තිලක් සේනාසිංහ – අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම දෙවන කොටස
වයස අවුරුදු 21 දී පමණ තිලක් පුවත්පත් කලාවට අවතීර්ණ වීමත් සමග තිලක් සේනාසිංහ ලෙසින් හැඳින්වුවද, ඒ දක්වා ම ඔහු භාවිතා කළේ
උප්පැන්නයේ තිබූ ලෙසින් තිලක් ප්‍රියන්ත සිල්වා යන නම යි. පාසලේ දී ගුරුවරුන් මෙන්ම අනෙකුත් ළමයින් ද ප්‍රියන්ත යනුවෙන් ඔහු ආමන්ත්‍රණය කර තිබිණි. අදටත් ඔහුව එලෙස අමතන පාසල් මිතුරන් නැතුවා නොවේ.
1970 වසරට පෙර අපේ රටේ සෙනසුරාදා සහ ඉරිදා දවස්, නිවාඩු දින වූයේ නැත. ඒ වෙනුවට සතිඅන්ත නිවාඩු ලෙස තිබුණේ පුර පසළොස්වක, අමාවක, පුර අටවක සහ අව අටවක යන පෝය දින සහ පෝයට පෙර දිනයයි. එම නිවාඩු හැඳින්වූයේ පෝය සහ පෙර පෝය ලෙසිනි. නමුත් 1970 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලයට පත්වූ පසු එම ක්‍රමය වෙනස් කර සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දින බවට පත් කෙරිණි. එසේ කරනු ලැබුවේ පෝය දින නොසලකා හැරීමක් ලෙස නොව ලෝකයේම පවතින ක්‍රමය එය වූ බැවින් අපේ රටේ පැවති ක්‍රමය ජාත්‍යන්තර කටයුතුවලදී ගැටලුවක් වූ හෙයිනි. නමුත් පසළොස්වක පෝය දින නිවාඩුව වෙනස් වූයේ නැත.
1968 වසර වනවිට තිලක් පස්වෙනි ශ්‍රේණියේ උගනිමින් සිටි දරුවෙකි. ඔහු විසින් රැවුල් කපා පිරිසිදු කර බොහෝ ආදරයෙන් බලා කියාගත් බළලා සිටියේත් ඔහු හතර, පහ වැනි ශ්‍රේණිවල උගත් මේ කාල සීමාවේ දී ය.
බළලා එක් දිනයෙක රෝගාතුර විය. එකල පශු වෛද්‍යවරුන් දක්නට සිටියේ නැති තරම්ය. සිටියත් සතුන් රෝගී වූ විට වෛද්‍යවරුන් කරා ගෙන යාමේ පුරුද්දක් ගම්මුන් තුළ නොතිබුණි. බල්ලන්, බළලුන්, හරකුන්, කුකුළන් ආදී වශයෙන් වූ ගෘහස්ථ සතුන් ගේ රෝගවලට විවිධ අත්බෙහෙත් වර්ග මෙන්ම නොයෙකුත් කෙම් ක්‍රමද ගම්මු දැන සිටියහ. එසේම බල්ලෙක් වැනි සතෙක් මනුෂ්‍යයකුව සපා කෑවත්, සර්පයකු දෂ්ට කළත් මිනිසුන් රෝහල්වලට ගියේ ද නැත. මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන සර්ප වෙද මහත්තුරු, පිස්සු බලු වෙද මහත්තුරු ගම්වල සිටියහ. මොවුන් බොහෝවිට පාරම්පරික වෙද මහත්තුරු වෙති.
රෝගාතුර වූ තිලක්ගේ බළලාට අම්මා නොයෙකුත් අත්බෙහෙත් සාදා පෙව්වාය. නමුත් මෙදා සැරේ නම් බළලා “ගොඩ එන” පාටක් පෙනෙන්නට තිබුණේ නැත. පෙරපෝය දවසේ උගේ අසනීපය තවත් අසාධ්‍ය අතට හැරී තිබිණි. පෝය දවසේ උදේ අවදි වී තිලක් බළලා කොහේදැයි සොයා බැලීය. නමුත් ඌ ඒ වනවිටත් මෙලොව හැර ගොස් සිටියේය. සුරතල් බළලාගේ වියෝගයෙන් බිම පෙරළී හැඬූ මේ කුඩා දරුවාට මඳ වේලාවකට පසුව අපූරු අදහසක් සිතට නැඟිණි. ඒ බළලා වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් ලියා පන්තියේ යහළුවන් අතරේ බෙදා දෙන්නට ය.
පාසලේ අභ්‍යාස පොතකින් අවසාන කොලය සීරුවට ඉරා ගත් ඔහු කවියක් ගොතන්නට පටන් ගත්තේය. කපමින් කොටමින් පැය ගාණක් වෙහෙස මහන්සි වී අවසානයේ ඔහු කවියක් ලියා ගැනීමට සමත් විය.
” මගෙ පණ වගේ සිටි සුදු ආදර කිටියා
පෝයට පෙර දවසෙ රෑ වෙනකල් හිටියා “
මේ එම කවියෙහි මුල් පද පේළි දෙක ය. අවාසනාවට, අවසන් පද පේළි දෙක දැන් ඔහුගේ මතකයේ නොමැත.
කවිය සාදා අවසන් කළ තිලක්ට දැන් බොහෝ සතුටු ය. අභ්‍යාස පොතෙන් තව කොල හත අටක් ඉරාගත් ඔහු ඒ සියල්ලෙහිම මේ කවිය ලීවේය. ඉන්පසු ඒ සියල්ල මේසය මත දිග හැරගෙන නැරඹූ ඔහුට බළලාගේ වියෝගයෙන් සිතට දැනී තිබූ වේදනාව තුනී වී ගොස් පසුදින උදේ පාසලට ගිය සැනින් මේ ශෝක ප්‍රකාශ ටික යහළුවන් අතර බෙදා දීමේ නොඉවසුමක් මතු විය.
පන්තියේ වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා ගුරුතුමිය පැමිණෙන්නට පෙර ශෝක ප්‍රකාශ ටික මිතුරන් අතට පත් කරන්නට තිලක් සමත්ව තිබිණි. ඔවුන් එය විස්මයෙන් කියවනු බලා ඔහු අපූරු සැනසුමක් අත්වින්දේය.
එවකට ඔවුන් ගේ පන්තිය භාරව සිටියේ ඩී. ඒ. සමරවීර නම් ගුරු මහත්මියකි. සිසුන් සියලු දෙනාගේම අවධානය බළලාගේ ශෝක ප්‍රකාශය කෙරෙහි යොමු වී තිබීම නිසා ගුරුතුමිය පන්තියට පැමිණෙන තුරුම ඔවුන්ට ඒ පිළිබඳ වැටහීමක් නොවිණි. වහාම ශෝක ප්‍රකාශය සඟවා ගත්තත් ගුරුතුමිය එය දුටුවාය.
” මොකක්ද ඔය හංගගත්තෙ? කෝ ගන්නව බලන්න ඕක මෙහාට”
තමා ආසන්නයේම සිටි ළමයින් කිහිප දෙනා වෙත ගිය ගුරුතුමිය කීවේ තරමක් සැරෙන් ය.
තිලක් ගේ ඇඟට හීන් දාඩිය දැම්මේය. ළමයා එය ගුරුතුමිය අත තැබීය. ගුරුතුමිය එය කියවා ඉන්පසුව හිස ඔසොවා පන්තිය සිසාරා බැල්මක් හෙලුවාය.
” කවුද මේක ලිව්වෙ? ” ඇගේ ස්වරයෙහි සැර මඳක්වත් බාල වී තිබුණේ නැත.
ළමයින් සියල්ලෝම නිහඬ ය. නිසැක ලෙසම ගුරුතුමිය මේ සැරසෙන්නේ වේවැල් පාර දීමට විය හැකිය. නමුත් දැන් ඉතින් කරන්නට දෙයක් නැත. සිදුවන ඕනෑම දෙයකට මුහුණ දීමට සිත හදා ගත් තිලක් ,
” මම නෝනමහත්තයා” යැයි පැවසුවේ ඇහෙන නෑහෙන ගාණට ය.
එකල ගම්බද පාසල්වල සිසුන් ගුරුතුමියන්ට ආමන්ත්‍රණය කළේ ”නෝන මහත්තයා” යනුවෙනි. පිරිමි ගුරුවරුන් “මහත්තයා” වූ අතර ප්‍රාථමික පාසල්වල ගුරුතුමියන් මිස ගුරුතුමන්ලා සිටියේ නැත. විදුහල්පතිවරයා අමතන ලද්දේ “ලොකු මහත්තයා” ලෙසිනි. විදුහල්පති කාන්තාවක් වූයේ නම් ඇය ” ලොකු නෝනමහත්තයා” වූවාය.
බයෙන් බිරාන්තව සිටි මෙම සිසුවා පිළිබඳ තැකීමක් කරන බවක් නොපෙන්වූ ගුරුතුමිය ඔහුට බුරුලක් පෙන්වූයේ ද නැත.
” හරි, දැන් මම මේ කවිය කියවනවා. මං කියෙව්වට පස්සේ ඔය ළමයි මේක කියවන්න ඕනේ. හැමෝම හොඳට කට ඇරලා හයියෙන් කවිය කියන්න ඕනේ තේරුණාද ?”
ගුරුතුමිය කුමකට සැරසෙන්නේ දැයි තිලක්ට සිතාගත හැකි වූයේ නැත. දහඩියෙන් ඔහුගේ සියොළඟ තෙත් වී තිබිණි. ගුරුතුමිය කවියේ මුල් පේළිය තාලයට ගායනා කළාය. ඉන්පසු ළමයි සියලු දෙනාම මහ හඬින් එය ම ගායනා කළහ. මෙලෙස ගුරුතුමිය ළමයින් සමග සම්පූර්ණ කවියම ගායනා කරනු තිලක් බලා සිටියේ විස්මය පිරි දෑසිනි. ඊළඟට කුමක් සිදු වෙයිද?
කවිය කියවා හමාර විය. ගුරුතුමිය පන්තියේ සියලු ළමුන් දෙස බැලුවාය.
” ඔන්න අද මං කිව්වා කියල හිතේ තියා ගනිල්ලා. තිබ්බටුගොඩින් කවද හරි හොඳ කවියෙක් බිහි වෙනව”
ගුරුතුමිය කීවේ එපමණි. එදා ගුරුතුමිය කළ එම ක්‍රියාව ගැන හරිහැටි අවබෝධ කර ගන්නට තරම් තිලක් කුඩා වැඩි විය. ඇයට අවශ්‍ය වූයේ සියලු දරුවන් ඉදිරියේ තමාගේ හැකියාව අගය කිරීමට බව ඔහු වටහා ගන්නා විට තව වසර කීපයක් ගත වී තිබිණි.
වර්ෂ 1915 දී උපත ලබා තිබූ තිලක්ගේ පියා සිංහල ජ්‍යෙෂ්ඨය සමතෙකි. එකල සිංහල ජ්‍යෙෂ්ඨය සමත්වීම අද උපාධියක් ගත්තා හා සමාන පිළි ගැනීමක් තිබූ අධ්‍යාපන සුදුසුකමක් විය. එසේම සිංහල ජ්‍යෙෂ්ඨය සමත් වීම එකල කොතරම් දුර්ලභ කාරණයක් වී දැයි කිවහොත් එම විභාග සහතිකයේ විභාග කොමසාරිස්වරයා අත්සන යොදා තිබුණේ කටු පෑනෙනි.
ජ්‍යෙෂ්ඨය සමත් වීමෙන් පසු ඔහු ශිෂ්‍ය ගුරු වෘත්තියට පිවිසියේය. මුල්ම ගුරු පත්වීම අල්ලපු ගමේ, එනම් හොරගොල්ලේ ශ්‍රී ලංකා විද්‍යාලයට ලැබී තිබිණි. එවකට පැවති ක්‍රමයට අනුව ශිෂ්‍ය ගුරුවරුන් ලෙස බඳවා ගන්නා අය මහරගම ගුරු විද්‍යාලයෙහි ගුරු පුහුණුවට යැවීමට පෙර වසර කිහිපයක් දුර පළාතක දුෂ්කර සේවයේ යෙදිය යුතු වෙයි. නමුත් මේ කාලයේ තිලක්ගේ පියාගේ මව සිටියේ ලෙඩ ගාණේ ය. ඔහුට සහෝදරියක් ද නොසිටි අතර සිටියේ එකම සහෝදරයෙක් පමණි. ඒ කාලයේ ඔහු විවාහ වී සිටියේ ද නැත. මේ නිසා තම මව බලාගන්නට කෙනකු නොසිටි හෙයින් තිලක් ගේ පියා ගුරුවෘත්තියෙන් සමුගත්තේය. ඉන්පසු ඔහු ආහාර දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ රැකියාවක් සොයා ගත් අතර ඔහුගේ තිබූ අධ්‍යාපන සුදුසුකම් මත මඳ කලකින්ම ඔහුට උසස් වීමක් ලැබිණි. ඒ ගබඩා පාලකවරයකු ලෙසිනි.
ඔහු ගුරුවරයකු ව සිටි නිසා අසල්වැසියන් තමන් නොදන්නා යම් යම් විෂය කාරණා සම්බන්ධයෙන් ඔහු හමුවී කතාබස් කිරීම නොයෙක් විට පුරුද්දක්ව පැවතියේය. නිවසේ සිටින විට අවශ්‍ය දේකට පමණක් කතා කරන ඔහු මෙවැනි අවස්ථාවන්හි දී බොහෝ සෙයින් දොඩමළු වෙයි. තමා දන්නා ඕනෑම දෙයක්, ඕනෑම කෙනෙකුට පැවසීම ඔහුගේ පුරුද්දකි. නිවසේ සිටින විට තිලක් ද මේ සියල්ල හොඳින් අසා සිටියේය. තාත්තා ගේ මෙම ක්‍රියාව ඔහුට මහත් ගැටලුවක් විය. තාත්තා මෙලෙස තමා දන්නා සියල්ල හැම කෙනෙකුටම පවසන්නේ ඇයි ? තනිවම මේ ගැන කල්පනා කළ තිලක් අවසානයේ තාත්තා වෙතින්ම මෙය බේරුම් කර ගැනීමට ඉටා ගත්තේය.
“තාත්තා දන්න හැම දෙයක්ම හැමෝටම කියන්නේ ඇයි?” සෑහෙන කලක් තිස්සේ සිත ඇතුලේ පොරබදිමින් සිටි සිතිවිල්ල ඔහු තාත්තා ඉදිරියේ තැබුවේ එලෙසිනි.
” ඇයි පුතා එහෙම ඇහුවේ?”
” තාත්තා දන්න හැමදේම අනිත් අයට කිව්වට පස්සේ තාත්තා දන්න දේවල් ඉවර වෙනවනේ”
පොඩි එකා නොතේරුම්කමට ඇසූ පැනයට තාත්තා ගේ මුහුණේ සිනාවක් මතු විය. ඔහු තම කුඩා පුතුගේ හිස මෘදු ලෙස අතගෑවේය.
” පුතේ පිනයි දැනුමයි දෙන තරමටම ලැබෙනව. ඒ නිසා දන්න දෙයක් නොදන්නා කෙනෙකුට කියලා දෙන්න ”
තාත්තා කියා දුන් එම පරම සත්‍යය තම ජීවිත කාලය පුරාම යළි යළිත් පසක් කරගත් බව තිලක් අද ද පවසන කරුණකි.
පාසල් නිවාඩු කාලයට තාත්තා සේවය කරන ආහාර ගබඩාවට යන්නට කුඩා තිලක් බොහෝ සෙයින් ප්‍රිය කළේය.
පිටකොටුවේ මැනිං මාකට්ටුව පිහිටි ප්‍රදේශයේ අතීතයේ තිබුණේ ආහාර දෙපාර්තමේන්තුවේ මධ්‍යම සීනි ගබඩාව ය. ප්‍රධාන සීනි ගබඩාව වූ එය එකල මැනිං සීනි ගබඩාව ලෙසින් හැඳින්වූ අතර කලක් තිලක් ගේ තාත්තා එහි ගබඩා පාලක ලෙසින් රාජකාරි කටයුතු කළේය. එසමයේ තිලක් පාසල් නිවාඩු කාලයට කිහිප වරක් ම පියා සමග එහි ගොස් තිබිණි.
කොළඹ වරායට සීනි නැව පැමිණ සීනි ගොඩ බෑ පසු ආහාර දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථ මගින් එම සීනි ගෝනි මධ්‍යම සීනි ගබඩාවට රැගෙන එයි. මෙසේ පෝලිමට පැමිණෙන මෙම ලොරි රථ මැනිං ගබඩාවට හරවන විට එහි වේගය බොහෝ සෙයින් බාල කරන්නට හෝ ලොරි මඳකට නතර කරන්නට සිදුවෙයි.
මෙවැනි අවස්ථාවන් පිළිබඳ මනා දැනීමක් ඇති ඒ ප්‍රදේශවල වාසය කරන සමහර පිරිමින් තරමක කාඩ්බෝඩ් පෙට්ටියක් රැගෙන වහා ලොරි රථයක් වෙත දිව එයි. ඉන්පසු බ්ලේඩ් තලයක් හෝ තියුණු පිහියක් යොදාගෙන යටම තිබෙන සීනි ගෝනියක කොනක් කපා දමයි. ඉන්පසු නොකඩවා වතුර ගලන්නාක් මෙන් පහලට වැක්කෙරෙන සීනි කාඩ්බෝඩ් පෙට්ටියට එකතුකර ගනී. ඉන්පසු ලොරිය යළි පණ ගන්වාගෙන යන විට ඔහු එතැනින් පැන දුවයි. ලොරිය සීනි ගබඩාව වෙත යන තුරුම එම පාර දිගට නොනවත්වාම සීනි වැක්කෙරෙයි. ගෝනි බාන විටත්, එය ගබඩාවේ තැන්පත් කරන විටත් මෙලෙස විශාල ප්‍රමාණයක් සීනි අපතේ යාම සිදුවෙයි. මේ කියන 1970 වැනි කාලයක පිටකොටුව දැන් මෙන් ජනාකීර්ණ නැත. මිනිසුන් ගමන් කළේ ඉඳහිට ය. ලංගම බස් රථ හැරුණු විට පාරේ මෝටර් රථ ගමන් කළේ ද ඉතාමත්ම අඩුවෙනි. එනිසා මෙවැනි සොරකමක් කළ විට දකින කෙනෙක් නැත.
මෙලෙස අපතේ යන සීනි මෙන්ම ගෝනි තුළින් සුළු වශයෙන් හැලෙන සීනි ද අතුගා පැත්තක ගොඩ ගසනු ලබයි. ඉන්පසු එම සීනි කඳු කලින් කලට වෙන්දේසියේ විකිණේ. මේවා මිලදී ගනු ලබන්නේ බොහෝවිට ම හොර මත්පැන් සකස් කරන පුද්ගලයන් බව තිලක් දැන ගත්තේ ඔහුගේ තරුණ වියේ දී ය.
මෙසේ තාත්තා සමග ගබඩාවට ගිය පසු ,
“මෙන්න මේ දරුවට ඔය ගබඩාව පෙන්නන්න ළමයිනේ” යනුවෙන් පවසමින් තාත්තා, තිලක් ව භාර කළේ අලුතෙන් උපාධිධාරී පත්වීම් ලබා ආහාර ගබඩාවේ සේවයට පැමිණ සිටි තරුණයන් දෙදෙනෙකුට ය. තිලක් ඔවුන් දෙදෙනා සමග සුවිසල් ගබඩා භූමියේ එහා මෙහා ඇවිදිමින් සිටියේය.
” මල්ලියෙ උඹලෑ තාත්ත හරි මෝඩයෙක් බං “
තමන් සමග ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනාගෙන් එක අයකු එලෙස කී විට තිලක් තුළ මහත් තරහක් උපන්නේය. නමුත් තමාට වඩා උස මහතින් වැඩී සිටි ලොකු අයියා කෙනෙකු වූ ඔහුට පහර දෙන්නට තිලක් බිය විය.
” ඇයි ඔයා අපේ තාත්තට මෝඩයා කියන්නේ? ” ඔහු ඇසුවේ සංවේගයෙනි.
” මේව තේරුම් ගන්න උඹ තාම පොඩි වැඩියි මල්ලියෙ. ස්ටෝස්කීපර්ස්ලා බඩු පන්නන්නෙ නිකන් නෙමේ ලොරි පිටින්. එහෙම හැදිච්ච එවුන් කොච්චර ඉන්නවද? ඒකට උඹලගෙ තාත්තා. අපට තිබුණා නම් ඔය තනතුර අපි එහෙනම් මෙලහට මාලිගා පිට මාලිගා ගහලා “
එම තරුණයා කී දෙය තිලක් මැනවින් සිත තබා ගත්තේ පසුව මේ ගැන තාත්තාගෙන් අසා දැන ගැනීමේ අරමුණෙනි.
එදා උදේ ගෙදරින් එන්නට පිටත් වන විට අම්මා තාත්තා ට ගෙදර සීනි ඉවර වී ඇති බව මතක් කළාය. තරුණයා කී කතාව, ගබඩාවේ වහලය තෙක් උසට ගොඩ ගසා තිබෙන සීනි ගෝනි වැනි සිතිවිලි තිලක්ගේ සිත තුළ තුළ නැවත නැවත දෝංකාර දෙමින් පැවතියේ ය. ගෙදරට අවශ්‍ය බැවින් තාත්තා ගබඩාවෙන් සීනි ටිකක් අරගෙන එනු ඇතැයි තිලක්ට සිතිනි. නමුත් උදේ ගිය ආකාරයටම තාත්තා සවස වැඩ නිමවී තිලක්ගේ අතින් අල්ලා ගෙන ඔහු කැටුව ආපසු එන්නට විය. ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් බැස කඩමණ්ඩියේ සිල්ලර කඩයකට ගොඩ වුණු තාත්තා,
” මුදලාලි මට සීනි රාත්තලක් දෙන්නකෝ” යැයි පවසනු තිලක් අසා සිටියේය.
පත්තර කඩදාසියකින් ගොට්ටක් සෑදූ මුදලාලි එයට සීනි දමා තරාදියේ එක් පැත්තක තබා තරාදියේ අනෙක් පැත්තට රාත්තලේ පඩිය දමා සීනි කිරයි. එලෙස රාත්තල කිරූ ඔහු ඉන්පසු සීනි ගොට්ටේ කට වසා ගොට්ටෙහි මුලත් අගත් හොඳින් හසුවන පරිදි සිහින් ගෝනි ලණුවකින් ගොට්ට බඳින අයුරු ද තිලක් බලා සිටියේය.
” සත හැත්තැදෙකයි”
සීනි ගොට්ට තාත්තා අතට පත් කරමින් මුදලාලි එහි මිල කියන අයුරු තිලක්ට ඇසිනි. සිය මුදල් පසුම්බිය හැර සත හැත්තෑ දෙකක් ගත් තාත්තා එය මුදලාලිගේ අත තබා තිලක් සමඟ ආපසු එන්නට හැරිණි.
” ඇයි තාත්තේ ගබඩාවේ අර තරම් සීනි ගෝනි තියෙද්දි තාත්තට එතනින් ටිකක් ගේන්න පුළුවන්නේ. ඇයි තාත්තා කඩේට ඇවිත් සල්ලි දීලා සීනි ගත්තේ ?”
තාත්තා සිය පුතුගේ මුහුණ බැලුවේ ය. ඒ මුහුණේ වූයේ මහා නිවුණු බවකි.
” පුතේ ඒවා අපට අයිති නෑ . අයිති නැති දෙයක් ගන්නවා කියන්නේ ගින්දර ගන්නවා වගේ දෙයක්. මට පඩියක් ලැබෙනවනේ පුතේ. ඒ පඩියෙන් අපි ගෙදරට ඕන කරන දේවල් ගමු”
තාත්තාගේ වදන් ගලක කොටන ලද අකුරු මෙන් තිලක්ගේ සිතෙහි නොමැකෙන ලෙස තැන්පත් විය.
සිල් සමාදන් වූ දවසේ දානය උස්මුරුත්තාවට ආ හැටි ඊළඟ දවසේ කියවමු.
සටහන : ඉන්දු පෙරේරා