ත්‍රිකුණාමල මුවන් දැක දමපිය නෙලා පලා..! – “ශිව දෙවියන්ගේ අවතාරය තඩි මුවෙකුගේ වේශයෙන් ඇවිත් සුද්දා මැරෙනකම්ම ඇන්නා..“

0
260

1 මුවන් සහ මිනිසුන් එකට ගැවසෙන අග්නිදිග ආසියාවේ ඇති එකම නගරය ත්‍රීකුණාමලයයි. මහ කැළෑවේ ස්වභාවිකව වැවෙන  ලා තණපත්   බුදිමින්  රංචු වශයෙන් ජීවත් වෙන මේ අහිංසක සතුන් මිනිස් ඇස ගැටෙන මානයකටවත් නොපැමිනෙති. පිඹුරු වග වලස් ආදී වන සතුන්ගෙන් මෙන්ම දඩයක් කරුවන්ගෙන් ද සිය ජීවිතය බේරා ගැනීමට ඔවුන් දරණ වෙහෙස අපමණය. අණතුරකදී පණ බේරා ගැනීමට ඔවුන්ට ඇති එකම උපක්‍රමය වන්නේ වේගයෙන් දිවයෑම පමණි. ආහාර ගන්නා විට දී පවා විශාල ඇස් දල්වා හිස එහෙ මෙහෙ අත හරවමින්  කොයි මොහොතේ හෝ තමා සතුරෙකුගේ ගොදුරක් වේදැයි  ඇති සැකය මත දැඩි විමසිල්ලෙන් සහ සෝදිසියෙන්  කල් ගෙවන මුවෝ කුරුල්ලෙකු ගසක අත්තක වසන හඬට පවා බියවෙති. සිය මුළු ජීවිත කාලයම පණකෙන්දට අණතුරක් වේදෝයි සිතමින් මහ වනය තුල පවා සැකෙන් බියෙන් ජීවත් වෙන මේ සතුන් අතිශයින්ම ජනාකීර්ණ වූ ත්‍රිකුණාමල නගරයේ නිදහසේ  නිදැල්ලේ හැසිරෙනු දැකීම  ඇත්තටම පුදුමයක් නොවන්නේද?

හින්දු භක්තිකයන්ගේ විස්වාසයට අනුව  මේ මුව රංචුව ත්‍රීකුණාමල කොටුව තුල ඇති කෝණේශ්වරන් කෝවිලට  දෙවියන් විසින් ලබා දී ඇති ත්‍යාගයකි. ශිව දෙවියෝ ඔවුන්ට රැකවණය ලබා දෙති. එය තහවුරු කිරීම සඳහා එක් දෙමළ ජාතික වැඩිහිටියෙකු  අප සමඟ පැවසූ කථාවක් මෙසේය.

“ඒ කාලේ පෙඩ්‍රික්  කොටුව ඇතුලෙදි සුද්දෙක් මුවෙකුට වෙඩි තියලා  මැරුවා. පස්සේ සතාව මස් කරලා කට්ටියත් එක්ක වයින් බිබී මුව මස් කකා ලොකු පාටියක් දැම්මා. හරියටම රෑ දොළහ වෙනකොට මස් කාපු සුද්දෝ සේරම බඩ අල්ලාගෙන කෑ ගහන්න පටන් ගත්තා. ඔය අතරේ එතන හිටපු තව  සුද්දෙක්  දොස්තර කැන්දන් එන්න ගියා. උදේ වෙන කොට අර සුද්දෝ රොත්තම ලේ වමනේ දාලා ඒ ඒ තැන්වලම මැරිලා හිටියා. දොස්තර එක්කන් එන්න ගිය එකා මුළු සර්වාන්ගෙම තුවාල වෙලා  කෙඳිරි ගගා පාරේ  පත බෑවිලා ඉන්නවා අනෙත් සුද්දෝ දැක්කා. ‘බැරැක්කෙන් එළියට ආවා විතරයි මහා තඩි මුවෙක් මගේ පස්සෙන් එළවාගෙන ඇවිත් ඇනගෙන ඇනගෙන ගියා‘ කියලා ඒ සුද්දත් ඇස්දෙක පියා ගත්තා. එදා ඉඳලා සුද්දෝ ත්‍රිකුණාමලෙන් පිටවෙලා යන තුරුම  මුවෙකුගේ ඇඟට වත් අත තිබ්බේ නෑ. උන් හොඳටම භය වුනා. ශිව දෙවියන්ගේ අවතාරේ මේ අහිංසක සතුන් රැක බලා ගන්නවා. උන්ට හානියක්  කළොත් භයානක දඬුවම් දෙනවා. ශිව අවතාරේ තමයි  මුව වෙසක් අරගෙන ඇවිත් අර මිනිහටත් ඇනලා තියෙන්නේ. මේ කථාව මට කිව්වේ මගේ සීයා.“Untitled-1

මේ අතර ‘සොබා දහම පරිසර කේන්ද්‍රයේ‘ ක්‍රියාධරයෙකු වන නීරංග වික්‍රමසිංහ මහතා පවසන්නේ ඕලන්ද ජාතිකයන් පෙඩ්‍රික් කොටුව ඉදිකිරීමේ දී එම කැළෑවේ ජීවත් වූ මුවන්ට අභය දානය දී ඇති බවයි. ඔහුට අනුව පසුව ඉංග්‍රීසි ජාතිකයන් ද මේ අහිංසක සතුන්ට හිරිහැර නොකර උන්ට පාඩුවේ ඉන්නට ඉඩ හැර තිබේ. කෙසේ වෙතත් නිදැල්ලේ හැසිරෙන මුවන් ත්‍රිකුණාමලේට  සොබා දහම විසින් දුන් අපූරු තෑග්ගක් බව  නීරංග වික්‍රමසිංහ මහතා ද පිළිගනී.

මිනිසුන් අතර ගැවසෙමින් නිදැල්ලේ හැසිරෙන මුවන් ත්‍රීකුණාමල නගරයට අලංකාරකි. දෙස් විදෙස් සංචාරක ආකර්ශණය දිනාගත්, සුන්දර දසුණකි. එහෙත් මේ අහිංසක සතුන්ට තව කොපමණ කාලයක් ත්‍රීකුණාමල නගරය තුල මේ අන්දමට ජීවත් වීමට  හැකිවේද යන්න වනජීවී නිළධාරීන් මෙන්ම සතුන්ට ආදරය කරන පරිසර වේදීන් හමුවේ ඇති බරපතල ගැටළුවකි.   ඒ අසුන්දර කථාව ත්‍රීකුණාමල සහකාර වන ජීවී අධ්‍යක්ෂ ආචාර්‍ය ලලිත් කුමාර මහතා අනාවරණය කරන්නේ මෙසේය.

“යුද්ධය අවසන් වීමෙන් පසුව දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් ත්‍රීකුණාමල නගරයට පැමිණෙනවා. ඒක හොඳ දෙයක්. නමුත් අපේ දේශීය සංචාරකයන් කියන උදවියගේ ඇවතුම් පැවතුම් රටාව නම් හරිම කණගාටු දායකයි. ඒ අය ආහාර වර්ග ඔතාගෙන එන පොලිතීන්, ලන්ච් ෂීට් ආදිය තැන තැන විසිකරනවා. මුවන් මේවා ආහාරයට ගන්නවා . ඒ සත්තුන්ට මේවා දිරවන්නේ නෑ. අන්තිමේ දී මැරිලා යනවා. මැරුණ මුවෙකුගේ අමාශයේ පොලිතින් කිලෝ හතරක් පහක් වත් තැන්පත්ව තියෙනවා. මේක තමයි ත්‍රීකුණාමලෙන් මුවන් වඳ වීමට ප්‍රධාන හේතුව. අපි දැන්වීම් පුවරු මගින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කළත් වැඩක් වෙලා නෑ. එදා මුවන් ගැවසුන සෑම ස්ථානයකම අද ගොඩනැගිලි ඉදිකරලා. උලා කන්න වත් තණපතක්  සොයා ගන්න තැනක් නෑ. මිනිසුන් විසි කරන යමක් මිස වෙනත් කිසිම ආහාරයක් උන්ට නෑ. ඔවුන්ගේ නඩත්තුවට කියා වෙනම මුදලක් අපේ දෙපාර්තමේන්තුවට වෙන් කරන්නෙත් නෑ. අපි යෝජනා කළා මේ සතුන් ඔවුන්ට සුදුසු පරීසරයකට මුදා හරින්න. පූජ්‍ය පූජක දෙපක්ෂයම ඒකටත් විරුද්ධයි. මෙහෙම ගියොත් ත්‍රිකුණාමලේ මුව සම්පත වඳවෙලා යන එක වළක්වා ගන්න අපහසු වෙනවා.“

වනජීවී නිළධාරියා පවසන ආකාරයටම මේ සතුන්ට ඔවුන්ගේ ස්වභාවික ආහාර කිසිවක් අද ත්‍රීකුණාමල නගරය තුල නැත. බඩ වියත රැක ගැනීමට යමක් ඉල්ලා කඩපිල් හෝ ගෙවල් ගානේ ගොස් සිඟමන් යැදීමට ඔවුන්ට සිදුව තිබේ. පිට පළාත් වලින් ත්‍රීකුණාමලේට පැමිණෙන ඇතැම් යහපත් මිනිසුන් එළවළු පළතුරු ආදිය මිළ දී ගෙන ඔවුන්ට කෑමට දෙන ආකාරය ද අපි දැක ඇත්තෙමු. නමුත් එය ඉතා කලාතුරකින් සිදුවන්නකි. එවැනි අවස්ථවකදී මුවන්ගෙන් ප්‍රකාශ වෙන කෘතවේදී භාවය අතිශය සංවේදී ජනකය.

කෙසේ වෙතත් ත්‍රිකුණාමල නගරයෙන් මුවන් බැහැර කිරීම පරිසර සංවිධාන  ද අනුමත නොකරයි. එය ඔවුන් දකින්නේ වනජීවී නිළධාරීන්ගේ ඇග බේරා ගැනීමේ වැඩක් හැටියටය. සොබා දහම පරිසර අධ්‍යයන කේන්ද්‍රයේ ලේකම් නීරංග වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ මුවා ත්‍රීකුණාමල නගරයේ සළකුණ බවට පත් කළ යුතු බවයි. නගරය ආසන්නයේ ඇති සංචාරකයින් බහුලව පැමිණෙන පෙඩ්‍රීක් කොටුව තුල මුවන්ට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් නිරිමාණය කළ යුතු බවටයි ඔහු යෝජනා කරන්නේ.., 

“මේ මුවන්, මිනිසුන්ට ඉතාම හිතවත්. ඔවුන්  නැවත කැළෑ සතුන් කළ යුතු නෑ. ඔවුන්ගේ වටිනාකම රැඳී ඇත්තේ මිනිසුන් සමග ගැවසෙන  තරමටයි. ජපානය වැනි දියුණු රටවල පවා  විශාල නගර තුල මුවන්, රිළවුන් වගේ සතුන් මේ ආකාරයට නිදහසේ ජීවත් වෙනවා. ජනතාව සහ යම් යම් සංවිධාන ඔවුන් රැක බලා ගන්නවා. අපේ රටේ  බහුතරයක් මිනිසුන්ගේ හදවත් වල සතුන් කෙරෙහි කරුණාව අඩුයි. මුවා ත්‍රීකුණාමල නගරයේ සළකුණ බවට පත් කළ යුතුයි. එවිට භූමියේ උරුමය සම්බන්ධයෙන් සමහරු දරණ ජාතිවාදී මත වාද පවා වෙනස් වෙන්න පුළුවන්. පෙඩ්‍රික් කොටුව තුල මුවන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ කඩ ඇති හොඳ පරිසරයක් නිර්මාණය කරන්න පුළුවන්. මුවන් දෙතුන් දාහක් එක තැනක ගැවසෙන කොට මොන තරම් ලස්සනක් මැවෙයිද? එවැනි තැනකට සංචාරකයෝ වශී වෙන එක නවත්වන්න බැරිවේවි. හැබයි ටිකක් වියදම් වෙන වැඩක්“.

ත්‍රීකුණාමල ගෝණතොට පරිසර සංවිධනයේ සභාපති අනුර බණ්ඩාර මහතා මෙසේ පවසයි..,

“ත්‍රිකුණමලේ මුවන්ට පොලිතින් වගේම දඩාවතේ යන බල්ලන් ද විශාල තර්ජනයක්. මුව දෙනෙකු  පැටියෙකු බිහි කළ සැණින්ම ඌ බල්ලන්ගේ ගොදුරන් බවට පත්වෙනවා. කිරි වරන තුරුවත් පැටියෙක් ජීවත් වෙන්නේ කළාතුරකින්. ඔවුන්ට ආවේණික වූ ස්වභාවික ආහාර වෙනුවට බත් සහ පාන් පිටි ආශ්‍රිත කෑම වර්ග කෑමට ගැනීමට සිදුව ඇති නිසා ප්‍රතිශක්තිය හීන වී රෝග  වලට ගොදුරු වීමේ අවධානමත් වැඩියි. වන ජීවි පශු වෛද්‍ය වරුන්ගේ අවධානය යොමු වන්නෙත් සතෙක් මැරුණොත් පමණයි.බල්ලන් සපා කෑම නිසා සහ වෙනත් හේතූන් මත තුවාල වී ප්‍රතිකාර නොලබන සතුන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. යුද්ධය පවතිද්දී මුවන් දාහක් පමණ ත්‍රීකුණාමල නගරයේ සිටියා. අද දෙසීයක්වත් නැති තරම්. තව අවුරුදු කීපයකින් උන් නැත්තටම නැතිවෙලා යාවි කැමක් බීමක් නැති නිසා. සමහර සත්තු සිය කැමත්තෙන්ම නගරය අතහැර යනවා. නගරයෙන් බැහැර පල්ලි පන්සල් කෝවිල්  වැනි ස්ථානවල වලත් ගම්මානවලත් අද උන් ගැවසෙනවා.  කිසිම කෙනෙකුගේ සොයා බැලීමක් නෑ. පෙඩ්‍රික් කොටුව තුල මේ සතුන්ට ගැලපෙන පරිසරයක් කිර්මාණය කිරීම තමයි හොඳම විසඳුම. අපේ සංවිධානයට පුළුවන් ඒ සඳහා මැදිහත් වෙන්න . ඒ සඳහා සුදුසු වැඩ පිළිවෙලක් අපට  තියෙනවා. නමුත්  ආර්ථික හයියක් නැතිකම ලොකු ගැටළුවක්. ඒ නිසා සතුන්ට ආදරය කරන සංවිධාන වලට සහ පුද්ගලයින්ට අප ආරාධනා කරනවා මේ ස්වභාවික සම්පත තවදුරටත් රැක ගැනීමට අප සමග එකතු වන ලෙසට.

ත්‍රිකුණාමල ගෝණතොට පරිසර සංවිධානය අංක DS/TG/SS/VSO/125 යටතේ රජයේ ලියා පදිංචි සංවිධානයකි. (දුරකථන අංකය 072 5247506 – සභාපති අනුර බණ්ඩාර)

ඡායාරූප – ගෝණතොට පරිසර සංවිධානයේ සභාපති අනුර බණ්ඩාර සහ ත්‍රිකුණාමලේ  මුවෝ.

උපුටා ගැනීම /lankaenews.com/ ඡායාරූප සහ වාර්තාව – ආර්. ජී. ධර්මදාස විසිනි