ජුනි මුල් සතියේ රට විවෘතයි…….

0
51
rata-web-825x412

ජුනි මස පළමු සතිය අවසන් වන විට ඇඳිරි නීතිය සහ දිස්ත්‍රික් සීමා නීතිය ඉවත් කරමින් රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට රජය සූදානම් වේ.

ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරමින් පවතියි. එම මාර්ගෝපදේශ පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (26 වැනිදා) පැවැත්විණි. මෙම මාර්ගෝපදේශ ලබන බ්‍රහස්පතින්දා වන විට සකස් කර අවසන් කරන ලෙස අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඇඳිරි නීතිය යම්තාක් දුරට සීමා කරමින් රට ඊයේ (26 වැනිදා) විවෘත කළද දිස්ත්‍රික් සීමා සඳහා නීති පනවා ඇත. කෙසේ වෙතත් සෞඛය අමාත්‍යාංශය සකස් කරන මාර්ගෝපදේශ ජනාධිපතිවරයා වෙත යොමු කර අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

මේ අතර රට විවෘත කිරීමත් සමග ක්ෂේත්‍ර හතළිස්හයක් ක්‍රියාත්මක විය යුතු ආකාරය සඳහන් මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (26 වැනිදා) නිකුත් කර ඇත.

කුලී රථ සේවා, ත්‍රිරෝද රථ භාවිතය, බයිසිකල් පැදීම, ඇවිදීමේ මංතීරු, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, උපකාරක පන්ති, ප්‍රසිද්ධ රැස්වීම්, පෞද්ගලික සෞඛ්‍ය සායන ආරම්භ කිරීම, ආරක්ෂක නිලධාරීන්, ඡායාරූප ශිල්පීන්/ වීඩියෝකරණ ශිල්පීන්, රාජ්‍ය හා පෞද්ගලික වාහන රථගාල්, සන්නිවේදන හා ඉලෙක්ට්‍රොනික සාප්පු, මත්පැන් හා දුම්කොළ අලෙවිකරණ ස්ථාන, ළමා හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල්, වැඩිහිටි රැකවරණ නිවාස බන්ධනාගාර, හෝටල්, පිළිගැනීමේ ශාලාවල පවත්වන මංගල උත්සව සඳහා මෙසේ මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

අවමංගල්‍ය කටයුතු ආගමික ස්ථාන, උද්‍යාන, පවුලේ අය මිතුරන් බැලීමට යාම, පිහිනුම් තටාක සහ වෙරළ භාවිතය, ගෘහස්ථ ක්‍රීඩාංගණ හා ක්‍රීඩා පුහුණුවීම්, ශරීර සුවතා මධ්‍යස්ථාන, බැංකු, විශාල හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත, රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල සඳහාද මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

ඉදිකිරීම් ස්ථාන, ගරාජය, සාප්පු, සුපිරි වෙළෙඳසල්, සිල්ලර බඩු සහ කුඩා කඩ, රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා වෙනත් රාජ්‍ය ආයතන, රෙදි පිළි සාප්පු, විවෘත වෙළෙඳපොළ, වීදි වෙළෙන්දන්, පොදු බස් රථ භාවිතය, දුම්රිය භාවිතය, බාබර් සාප්පු හා රූපලාවණ්‍යාගාර, තැපැල් සේවා, ජංගම ආහාර වෙළෙන්දන්, පිළියෙල නොකළ සේදිය හැකි ආහාර, ජංගම ආහාර වෙළෙඳන්, බේකරි ඇතුළු අනුභව කිරීමට සූදානම් ආහාර ද්‍රව්‍ය කසළ හසුරුවන්නන්, වීදි පිරිසිදු කරන්නන් හා පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩල, මැහුම්කරුවන් සහ ඇඳුම් සාදන්නන්, සංචාරක කර්මාන්තය හා හෝටල් සඳහාද මාර්ගෝපදේශ නිකුත් කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

උදයජීව ඒකනායක
aruna.lk