(මීගමුව නගරය වේගයෙන් සංවර්ධනය කරා ගියද ඊට යාදෙන විධිමත් බවක් හෝ පිළිවෙලක් මේ නගරයට නැත.නිසි ප්‍රවාහන සැලැස්මක් නැති එක මේ අතර මූලිකයි. 2004 නත්තලට මීගමුවේ පාරවල් one way කරලා විධිමත් ප්‍රවාහන සැලැස්මක් ඉදිරිපත් කරන්න අල්විස් කියන රථ වාහන මුලස්ථාන පරික්ෂක තුමා මුල් වුණා.නමුත් මේ සැලැස්මට විරුද්ධ වෙච්ච මෝඩ ව්‍යපාරිකයෝ පිරිසක් ප්‍රදේශයෛ් දේශපාලකයෙකුත් අල්ලගෙන මේ කරපු අනුවන කම් හින්ද මේ සැලැස්ම ලත් තැනම ලොප් වුණා.)
ඒ කාලේ මීපුර පුවත් පතේ පළවුණ මේ ලිපිය අදටත් වලංගුයි කියල හිතුන නිසා අපි වෙබ් අඩවියේ පළකරන්න තිරණය කළා.
වෙන රටවල් වලදී වෙළෙඳුන්ට ඕන විදිහටයි, සාමාන්‍ය මිනිස්සුන්ට ඕන විදිහටයි නගරය පාලනය වෙන්නේ නෑ. නගරය පාලනය වෙන්නේ නගරයේ සැලැස්මක් අනුව. එක එක්කෙනාට ඕන විදිහට එයාට බිස්නස් නෑ මෙයාට බිස්නස් නෑ කියලා වාහන තමන්ට ඕන පැත්තෙන් ගෙන්න ගන්න හදනවා කියන්නේ මෝඩ අදහසක්.
මේකේ හොඳම අදහස වෙන්න ඕන වාහන යම් තැනකට යනවා නම්, මිනිස්සුන්ට පහසුම කඩ වීදි වලට යන්න සලස්වන එකයි සුදුසු ක්‍රියා මාර්ගය. වෙළෙන්ඳන්ට ඒක බාධාවක් වෙන්නෙත් නෑ. අනික නගරයේ රථවාහන සැලැස්මක් තියෙනවා නම් තදබදය අඩු කරලා අනෙක් අයට හිරිහැරයක් නැතිව ගමන් කරන්න පුළුවන්.
එක අවස්ථාවකදී පාර වහලා, one way සිස්ටම් එක ක්‍රියාත්මක කළා. මම හිතන්නේ ඒක හොඳ ක්‍රමයක්. බළධාරීන් මේක නීතියක් වශයෙන් ක්‍රියාත්මක කරනවා නම් හොඳයි.
මොකද සමිති සමාගම් වලින් කිව්වට ඒ ගොල්ලන්ටත් ඒක තෝරලා දෙන්න ඕනෑ. මොකද වාහනය කොතැන නැවැත්තුවත් අවශ්‍ය කෙනා ඒ අවශ්‍ය තැන සොයාගෙන යනවා.
වාහනයට වෙළඳසැල්වලට එන්න ලේසි වුනා කියලා මිනිස්සු එතනට එන්නෙ නෑ. ඒක මෝඩ මතයක්. අපි උදාහරණයක් හැටියට කිව්වොත් මිනිස්සුන්ට ඕනෙම නම් කැලේ හරි හොයාගෙන යනවා. ඒ වගේ බිස්නස් කෙරෙන තැනට මිනිස්සු හොයාගෙන එනවා. මිනිස්සු බඩු ගනිද්දී ඒවා ගැන හොඳට හිතල බලලයි බඩු ගන්නේ. වාහනය එතනින් ගියා කියලා මම හිතන්නෙ නෑ එතැන වෙළඳාම වැඩි වෙනවා කියලා.
පාරේ තදබදය අඩුකරන්න තියෙන හොඳම ක්‍රමය ඒකයි. අනික් එක වාහන පාක් කිරීම සම්බන්ධයෙනුත් ඒ වගේ නිසි සැලැස්මක් ඇති කරන්ඩ ඕන. මිනිස්සු කියන කියන විදිහට වාහන කිසි පාලනයකින් තොරව හරක් වගේ යන්න ඇරියොත් නගරයට කිසිම සැලැස්මක් නැතිව යනවා.
අප මේ සම්බන්ධයෙන් කීප දෙනෙකු සමඟ කළ කරුණු විමසීමකදී මීගමු රථවාහන අංශ ප්‍රධානි අල්විස් මහතා කියා සිටියේ මෙම තනි පැත්තට වාහන ගමන් කිරීමේ ක්‍රමය පැවති සමයේ විශේෂයෙන්ම පාසල් වෑන් රථ රියදුරන් ඇතුළු විශාල පිරිසකගේ පැසසුමට එය ලක්ව තිබුණු බවය. මින් ඇතමෙකු වාහන නවතා පැමිණ ස්තුති කළ අවස්ථා ද ඇතැයි ඒ මහතා කියා සිටියේ ය.
තතු මෙසේ වුවද පෙබරවාරි 26 වෙනිදායින් පසු මෙම නගරයට පිළිවෙල කැන්දූ ක්‍රමය අවසන් වී සුපුරුදු අපිළිවෙල නගරයට උදා කර දී තිබේ.
මේ හේතුව නිසාවෙන් ජුවෙල් ලංකා ආයතනය පිහිටා ඇති හංදිය විශාල වාහන තදබදයකට අද හිමිකම් කියන බව අල්විස් මහතාගේ අදහසයි. එමෙන්ම බ්‍රිටිස් ඔප්ටිකල් හන්දිය එලෙසින්ම අවුල්සහගත තත්ත්වයකට පත්ව ඇත.
එපමණක් නොව මීගමුව බස් නැවතුමේ සිට ගමන් කරන බොහෝමයක් බස් රථ ඔරලෝසු කණුව දක්වා සෙනඟ නංගා ගනිමින් ඉබි ගමනේ පැමිණීම නිසාත්, ඔරලෝසු කණුව දෙස සිට බස්නැවතුම දෙසට වාහන පැමිණීමත් නිසා යතුරු පැදියකටවත් ඉක්මනින් යා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතැයි අල්විස් මහතා පවසයි.
නගරයේ වාහන පාලනයේ මූලික අදහස වන්නේ මහනාජයාට පහසුව සැලසීම ය. එය අරමුණුකොටගෙන ඇරඹි වැඩපිළිවෙල වෙළඳ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ උවමනාවට අහෝසි කරන්නට සිදුවීම පොදු මහජනයා පැත්තෙන් පමණක් අපහසුවක් ඇති කර තිඛෙනවා පමණක් නොව ආරක්ෂාව සම්බන්ධයෙන් තිබුණු යම් සැලසුමකට එය බරපතල පහරක්ව ඇති බව හේ තවදුරටත් විස්තර කර සිටියේ ය.
සාමාන්‍යයෙන් මේ නගරයේ බැංකු මූල්‍ය ආයතන ඇතුළු ලොකු ව්‍යාපාරික ස්ථාන බොහෝමයක් තියෙනවා. මේවායේ කිසියම් මුදල් මංකොල්ලයක් සිදුකොට පලායන කෙනෙක් දබැ one way එකේ දී හඳුනා ගන්න ලේසි වෙනවා.
මෙය යලිත් ක්‍රියාත්මක කරවා ගැනීමේ අවශ්‍යතාවය ඇති කොටස් එක්වී පොලිස් රථවාහන අංශයේ ප්‍රධානීන් කෙරෙහි අවධානය යොමුකර මෙය යළිත් ක්‍රියාත්මක කරවන ලෙස ඉල්ලා සිටිය හැකිදැයිි අප අවසන් වරට ඔහුගෙන් කළ විමසකදීිි පවසා සිටින ලදී.
නැවතත් එකම දෙයක් ලිවීම ගැන ගැන සමාවෙන්න. මීගමුව පොලිසියේ රථවාහන අංශය විසින් සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටියදී හදිසියේම නොදන්නා හේතුවක් නිසා අත්හැර දමන ලද නව රථවාහන සැලැස්ම පිළිබඳව ය.
මේ ගැන යළිත් නොලියාම නොහැක්කේ සැලැස්මට සුබපතා ඒ වෙනුවෙන් පෙනී සිටි කෙනෙකු ලෙස මේ අවස්ථාවේ නිහඩව සිටීම තක්කඩිකමක් වන බැවිනි.
මීගමුව නගරයට නීතිය හා පිළිවෙළ කැඳවාගෙන විත් නගරය ලස්සන කිරීමට හේතුවක් වූ නව රථවාහන සැලැස්ම අතුරුදහන් වී පරණ අවුල් සහගත තත්ත්වයම නැවත ප්‍රාදූර්භූත වීමට හේතු වූ කරුණු අපි හරියටම නොදනිමු. නමුත් ආරංචියේ හැටියට නගරයේ ප්‍රබල වෙළඳ පිරිසකගේ ඉල්ලීම මත මෙම ප්‍රතිගාමී ක්‍රියාව සිදුකිරීමට මැදිහත් වී ඇත්තේ රට පෙරට ගෙනයාමට පොරොන්දු වී ඇති මීගමු නගරයේ තරුණ දේශපාලකයෙකි.
දිළිඳු මිනිසෙකුට හදිසියේ ලොතරැයි දිනුමක් ඇදී ඒ ගැන ප්‍රකට වී දින කීහිපයකට පසු ඔහුගේ බිරිඳ මුදල් ද රැගෙන වෙන මිනිසෙකු හා පළාගිය පරිද්දෙන් මගේ හදවත වේදනාවෙන් ද, ලැජ්ජාවෙන් ද, අපේකෂාභංගත්වයෙන් ද රිදුම් දෙයි. වේදනාව නැති වූ රථවාහන සැලසුම වෙනුවෙන් සහ මේ අපූරු සැලැස්ම සකස්කොට නිර්භීතව ක්‍රියාත්මක කොට ඉහළ බලපෑමක් නිසා අතහැර දමන්නට සිදු වූ පොලිස් නිලධාරීන් වෙනුවෙනි. ලැජ්ජාව මේ සැලසුම වෙනුවෙන් ද, පොදුවේ නීතිය සහ පිළිවෙල ඇති කිරීම වෙනුවෙන් ද උජාරුවෙන් පෙනී හිඳ, එය අසාර්ථක වූ පසු කිසිවක් කර කියා ගත නොහැකි වූ මා වෙනුවෙනි.
අපේක්ෂාභංගත්වය අපගේ මිතුරන් වෙනුවෙනි. අළුත් නගරයක් පිළිබඳව සිහින දකිමින් සිටියද මේ වෙනුවෙන් හඩක් නගන්නට, ලිපියක් ලියන්නට, විරෝධය පළකරන්නට, උද්ඝෝෂණය කරන්නට තබා අඩුම ගණනේ සිදු වූයේ කුමක්දැයි නැවතී කතා කරන්නටවත් ඉඩක් හෝ අවසරයක් හෝ නැති අපගේ මිතුරන් වෙනුවෙනි.
අදහස් හා දෘෂ්ටිවාදය අතර ඇති වෙනස පිළිබඳව අපි පැහැදිලි කරගතිමු. අදහස් යනු අප හිතා මතා කතා කරන අපගේම වචන ලෝකයයි. එය සවිඥානකය.
දෘෂ්ටිවාදය එයට වෙනස්ව අපගේ ජීවන භාවිතාව ප්‍රකට කරවයි. එය අප නොදන්නා අපට ඇති සමීප අප පිළිබඳ දැනුමයි. එනම් අපගේ අවිඥානයට සම්බන්ධය. සරලව කිව්වොත් ඇත්තටම අප ජීවත්වන විදිහයි.
ලංකාවේ මිනිසුන් වචනයෙන් මොනවා කීවත් භාවිතයෙන් කැමති වන්නේ අවුල් සහගත හිස්ටෙරික මනුෂ්‍ය සම්බන්ධවය. මේ සොයා ගැනීම නිර්භීතව සමාජයට ඉදිරිපත් කොට ලාංකිකයා දෙබිඩ්ඩෙකු බව ප්‍රකාශ කළ දේශපාලන ව්‍යාපාරය xකණ්ඩායමයි. එම ප්‍රකාශය වෙනුවෙන් එයට ගෙවීමට සිදු වූ වන්දිය අති විශාලය.
අන්තීමට බලන විට සිදු වී ඇත්තේ කුමක් ද? නව රථවාහන සැලැස්ම මගින් පිළිවෙළක් ඇති කිරීමට ගත් උත්සාහය වනාහි නිර්භීත පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුගේ සිහිනයක් පමණක් බවය. ඊනියා මීගමු පුරවැසියන්, වෘත්තිකයන්, පූජකයන්, ගුරුවරුන්, දේශපාලකයින්, සමාජ ක්‍රියාකාරීන්, සජීවකයන්, මීපුර කියවන්නන් සිරිසේන සහ අපගේ මිතුරන්ද ඇතුළු අප සියළු දෙනාට එම උත්සාහයේ වැදගත්කම භෞතිකව නොදැනුනු බවයි. එනම් ඉහත සඳහන් කළ සියළු දෙනාම අදහස් ලෝකයක් තුළ මොනවා ප්‍රකාශ කළත් ඔවුන්ගේ අවිඥානික පැතුම අවුලම බවයි.
අපගේ මිතුරන් —අදහස් තුළ පිළිවෙළ සෑදීමට පක්ෂ වී භාවිතාව තුළ එකී පිළිවෙළ සාදන නව සැලසුම අවිඥානිකව විරුද්ධ වන්නේ ඉහත කී දෙබිඩි භාවය නිසාවෙනි.
ඉතින්, මේ අනුව අපගේ නිගමනය කුමක් ද? නව රථවාහන සැලැස්ම පරාජය කරනු ලැබුවේ එය වෙළෙන්දාගේ උවමනාව වූ නිසාම නොවේ. එය අපගේ මිතුරන් ද ඇතුළු අප සියළු දෙනාගේ අවිඥානික පැතුම වූ බැවිනි.
එම ජීවන භාවිතාව වෙනස් කිරීම පොලිසියට කළ හැකි කටයුත්තක් නොවේ. එය අයත්වන්නේ දේශපාලනයටය. වඩාත් නිවැරදිව කිව්වොත් දේශපාලනික දේශපාලනයට ය.
මෙම ලිපිය කියවූ විට අපගේ මිතුරන්ගේ ප්‍රතිචාරය කුමක් වනු ඇද්ද? ඔවුන් අප සමඟ හිත් නොහොඳ කරගනු ඇත් ද? නැත්නම් ප්‍රති චෝදනා කරනු ඇද්ද? එසේත් නැතිනම් සංවාදයක් ගොඩනගා ගනු ඇද්ද? යන ගැටළුව මා සිතෙහි නැගෙයි. නමුත්, ඔවුන්ට මෙය කියවීමටවත් කිාලයක් නැති තරමට අධික ලෙස වැඩ තිඛෙන බැවින් ඉහත කී කිසිදු තත්ත්වයක් ඇති නොවන බවට මම මටම සහතික කර ගතිමි.
සුදර්ශන ගුණවර්ධන