ජොසීටාවත්ත-දළුවකොටුව කණ්ඩායම් අවසන් සටනට සූදානම්

0
134
ජොසීටාවත්ත රශ්මි කණ්ඩායම දළුවකොටුව ජනපද ‘බී’ කණ්ඩායම

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය සංවිධානය කරන ජාතික එල්ලේ ශූරතාවලියේ අවසන් මහා තරගය මේ 28 වැනි ඉරිදා වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

මේ අවසන් මහා තරගයට ජොසීටාවත්ත රශ්මි ක්‍රීඩා සමාජය හා දළුවකොටුව ජනපද ‘බී’ කණ්ඩායම සුදුසුකම් ලබා සිටිති. අවසන් පූර්ව තරගවලදී ජොසීටාවත්ත රශ්මී ක්‍රීඩා සමාජය වෙතින් මුදුන්ගොඩ හංස පිල පරාජයවූ අතර ජනපද ‘බී’ කණ්ඩායම වෙතින් කොටුවිල මිත්‍ර ක්‍රීඩා සමාජය පරාජයට පත් විය.

වසර 50ක ඉතිහාසයේ රශ්මි ක්‍රීඩා සමාජය ජාතික එල්ලේ ශූරතාව දෙවරක් දිනා ඇති අතර අවසන් වරට පැවැති ජාතික එල්ලේ ශූරතාවලියේදී මුදුකටුව පාතිමා පිල පරාජය කිරීමට සමත් විය. වසර 2010දී ද ජොසිටාවත්ත රශ්මි ක්‍රීඩා සමාජය ජාතික එල්ලේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.

දළුවකොටුව ජනපද ‘බී’ කණ්ඩායම ජාතික එල්ලේ ශූරතාවලියේ අවසන් මහා තරගයට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර වසර ගණනාවක්ම අවසන් කණ්ඩායම් අට අතරට පැමිණීමට සමත් විය.

මෙවර අවසන් කණ්ඩායම් අට අතර අර්ධ අවසන් පූර්ව වටයේදී දඵවකොටුව ජනපද ‘බී’ කණ්ඩායම වෙතින් ප්‍රබල කණ්ඩායමක්වූ මූදුකොටුව පාතිමා පිල පරාජයවීමද මෙවර සිදුවූ පෙරැළියකි. පාතිමා පිල ජාතික එල්ලේ ශූරතාවලියේ හයවතාවක් අවසන් මහා තරගයට පැමිණ දෙවරක් ශූරයන්වූ ප්‍රබල කණ්ඩායමකි.

ජොසීටාවත්ත රශ්මි ක්‍රීඩා සමාජය ලලිත් චන්ද්‍රලාල් මෙහෙයවන අතර, දළුවකොටුව ජනපද ‘බී’ කණ්ඩායම සුදම් චමින්ද මෙහෙයවනු ලබයි.

මෙවර තෙවැනි ස්ථානය තෝරා ගැනීම වෙනුවෙන් කෙරවළපිටිය විජය කුමාරණතුංග ක්‍රීඩා පිටියේ පැවැති තරගයේදී කොටුවිල මිත්‍ර ක්‍රීඩා සමාජය පරදවා මුදුන්ගොඩ හංස පිල ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

මෙවර ජාතික එල්ලේ ශූරතාවලියට කණ්ඩායම් 144ක් සහභාගීවූ අතර දින 21ක් තුළදී මූලික වටයේ තරග අවසන් කිරීමට එල්ලේ සම්මේලනය සමත් විය.

ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් ලක්ෂයක් හා අනුශූරයන්ට රුපියල් 50000ක මුදලක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇති අතර දක්ෂතම ක්‍රීඩකයන් තෝරා ත්‍යාග පිරිනැමේ.

ප්‍රධාන ආරාධිතයන් ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා හා එල්ලේ සම්මේලන සභාපති සරත් කුමාර ගුණරත්න මහතා සහභාගී වෙති. මේ ශූරතාවලියට විජය ප්‍රඩක්ට් හා රයිගම් ආයතන මෙන්ම ඉතාලියේ සිටින හිටපු ක්‍රීඩක ප්‍රගීත් ශානක මහතා ද අනුග්‍රහකත්වය ලබාදී තිබේ.

වසර 1946දී ආරම්භ වූ ජාතික එල්ලේ ශූරතාවලියේ මුල්ම ජයග්‍රාහකයන් ලෙස මැද කොළඹ ශ්‍රී විජය ක්‍රීඩා සමාජය ඉතිහාසයට එක්ව ඇත

ප්‍රින්ස් ගුණසේකර
www.dinamina.lk