය ඉදිරිපත් කිරීම තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මගින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ.
විශේෂයෙන් සඳහන් කළ යුතුයි අප්‍රේල් 21 වැනිදා, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අපිට ත්‍රිවිධ හමුදාවත්, බුද්ධි අංශත් පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා තවුහිද් ජමාත් සංවිධානය සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රිය කරලා තිබෙනවා කියලා. මේක විශාල ජයග්‍රහණයක්. ප්‍රහාරයෙන් දිනකට පසුව, 22 වැනිදා වන විට අදාළ ප්‍රහාරය සම්බන්ධ විශාල තොරතුරු ප්‍රමාණයක් අපට ලැබුණා.
මේ වන විට තවුහික් ජමාත් සංවිධානයේ ප්‍රමුඛ සාමාජිකයින් ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා. නැතහොත් අත්අඩංගුවේ ඉන්නවා. මේ අවදානම මෙරට ජනතාවට නැවත ඇති නොවන විදිහට අපි සම්පූර්ණයෙන්ම පාලනය කරනවා.
මේක ඉතාමත්ම බරපතළ සිදුවීමක්. අපි මේක කිසිසේත් සැහැල්ලුවෙන් ගන්නේ නැහැ. විශේෂයෙන් අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව ජනපතිතුමා සහ අගමැතිතුමා එකමුතුව කටයුතු කළා. මේ අවස්ථාවේ අපි අපේ ගෞරවය ජනතාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, බුද්ධි අංශවලට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පුද කිරීමට කැමතියි. අපේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මේ අනතුර ඉතාම කෙටි කාලයක් තුළ සම්පූර්ණයෙන් පාලනය කළ ආකාරය ගැන විදේශ රටවල් පවා පුදුමයට පත් වුණ බවත් මෙහිදී සඳහන් කරන්න කැමතියි.
අපි ඉතා පැහැදිලිව කියන්නේ තවුහිද් ජමාත් තර්ජනය සියයට සියයකින් අවසන් කරලා තිබෙනවා. ඒ වගේම මේ වන විට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයින් 200කට අධික පිරිසක් අපි හදිසි නීති රෙගුලාසි යටතේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් ඉන්නවා. අපි කිසිදු ආකාරයක දේශපාලන හෝ වෙනත් බලපෑමකින් තොරව මේ පරීක්ෂණ කරගෙන යාම සඳහා ආරක්ෂක අංශවලට නිදහස ලබාදීලා තිබෙනවා.
ඒ වගේම සඳහන් කළ යුතුයි, අපේ අතින් අඩුපාඩු සිදු වුණා. ඒ නිසා තමයි මෙවැනි තත්ත්වයක් ඇති වුණේ. එහෙත් ඉතාම කෙටි කාලයකින් අපිට ඒ අඩුපාඩු නිවැරදි කරගෙන මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණා. සිද්ධිය ඇතිවෙලා පැය 24ක් ගතවීමට පෙර හදිසි නීතිය දැම්මා, හමුදාවට බලය දුන්නා, විශේෂ කාර්ය බළකාය ක්‍රියාත්මක කළා. මං හිතන්නේ හැම මුස්ලිම් ගෙදරක්ම පරීක්ෂාවට ලක් කළා. ඒකට නොයෙකුත් චෝදනා අපිට එල්ල වුණා. නමුත් ආරක්ෂක අංශවලට ඇඟිලි නොගසා ඔවුන්ට අවශ්‍ය පියවර ගැනීමට අපි නිදහස ලබා දුන්නා. එම නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් යථා තත්ත්වයක් ඇති වී තිබෙන බව මම පැහැදිලිව සඳහන් කරන්න කැමතියි.
ඒ වගේම තමයි මම යළිත් අවධාරණය කරන්නේ අපි කෙටි කාලීන, මැදි කාලීන වශයෙන් වේගවත් සාර්ථකත්වයක් ලබා ගත්තා. ඒත් දිගු කාලීන වශයෙන් මේ තර්ජනය අවම කිරීම සඳහා විශාල වැඩකොටසක් ඉටු කළ යුතුයි. ඇත්ත වශයෙන්ම මේ අන්තවාදය විෂ බීජයක්. අපි මේ විෂ බීජය සම්පූර්ණයෙන්ම ඇඟෙන් අයින් කළ යුතුයි.
ඒ වගේම ඉතා වැදගත් කරුණක් මෙහිදී සඳහන් කළ යුතුයි. ඒ, මේ තවුහිද් ජමාත් තර්ජනය සම්පූර්ණයෙන් මුලිනුපුටා දැමීම සඳහා සුවිශාල සහායක් අපිට මුස්ලිම් සමාජය විසින් ලබා දුන්නා. බොහෝ විට අපිට තොරතුරු ලැබුණේ මේ මුස්ලිම් සමාජය මගින් තමයි. ඒ තොරතුරු පිටුපස ගිහින් විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඒ නිසා මේ ආකාරයෙන් අපිට තොරතුරු ලබාදුන් පිරිස්වලට අපි ස්තුතිවන්ත විය යුතුයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අපේ මිතුරු රාජ්‍ය පවා ඔවුන්ගේ සංචාරකයින් මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා පියවර ගත්තා. ඒක සාමාන්‍යයෙන් ලෝකයේ නිතර සිදුවන දෙයක්. ඒත් මේ වන විට එම රටවල් විශාල සංඛ්‍යාවක් සංචාරක සීමාවන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේක ඉතාම වැදගත් තත්ත්වයක්. මොකද එම රටවල බුද්ධි අංශ තොරතුරු අනුව තමයි මේ සංචාරක සීමා කිරීම් ඉවත් කරන්නේ. ඒ අනුව විදේශ රාජ්‍ය පවා මේ වන විට පිළිගෙන තිබෙනවා පාස්ක ඉරිදා ප්‍රහාරයෙන් පසු ඇති වූ අවදානම් තත්ත්වය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාව සමත් වෙලා තිබෙනවා කියලා.
නමුත් අපිට ප්‍රහාරයෙන් පසු මුල් සති තුනේ ගැටලු තිබුණා. විශේෂයෙන් පාසල් ආරම්භ කිරීම හා සම්බන්ධව. දැන් ඒ ගැටලුව සම්පූර්ණයෙන් ඉවත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ක්ෂණිකව මේ ආකාරයේ දැවැන්ත ප්‍රහාර එල්ල වූ විට අදාළ රටේ ජීවත් වන විවිධ ජන කණ්ඩායම් අතර ගැටලු ඇති වෙන්න පුළුවන්. අවිශ්වාසය ඇති වෙන්න පුළුවන්. ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒක අපේ රටේ පමණක් ඇති වුණ දෙයක් නෙවෙයි. නමුත් අපිට පුළුවන් වුණා ඒ සංහිඳියාව ආරක්ෂා කරන්න නමුත් සති තුනකට පසුව අපි දැක්කා නැවත මේ සංහිඳියාව නැති වෙනවා. මිනුවන්ගොඩ, කුරුණෑගල ආදි ප්‍රදේශවල සුළු සුළු සිද්ධි අපි දැක්කා.
මෙහිදී විවිධාකාර කතා තිබෙනවා, ආණ්ඩුව වැඩ කරන්නේ නෑ, ආණ්ඩුවක් නැහැ ආදි වශයෙන්. ඒත් මම ඉතා පැහැදිලිව කියන්නේ පැය 24ක් ගත වීමට පෙර සියලු තත්ත්වයන් පාලනය කරලා, ප්‍රහාරවලට සැක පුද්ගලයින් අත්අඩංගුවට ගෙන, ඔවුන් රිමාන්ඞ් කරලා රටේ තත්ත්වය දැඩිව පාලනය කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබුණා.
ඒත් දැන්, නැවත අපි ජාතීන් අතර සංහිඳියාව සහ අනෝන්‍ය විශ්වාසය වර්ධනය කරන්න හදන අවස්ථාවක අපි දකිනවා නොයෙකුත් දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වෙලා ජන ජීවිතය කඩාකප්පල් කරන්න, විශේෂයෙන් අපේ රටේ තිබෙන සංහිඳියාව නැති කරන්න උත්සාහ දැරීමක් අපට පේනවා. කළු කොඩි එසවීම, කඩවල් වැසීම වැනි දේවල් සිදුවන බව අපට පේනවා. මේ අනුව අපට පැහැදිලිව පෙනී යන්නේ රට අස්ථාවර කිරීමට දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවයි. අපි මේ තත්ත්වය හඳුනා ගෙන එයට මුහුණ දීමට අවශ්‍යයි. ඒ වගේම තමයි මේ දේශපාලන අවස්ථාවාදයට මුහුණ දීමට රජයක් ලෙස අපිට ශක්තිය තිබෙන බව පැහැදිලිව කිව යුතුයි.
අපේ රට මේ වන විට තීරණත්මක තැනකට යළි පැමිණ තිබෙනවා. මට හිතෙන ලෙස 1983ට අපි යළි පැමිණ තිබෙනවා. එවකට පැවැති රජය අදූරදර්ශී තීන්දුවක් ගත්තා විපක්ෂ නායක අමිර්තලිංගම් මැතිතුමාව පාර්ලිමේන්තුවෙන් එළියට දාන්න. මගේ තාත්තත් ඒ ආණ්ඩුවේ බලවත් ඇමැතිවරයෙක්. ප්‍රජාතන්ත්‍රවාදීව පත් වුණ දේශපාලන නායකයෙක්ව පාර්ලිමේන්තුවෙන් එළියට දාන්න අපි වාතාවරණය හැදුවා. එතැන විශාල හිඩැසක් ඇති වුණා. ඒ හිඩැස තමයි එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් පිරෙව්වේ. අපි නැවතත් එවැනි තත්ත්වයක් ඇති නොකළ යුතුයි.
දැන් අපිට පේනවා සමාජය තුළ ජීවත් වෙන මධ්‍යස්ථ මතධාරීන්ව කොන් කිරීමේ උත්සාහයක්. අද ඒ මධ්‍යස්ථ මතයට එළියට එන්න නොහැකි වන ලෙස විශාල තර්ජනයක් නිර්මාණය වෙලා තිබෙනවා. දැන් සිදුවෙමින් තිබෙන්නේ බලය පිටුපස හඹා යාම. ඒක තව මාස පහකින් ජනාධිපතිවරණය එනවා. එදාට අපිට පුළුවන් ඒකට මුහුණ දෙන්න. ඒත් මං කරුණාකරලා ඉල්ලා සිටින්නේ ජාතිවාදී ස්වරූප ගනිමින් රට අස්ථාවර නොකරන ලෙසයි. ඒ නිසා මම පැහැදිලිව ඉල්ලා සිටින්නේ මධ්‍යස්ථ දේශපාලනයකට, මතවාදයකට ගමන් කිරීම පියවර ගන්නා ලෙසයි.
අපි රජයක් වශයෙන් අති වුණ තත්ත්වය, මිනිස් ජීවිතවලට මිලක් ගෙවන්න බැහැ. ඒත් අපි කළ යුතු උපරිමය කරනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී ආබාධිත වූ දරු දැරියන් හා දෙමාපියන් මියයාම හෝ ආබාධිත වීම නිසා අනාථ වූ දරුදැරියන් වෙනුවෙන් විශේෂිත ළමා අරමුදලක් පිහිටුවීමට කටයුතු යොදා තිබෙනවා.
ළමා අරමුදල රුපියල් මිලියන 500 කින් සමන්විත වනවා. රුපියල් මිලියන සියයක් රජයේ ප්‍රදානයක් ලෙස ද, ඉතිරි මිලියන 400 ආධාරයන් ලෙස ද ඊට එක් කෙරෙනවා.
එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ආබාධිත වූ පුද්ගලයන්ට විදේශගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවල රජය විසින් වියදම් දැරීම හා වින්දිතයන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා කටයුතු කිරීමට ද රජය විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 261 දෙනෙක් බවට දැනට තහවුරු වී තිබෙනවා. එයින් 174 දෙනෙකු වෙනුවෙන් මේ වන විට වන්දි ලබා දී තිබෙනවා. තුවාල සිදුවූ 407 දෙනෙකු අතරින් 226 දෙනෙකු පිළිබඳ වෛද්‍ය වාර්තා දැනට ලැබී තිබෙනවා. ඒ සියළු දෙනා වෙනුවෙන් වන්දි ලබා දී තිබෙනවා. ඉතිරි වෛද්‍ය වාර්තා ලැබුණු විගස වන්දි ලබා දීම සඳහා පියවර ගන්නවා.
මීට අමතරව විනාශයට පත් දේවස්ථාන ප්‍රතිසංස්කරණය කරන්නත් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රජය විසින් ලබා දී තිබෙනවා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථාන ගොඩනැගිල්ල පුළුල් කරලීම උදෙසා වරාය අධිකාරියට අයත් පර්චස් 9 ක ඉඩම් ප්‍රමාණයක් ද ලබා දී තිබෙනවා.
ඒ වගේම මේ ප්‍රහාරයත් සමග විවිධ ක්ෂේත්‍රවල ආර්ථික ගැටලු ඇති වුණා. ඊයේ මහින්ද රාජපක්ෂ මහතා සමගත් ආණ්ඩුව ආර්ථික ගැටලු විසඳීමට ආණ්ඩුව ගෙන ඇති පියවර සාකච්ඡා කළා.
රුපියල ස්ථාවර කිරීමටත් මේ වන විට ආණ්ඩුවට හැකියාව ලැබී තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග අපිට ආර්ථිකය බිඳ නොවැටී පවත්වා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. එය විශේෂ තත්ත්වයක් බව සඳහන් කළ යුතුයි.
පවුල් ලක්ෂ 6කට අපි අලුතින් සමෘද්ධි හිමිකම ලබා දුන්නා. ඒ වගේම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත් කුඩා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයින්ට සහන සලසන්න සහන ණය යෝජනා ක්‍රමයක් මුදල් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරලා තිබෙනවා. විවිධ බාධා කිරීම් සිදු වුණත් අපි ආර්ථිකය ස්ථාවර කර ගැනීමට සහ ජනතාවට සහන ලබාදී සංවර්ධන කාර්යයන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. අපි හිතනවා
අපිට වගකීමක් තිබෙනවා, විශේෂයෙන් ආරක්ෂක තත්ත්වය ලබන ජනාධිපතිවරණය දක්වා සුරක්ෂිතව ඉදිරියට ගෙන යාමට. ඒ වගේම තමයි මේක සිංහල බෞද්ධ රටක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ රටේ ජීවත් වන සිංහල බෞද්ධ ජනතාවගේ සිතුම් පැතුම්වලට අනුකූලව කටයුතු කළ යුතුයි. නමුත් සිංහල බෞද්ධ නොවන ජනතාවටත් අපි ඒ අවශ්‍ය ආරක්ෂාව ලබාදිය යුතුයි. එම නිසා එම වගකීම ඉටු කිරීමට අපි රජයක් ලෙස බැඳී සිටින බව පැහැදිලිව ප්‍රකාශ කරනවා.
මාධ්‍ය : අලුතින් සමෘද්ධිය ලබා දෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට පමණක් බවට විපක්ෂය චෝදනා කරනවා නේද ?
නවීන් : නැහැ, ඒ චෝදනාව සාවද්‍යයි. සමෘද්ධිය ලබාදීමේදී කිසිදු ආකාරයක දේශපාලන බැඳීමක් නැහැ. එය සිදුවන්නේ දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු කමිටු මාර්ගයෙන්. ඒ අනුව සුදුසුම පුද්ගලයින්ට පමණක් අපි සමෘද්ධිය ලබාදෙනවා.
මාධ්‍ය : ප්‍රහාරයෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගන්න මුස්ලිම් ජනතාව සහාය දුන් බව ඔබතුමා ප්‍රකාශ කළා. ඒත් ඇතැම් මුස්ලිම් ඇමැතිවරු එවැනි සහායක් දුන් බවක් පේන්න තිබුණේ නැහැනේද ?
ෆ්ාම් රටේ නීතියක් තිබෙනවා. හුදු චෝදනා මගින් පමණක් කිසිවෙක් වැරදිකරුවෙක් වෙන්නේ නැහැ. ඒ සඳහා වන විධිමත් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ අනුවයි කිසියම් පුද්ගලයෙක් වැරදිකරුවෙක් කරන්නේ. ඒ අනුව මුස්ලිම් ඇමැතිවරුන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ කරන ගෙන යනවා. අපි ඒවාට කිසිදු ආකාරයකින් මැදිහත් වෙන්නේ නැහැ. අපිත් බලාගෙන ඉන්නේ ඒ වාර්තා එනකම්. අපිටත් ඕනෑ ඇත්ත නැත්ත දැන ගන්න. දැන් සියලුම මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වී තිබෙනවා. දැන් පරීක්ෂණ වඩාත් පහසුවෙයි. ඒ වගේම ඔවුනුත් ඉල්ලන්නේ මාසයක් ඇතුළත මේ පරීක්ෂණ අවසන් කර සත්‍ය තත්ත්වය රටට කිව යුතුයි කියලා. මාත් කියන්නේ මේ පරීක්ෂණ සම්බන්ධයෙන් සම්පූර්ණ විනිවිධභාවයක් තිබිය යුතුයි. රටට ඇත්ත ප්‍රකාශ කළ යුතුයි.
මාධ්‍ය : ඒ කියන්නේ ඔවුන් අතින් යම්කිසි බලපෑමක් වුණා කියන එකනේද ?
නවීන් : නැහැ, ඔවුන් ඔවුන්ගේ පාරිශුද්ධභාවය ප්‍රදර්ශනය කරලා තිබෙනවා.
මාධ්‍ය : චෝදනා එල්ල වුණේ එක් අයෙකුට පමණයි. ඒත් සියලු දෙනාම ඉල්ලා අස් වුණා නේද ?
නවීන් : නැහැ, මට ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාව අහන්න ලැබුණේ නැහැ. ඒත් මුස්ලිම් ජනතාවට ආරක්ෂාවක් නැති බවට ඒ සමාජය තුළ චෝදනාවක් තිබෙනවා. ඒ නිසයි ඔවුන් ඉල්ලා අස් වුණේ.ඒ වගේම තමයි චෝදනා ඔප්පු වුණොත් ඔවුන් සමග එකම කැබිනට් එකේ ඉද ගන්න අපිටත් බැහැ. ඒත් ඔවුන් ඉල්ලා අස් වුණේ මුස්ලිම් ජනතාවට ආරක්ෂාව නැත යන චෝදනාව සහ ඔවුන්ගේ පාරිශූද්ධභාවය ඔප්පු කර මේ පරීක්ෂණවලට අපෙන් බලපෑමක් නැහැ කියලා ඔප්පු කරන්නයි. දැන් තියෙන්නේ මාසයක් තුළ මේ පරීක්ෂණ අවසන් කරලා ඇත්ත තත්ත්වය රටට හෙළි කිරීමයි.
මාධ්‍ය : ඉල්ලා අස්වූ ඇමැතිවරුන්ගේ ඇමතිකම්වලට අලුතින් පත් කරනවාද ?
නවීන්: මම ඒ ගැන කිසිවක් දන්නේ නැහැ. ඔබට ඒ ගැන ඉදිරියේදී බලා ගන්න පුළුවන්.
මාධ්‍ය : මංගල සමරවීර ඇමැතිතුමා කාදිනල්තුමා ගැන දරන ස්ථාවරය ගැන ඔබගේ අදහස කුමක් ද ?
නවීන් : ඒක එතුමගේ පුද්ගලික මතය. මම කැමැති නැහැ ඒ ගැන කිසිවක් ප්‍රකාශ කරන්න. ඒක මට අදාළ දෙයක් නොවෙයි. ඔබතුමාට තියෙන්නේ එතුමගේ මාධ්‍ය සාකච්ඡාවකට ගිහින් ඒක එතුමගෙන්ම අහන්න.
මාධ්‍ය : මුස්ලිම් ඇමැතිවරුන් ඉවත්වීම ආණ්ඩුවට ධනාත්මක තත්ත්වයක් ද ?
නවීන්: නැහැ, මම හිතන්නේ නැහැ ඒක ධනාත්මක තත්ත්වයක් කියලා. මම හිතන්නේ ඒක ජාත්‍යන්තර ප්‍රජාවට ඍණාත්මක පණිවුඩයක් ගෙන යනවා කියලයි.
මාධ්‍ය : මේ සමග ආණ්ඩුව දුර්වල වෙනවාද ?
නවීන්: කිසිසේත්ම නැහැ. අපිට සහාය දෙන්න අවශ්‍ය තරම් මන්ත්‍රීවරු ඉන්නවා.
අවසන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here