තැ‍රැව්කරුවන් ඉවත් කළ ”නත්තල් කඩ” ටෙන්ඩර් මෙහෙයුම !

0
115

 

( 5.00 pm ) මීට සති දෙකකට තුනකට පමණ කලින් මීගමුව නගරයේ බොහෝ දෙනෙකු වැඩිපුරම කතා කරන්නට වූයේ නත්තල් කඩ පිළිබඳවයි. ඊට හේතු වූයේ නත්තල් කඩ ටෙන්ඩර් කිරීමටත් පෙරම හිටපු නගරාධිපතිගේ ගෝල බාලයින් පිරිසක් පැරණි රීගල් සිනමා ශාලා භූමිය අසල මාර්ගයේ අනවසරයෙන් කඩ කිහිපයක් ඉදිකර තිබීම නිසාය.

ඒ පිළිබඳව වහා ක්‍රියාත්මක වූ නාගරික කොමසාරිස්වරිය ප්‍රමුඛ මහා නගර සභාව එම කඩ ගලවා ඉවත් කරන්නට කටයුතු කළ අතර පසුව නත්තල් සමය නිමිත්තෙන් මීගමුව නගරයේ තාපකාලිකව ඉදිවන නත්තල් කඩ ලබා ගැනීම සඳහා මහ නගර සභාව විසින් ටෙන්ඩර් පත් කැඳවන ලදී. එහිදී කිසිදු තැ‍රැව්කරුවන් නොමැතිව වෙළෙඳුන්ටම සෘජුවම මහ නගර සභාවට පැමිණ කඩයක් ලබා ගැනීම සඳහා ටෙන්ඩර් අයදුම් කිරීමට හැකි වාතාවරණයක් සකස් කර තිබිණි.

ඒ අනුව මීගමුව නගරයේ නත්තල් කඩ ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටි වෙළඳුන්ටම නගර සභාවට පැමිණ කඩ ලබාගැනීම සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා තිබිණි.
නමුත් මීට වසර කිහිපයකට පෙර සිටම සිදුවූයේ නත්තල් සමයට නත්තල් කඩ සඳහා මීගමුව ජනාකීර්න සියලු පාරවල් ටෙන්ඩර්කරුවෙකුට ලබාදී ඉන්පසුව වෙළඳුන්ට කඩ ලබාගැනීමට සිදුවිණි. එහිදී වැඩි වශයෙන්ම සිදුවූයේ ඉතා සොච්චම් මුදලකට මීගමුව නගරයේ පාරවල් බදු ගන්නා ටෙන්ඩර්කරු ඉතාම වැඩි මුදලකට වෙළෙඳුන් හට මෙම කඩ ලබාදීමයි

මෙහිදී නගර සභාවට ලැබුණේ සොච්චම් මුදලකි. හිටපු නගරාධිපතිවරුන්ගේ සහ නගර සභාවට සම්බන්ධ දේශපාලකයන්ගේ ගෝල බාලයන් මෙම තත්ත්වය තුළ නගර සභාවට සොච්චම් මුදලක් ලබාදී එම සොච්චම් මුදල මෙන් හය හත් ගුණයක විශාල මුදලක් යහමින් උපයා ගැනිණි.

එහෙත් මෙවර නාගරික කොමසාරිස්වරිය ඇතුළු මීගමුව මහ නගර සභාව මෙම නත්තල් කඩ සෘජුවම වෙළෙන්දුන්ටම ලබා ගැනීමට හැකිවන සේ සෘජු ක්‍රමවේදයක් සකස් කිරීම නිසා මෙතෙක් පිට පාරේ ගිය එනම් හිටපු නගරාධිපතිවරුන්ගේ ගෝලබාලයන්ගේ සාක්කුවලට ගිය විශාල මුදලක් මේ නිසා මහා නගර සභාවට ලබා ගැනීමට හැකි විය.

එය ඉතා හොඳ ප්‍රවණතාවකි මෙතෙක් කලක් නත්තල් කඩ ටෙන්ඩර් කිරීම ඇතුළු බොහෝ දේ ටෙන්ඩර් කිරීමේදී නගර සභාවට ලැබිය යුතු ආදායම් වෙනත් අයථා සහ අනීතික ක්‍රමවේද තුල වෙනත් පිටස්තර පුද්ගලයන්ගේ සාක්කුවට යාම සිදු වුනි. එහෙත් මේ නව ක්‍රමවේදය නිසා එවැනි අයථා සහ අනීතික ක්‍රියාවලින් වලට වැට බැඳී ඇත

එහෙත් අපට වාර්තා වූයේ එලෙස මීගමුව මහ නගර සභාවේ ටෙන්ඩර් කිරීමෙන් ලබාගත් බොහෝ නත්තල් කඩ ,එලෙස ටෙන්ඩර් කිරීමෙන් ලබාගත් කඩ හිමියන් විසින් වැඩි මුදලකට මීගමුවේ සහ මීගමුවට පිටින් පැමිණෙන වෙළෙඳුන් වෙත ලබාදී ඇති බවයි. රුපියල් 100,000 කට පමණ මුදලකට ටෙන්ඩරයෙන් ලබාගත් නත්තල් කඩයක් රුපියල් 150,000 ටත් එහා ගිය මුදලකට සමහර වෙළෙන්ඳුන් විසින් ලබාගෙන ඇති බවද වාර්තා විය. එලෙසම සමහර වෙළදුන් ලබාගත් වර්ග අඩි 10×10 කඩයක් දෙකට බෙදා එම කඩයේ භාග කොටසක්, 10×10 කඩයක් ටෙන්ඩර් කළ මුදලටත් වඩා වැඩි මුදලකට වෙනත් වෙළඳුන් වෙත ලබා දී ඇති සිදුවීම්ද වාර්තා විය.

එනිසා නගරයේ බොහෝ දෙනකු පවසන්නේ නත්තල් කඩ ලබාදිය යුත්තේ එම කඩ තුළ වෙළඳාම් කටයුතු කරන වෙළදුන්ටම පමණක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here