මීගමුව , දුම්රිය ස්ථානය අසලින් , නයිට් බසාර් පාරේ ඇති මාරගහ යට තරුණ පහේ පුද්ගලයෙකු ප්ලාස්ටික් පුටුවකට බරදී පාරදෙස විමසිල්ලෙන් බලා සිටියි. මාර ගහේ එල්ලන ලද සුදු රෙදි කැබැල්ලක කළු අකුරින් පච්ච හෙවත් ටැටූ කොටන බව සඳහන් කර ඇත. තීන්ත සහ අනෙකුත් උපකරණ කුඩා මේස කෑල්ලක තබාගෙන මෙසේ බලාසිටින්නේ ගනුදෙනු කරුවෙකු එනතෙක්ය. ඔහු ඉදිරියේ තවත් ප්ලාස්ටික් පුටුවකි. ඒ සැනින්ම ගනුදෙනු කරුවෙකු පැමිණේ. දෙදෙනා ගනුදෙනු කතා කරගත් පසු එක්තරා උපකරණයක් අතට ගත් පච්ච කොටන්නා කුරුමිණි හඬින් අනෙකාගේ පපුවේ යමක් සටහන් කරයි. මුලින් ඔහු ඇඳ තිබුනේ ඉරිකෑලි ටිකක් . මා එම ස්ථානයට ගොස් පින්තූරයක් ගත්තෙමි . පසුව ඒ ඉරි කෑලි ක්‍රමයෙන් වෙනස් වුනා. තරුණයා ගේ පපුවේ ඇඳ තිබුනේ “ශානිකා” යනුවෙනි. එමෙන්ම හදවත් දෙකක් හරහා ගිය ඊතලය සහිත මෝස්තරයක්ද සටහන් කර තිබින . ඔහු මා සමඟ කතා කරන අතර පින්තූරයක් , දෙකක් ගැනීමටත් , වීඩියෝ කිරීමටත් මා එම අවස්ථාව යොදා ගත්තෙමි . ඒ ගැන ඔහුගේ අකමැත්තක් නැත . සියළු කටයුතු වලින් පසුව මා ඔහු සමඟ ඉතා කුළුපගව කතාබහක යෙදුනේ දිගු කලක සිට දන්නා අයෙකු ලෙසිනි .
මම මෙතන මේ රස්සාව කරන්න පටන් අරගෙන මේවෙනකොට අවුරුදු 19 ක්. අපේ අම්මයි තාත්තයි ඉන්නෙ වව්නියාවෙ. මට බාල මල්ලි කෙනෙකුයි , නංගි කෙනෙකුයි ඉන්නව.මුල් කාලෙ ටිකක් දුක් වින්ද තමයි . ඒවුනත් මම අතඇරියෙ නෑ. දියුණු කරගත්තට පස්සෙ ප්‍රශ්ණයක් නෑ.
මෙතෙන්ට එන්න කලින් මොනවද කළේ?
පච්ච කොටන රස්සාව මම වෙනත් කෙනෙක් යටතේ සැළුන් එකක මීට කළින් කළා. ඒකෙ මට කිසිම නිදහසක් නෑ. ඒගොල්ලො කියන වෙලාව වෙනකම් වැඩ . ගෙදර යන්න සූදානම් වුනත් කෙනෙක් ආවොත් මම වැඩේ කරන්න ඕනෙ . කොච්චර වැඩ කළත් ඒ අයට මදි. රු. 2000/ දුන්නා . ඒවුනත් මම එතනින් අයින් වුනා.
අවුරුදු 20 දි විතර හෝටලයක රොටි ගැහුව . මට ෂෝටීස් වගේ ඒව හදන්නත් පුළුවන් . අවුරුද්දක් විතර ඒකෙ , ඒක කළා.
මේ රස්සාව ගැන සතුටුද?
ඔව්. මේක මගෙ රස්සාව , විනෝදාංශය , මේක තමයි මගෙ ජීවිතේ. මේ වැඩේට හිත නිදහස්ව තියෙන්න ඕනෙ . ගහන කෙනාට මේක පච්චයක් වුනාට , මට එ්ක චිත්‍රයක්. කලාව දැනගත්ත පලියට මේක කරන්න බෑ. ඇහැට පේනදේ උපරිම විදිහට මම හිතට ගන්නවා. මේ උපකරණයේ වයිබ්‍රේට් එකට මම දැන් හුරුවෙල ඉන්නෙ . ඒනිසා අත ගැස්සුනාට ඉර කෙලින් . බස් කොන්දොස්තර කෙනෙකුට ලියන්න මේසෙ හොල්ලන්න ඕනෙළු. මොකද එයා බස්එකේ වැඩ කරද්දී ගැස්සෙනවනෙ.
ඔයාගෙ නම කිව්වෙ නෑනෙ .
මගෙ නම තිලංක සුමේධ . ඒවුනත් මට කියන්නෙ සුදු කියල. සුදු අයිය කියනව. සුදු මල්ලි කියනව. ඩොට් තුන කියනව. ඩොට් තුන කියන්නෙ ඇයි දන්නවද? මම මගෙ හැම චිත්‍රයකටම පේන නොපේන විදිහට ඩොට් තුනක් තියනවා. ඒක තමයි මගෙ ට්‍රේඩ් මාක් එක.
විශේෂයක් නෑ.කාල, බීල සතුටින් ඉන්න තියෙනව නම් එච්චරයි . මේ තැන ටෙන්ට් එකක් හරි, කුඩයක් හරි දාගෙන හදාගෙන කරගන්න තමයි අදහස. වැඩ අඩු වෙන්නෙ නෑ කියල මට විශ්වාසයක් තියෙනවා . මොකද හරියට වැඩේ කරහම මිනිස්සු හොයාගෙන එනව.
තමන් සතු හැකියාව රැකියාව කරගත් සුමේධ කියන්නෙ ඔහු අනෙකාට බාධා නොකරන නිසා කිසිවෙකුගෙන් ඔහුට බාධාවක් නැති බවයි. තමන්ගේ හිතේ මැවෙන මකරුන් , රකුසන් වගේම මිනිස් හදවත චිත්‍රනය කරන්නත් ඔහුට හැකියාව තියෙනව. ඒ සඳහා ඔහුගෙ මාධ්‍ය වෙන්නෙ අනුන්ගෙ ඇඟයි. මේ සුහද ගනුදෙනුව තුළින් ඔහුගේ නිර්මාණය ඔහුට නොලැබෙන අතර ඒවෙනුවට මුදල් ලැබෙනව. ඒතුළින් මේ දෙදෙනාම සතුටට පත්වෙනව. ඒනිසා මේක අපූරු කලාවක්.