“ජොහානාදාස්” යළිත් කරළියට  

0
194

              මීගමුව පිටිපන ප්‍රදේශයෙන් බිහිවුණු ශ්‍රී ලාංකේය නාඩගම් කලාව තුළ නව මං සලකුණක් සනිටුහන් කළ ජොහානාදාස් නාඩගම් නාටකය නව නිර්මාණයක් ලෙසින් එළඹෙන 27 වැනි (2024/07/27) සෙනසුරාදා දින මීගමුව නගර ශාලාවේදී රඟ දැක්වීමට කටයුතු සංවිධානය කර තිබේ.   එදින සවස  6.30 ට ‘ජොහානාදාස්’ වේදිකාගත වීමට නියමිත ය. මෙම නාට්‍යෙය් පුහුණුවීම් කටයුතු මේ දිනවල නගර ශාලාවේදී සිදු වන අතර එහි අවසන් පුහුණුවීම් කටයුතු ඊයේ එනම් 25 දින සවස පැවැත්විණි.

      මෙම නාඩගම් නාටකයේ අභිනව අධ්‍යක්ෂකවරයා වන්නේ මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ  ගුරුවරයා වූ උචිත සශිර ප්‍රනාන්දු මහතායි.  ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව අධ්‍යාපනවේදී උපාධිධාරියෙකි.
දශක ගණනාවක් , යුග ගණනාවක් මෙන්ම පරම්පරා කිහිපයක් රසවිඳි ජොහානාදාස් නාඩගම මුල් අවදියේ දින 09 රඟ දැක්වූ බව වාර්තාවේ. ඉන්පසු මීට වසර 40 කට පමණ පෙර නව තිරනාටකයක් ලෙස ජොහානාදාස් නාඩගම පැය 09ක් පුරා රඟ දැක්වෙන නාටකයක් ලෙස රඟ දක්වා තිබේ.  ඉන් වසර 40 කට පමණ පසු  මෙම නාඩගම් නාටකය හෙක්ටර් සිල්වා  මහතා විසින් පැය 02 ක පමණ කාලයකට සීමා වන පරිදි නව තිරනාටකයක් ලෙස සහ නව නිර්මාණයක් ලෙස  රචනා කර තිබේ. ⁣ජොහානාදාස් නව නිර්මාණය සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ මීගමුව දකුණ ධීවර සමුපාකාර සමිතිය මඟිනි.එළඹෙන 27 වැනි දින වේදිකාගත වීමට නියමිත නව ජොහානාදාස් නාඩගම් නාටකය සඳහා පිටිපන ප්‍රදේශයේ  කලා කුසලතාවයන්ගෙන් අනූන ප්‍රවීණ මෙන්ම දක්ෂ ආධුනික නළු නිළි කැලක් මේ හා සම්බන්ධ වී සිටි.  නළු නිළියන් 17 දෙනෙකු සහ  ගායන ශිල්ප ශිල්පීන් 15 දෙනෙකුද මේ සඳහා සහභාගී වීමට නියමිතයි.

මෙම නාඩගම් නාටකයේ ජොහනාගේ වැඩිමහල් කාලයේ චරිතයට පණ පොවන්නේ මීගමුව පිටිපන ශාන්ත මරියා විද්‍යාලයේ බටහිර සංගීතය පිළිබඳ ආචාරිණී හෂිනී ගමගේ මහත්මියයි. එලෙසම ජොහානාගේ බාල කාලය නිරූපණය කරන්නේ මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ උසස් පෙළ  12 වසරේ ඉගෙනුම ලබන සත්සරණි ආකර්ෂා ශිෂ්‍යාවයි.එලෙසම මෙහි  තිර  නාටක රචකයා වන හෙක්ටර් සිල්වා මහතා මෙහි පොතේ ගුරුගේ චරිතය නිරූපණය කරයි.

එමෙන්ම ජොහානාදාස්  නව නාඩගම් නාටකය සඳහා ප්‍රවීණ මෙන්ම පලපුරුදු ශිල්පීන් රැසක් සිය දායකත්වය ලබා දී තිබේ. මෙහි සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ සංගීත ශාස්ත්‍රපති සිසිර ලියනවත්ත මහතායි. මෙම නාඩගම් නාටකයේ මද්දල් වාදන ශිල්පියා ලෙස කටයුතු කරන්නේ මෙරට ප්‍රවීණ මද්දල් වාදන ශිල්පියෙකු වූ නන්දන ගුණසිංහ මහතායි.ඇඳුම් පැළඳුම් නිර්මාණ ශිල්පියා වන්නේ  චාමර අනුධත් මහතා වන අතර වේදිකා පරිපාලන ශිල්පියා ලෙස කටයුතු කරන්නේ මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව ආචාර්යවරයා වන රුවන් දේශප්‍රිය මහතායි.
වර්තමාන සිංහබාහු වේදිකා නාට්‍යයේ  සිංහයාගේ චරිතයට පණ පොවන, වයඹ පළාත් සංස්කෘතික අධ්‍යක්ෂක ජගත් කුමාර මහතා මෙම නාටකය සඳහා රංග උපකරණ සහ ආභරණ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරයි.

මේ අනුව ගත් කල නව නිර්මාණයක් ලෙස වේදිකා ගතවීමට නියමිත ජොහනාදාස් නාඩගම් නාටකය සඳහා ප්‍රවීණ,සහ දක්ෂ මෙන්ම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ පරපුරුදු කලාකරුවන් රැසකගේ දායකත්වය ලැබී තිබේ.

එසේනම් මීගමුව පුරවරයට පමනක් නොව මුළු ශ්‍රී ලංකාවටම මා හැඟී සංස්කෘතිමය දායාදයක් වු   ඉපැරණි ජොහානාදාස් නාඩගම් නාටකයේ මෙම නව නිර්මාණය නරඹන්නට අමතක නොකරන්න.
නොවරදවාම එළඹෙන ජූලි 27 වැනි සෙනසුරාදා දින සවස 6.30 මීගමුව නගර ශාලාවට පැමිණෙන්න.
ඒ සඳහා ඔබට කෙරෙන සුහදශීලී ආරාධනාවයි මේ.
.

ඡායාරූප – තුෂාර රොහාන්