ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘විදුලි බිල සහ තෙල් මිලට කුමක් කරමු ද?’ යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී අද (03) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක…
මම තෙල් මිල 40%ක් අඩු කරා
‘‘ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමට පෙර තෙල් මිල අඩු කරන බවට පොරොන්දු වුණා. තෙල් මිල සූත්‍රයක් ඇති අතර ඊට අනුව මිල අඩු කළ නොහැකි බවත්, එසේ කළහොත් අයි.ඕ.සී. සහ සිනොපෙක් සමාගම්වලට වන්දි ගෙවීමට සිදු වන බවත්, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා විටින් විට ප්‍රකාශ කරා. මම විදුලිබල අමාත්‍යවරයාව සිටිය දී දෙදහස් පහළවේ දි ඩීසල් සහ පෙට්‍රල් මිල සියයට හතළිහකින් අඩු කරා. එවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභත් ලැබුවා. තෙල් මිලට රුපියල් පනහක බද්දක් (ඩීසල්) සහ රුපියල් හැත්තෑ දෙකක බද්දක් (පෙට්‍රල්) ඇතුළත් වුණ අතර, සියයට දහඅටක වැට් බද්දක් ද අය කෙරෙනවා. මෙම බදු අඩු කිරීමෙන් තෙල් මිල අඩු කරන්න පුළුවන්. එමගින් ආර්ථිකය පුනර්ජීවනය කරන්නත් පුළුවන්. ආණ්ඩුවට තෙල් මිල අඩු කරන්න බැරි නම් ඒ බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතු යි. බදු අඩු කරොත් ආණ්ඩුව පවත්වාගෙන යන්න බැරි බව පිළිගත යුතු යි.
බදු අය කර ගැනීමේ ක්‍රමවේදය
මැතිවරණ වේදිකාවේදී අපිට ඇහුණේ මේවා අඩු කරන්න පුළුවන් කියන කතාව. හිටපු විදුලිබල හා බලශක්ති ඇමති හැටියටත්, දෙදහස් පහළවේ දි අපි ජනතාව ඉදිරියේ පොරොන්දුවක් දුන්නා. අපි අඩු කරලා පෙන්නුවා. ඒ අඩු කරලත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ උපයන තැනක් බවට, ඒ වගේම මූල්‍යමය වශයෙන් ශක්තිමත් තැනක් බවට ඊළඟ අවුරුදුවල අපි පත් කරා. දැන් මොකක්ද තෙල්වල තත්ත්වය? අපි කවුරුත් දන්නවා තෙල් මිල හැදෙන්නේ යම්කිසි ආකාරයක ක්‍රියාවලියක් මගින්. ලංකාවට තෙල් අපි ටෙන්ඩර් පටිපාටියක් මත ගෙන්වනවා. අපි බොරතෙල් ගෙන්නලා සපුගස්කන්දේ පිරිපහදු කරනවා. දැනට ඒ කටයුත්ත හුඟක් අඩපණ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි කෙළින් ම ඩීසල්, පෙට්‍රල් මිලදී ගන්නවා. අයි.ඕ.සී. එකත්, සිනොපෙක් එකත් ඒ විදිහට තමයි ක්‍රියා කරන්නේ. එතකොට එහෙම ගේන පෙට්‍රල්, ඩීසල්වලට යම් ප්‍රිමියම් එකක් එනවා. ඒ, වෙළඳපොළේ තියෙන තත්ත්ව සැලකිල්ලට ගනිමින්.
ඊට පස්සේ අපි කවුරුත් දන්නවා වරායට ගොඩබෑවට පස්සේ අපිට තියෙනවා, එහෙම නැත්නම් CIF එක. CIF කියන්නේ Cost, Insurance and Freight. අන්න ඒ අගය ආවට පස්සේ, ඒ අගයට බදු එනවා ආණ්ඩුවෙන්. සැප්තැම්බර් මාසේ මිල ගණන් ගැන බැලුවහම සාමාන්‍යයක් හැටියට මම මේ කියන්නේ. සිපෙට්කෝ එක එක ගානකට ගෙනල්ලා තියෙනවා. නමුත් මේ සමාගම් තුනෙන් ම මේ සමාගම් තුනෙන් වෙන් වෙන් වශයෙන් රජය බදු අය කරලා තියෙනවා: පෙට්‍රල් වලින් රුපියල් එකසිය දහයත්, එකසිය දාහතත් අතර. ඒ වගේම ඩීසල්වලින් බදු අය කරලා තියෙනවා රුපියල් අසූ අටත්, අනු හතරත් අතරේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් එකසිය පහළවක් පමණ පෙට්‍රල් වලිනුත්, රුපියල් අනුවක් පමණ ඩීසල් වලිනුත් බදු අය කරනවා. දැන් එතකොට මේ ගාන අඩු කළහම සමාගම්වලට ගෙවන්න තියෙනවා කියන්නේ මොකක්ද?
ලාබය බෙදිය යුත්තේ ජනතාවට
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි බිල සංශෝධනය පිළිබඳ යෝජනා මහජන උපයෝගීතා කොමිසමට භාර දීලා නෑ. මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයේ වියදම් පිළිබඳ දත්ත ප්‍රශ්න කර තිබෙනවා. දෙදහස් විසි දෙකේ දී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වූ ණය රුපියල් බිලියන දෙසිය හයයි දශමතුනක් රජය ගෙවල තියෙනවා. තවත් රුපියල් බිලියන තුන්සිය හැත්තෑ දෙකක ණයක් කොටස් බවට පත් කරල තියෙනවා. දෙදහස් විසි තුනේදි ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි හයදහස් එකසිය හැට එකක ලාභයක් ලබා තිබෙන අතර, රුපියල් බිලියන තිස් හයක මුදලක් ද ඉතිරි කරල තිබෙනවා. දෙදහස් විසි හතරෙ පළමු මාස එකොළහ තුළ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන දෙසිය හැට තුනක ලාභයක් ලබා තිබෙනවා. ඒ නිසා විදුලි බිල අඩු කරන්න පුළුවන්; එමගින් කර්මාන්ත ශක්තිමත් කරන්නත් පුළුවන්. ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරික්ත ධනය මහජනයාට ලබා දිය යුතු යි. එහෙම නැතුව ඒ ලාබය සේවකයින් අතර බෙදා නොගත යුතු යි.’
පොදු ප්‍රවාහන සේවය වර්ධනය කරන්න
වාහන ආනයනය සිදු කරන්න ඕනෙ විද්‍යාත්මකව යි. සෑම නිවසකට ම කුඩා කාර් එකක් ලබා දීමේ සංකල්පය අත්හැරිය යුතු යි. ඒ වෙනුවට පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතු යි. ලොරි බස් වෙනුවට මගී ප්‍රවාහන බස් ආනයනය කළ යුතු යි. රජය විසින් කුඩා වාහන ආනයනය කිරීමේ ප්‍රවණතාවක් දක්නට තිබෙනවා. එහෙම කුඩා වාහන ආනයනය කරන්නේ නම් විදුලි වාහන ආනයනය කළ යුතු යි. එමගින් පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක් නිර්මාණය කළ හැකි යි.’’
මේ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක…
ප්‍රශ්නය:
ඔබ විෂය භාර අමාත්‍යවරයා වෙලා හිටියා නම් ජනතාවට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය කීයට දෙනවාද?
පිළිතුර:
‘‘මට මේ මුළු සංඛ්‍යාලේඛන දිහා නොබලා කතා කරන්න බැහැ. නමුත් අනිවාර්යයෙන්ම අපි 2015 දී අඩු කරලා දුන්නා. ඒක මේ රට දන්නවා. රු. 154 ට තිබුණු පෙට්‍රල් අපි රු. 114 ට දුන්නා මේ රටේ. 40% කින් අඩු කරා. ඒ වගේම ඩීසල් ලීටරය අපි රු. 137 ට තිබිච්ච එක රු. 95 ට අඩු කරා. ඒ නිසා මෙතන මම කතා කරන්නේ කයිවාරු ගහන කයියනායකයෙක් හැටියට නෙවෙයි, වැඩ කරලා පෙන්නපු කෙනෙක් හැටියට. දැන් මට මූලික සංඛ්‍යාලේඛන ටික හරියට බලන්න දෙනවා නම්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, ඒ වගේම IOC එකේ අනෙක් අයගේ ලාභ අලාභ ගිණුම, මොකද අපි හරියට මේ සංඛ්‍යාලේඛන දන්නේ නැහැනේ. මට ඔබට නිශ්චිත පිළිතුරක් දෙන්න පුළුවන්. නමුත් මම බොහොම පැහැදිලිව කියනවා ඩීසල් මිල අඩු කිරීමෙන් තොරව රටේ ආර්ථිකය දියුණු කරන්න බැහැ. අපි තරඟකාරී වෙළඳපොළට ප්‍රවේශ වෙලා ඉදිරියට යන්න නම් අඩුම ගානේ ඩීසල් මිල 30% කින්වත් අඩු වෙන්න ඕනේ.’’
ප්‍රශ්නය:
මේ අය බලයට එන්න කලින් කිව්වා රුපියල් 52 ක කතාවක්. ඔබ ඒ කතාවත් එක්ක එකඟයිද? ඒ කියන්නේ ආසන්න වශයෙන්…
පිළිතුර:
‘‘නැහැ, ඒක කවුරුවත් මේ මොහොතේ ඇත්තටම මේ පෙට්‍රල් ලීටරයක් කීයකට දෙන්න පුළුවන් කියලා දන්නේ නැහැ. දැන් පෙට්‍රල් ලීටරේ සංඛ්‍යාලේඛනය, මම දන්නේ නැහැ, සැප්තැම්බර් මාසේ ලංකාවට පෙට්‍රල් ගහලා තියෙන්නේ CIF අගය රුපියල් 128 යි. තව ඒකට තව ගණන් එකතු වෙන්න එපැයි, නේද? ප්‍රවාහන වියදම් තියෙනවා, ඩීලර්ස් කට් තියෙනවා, ඔය බදු අයින් කළොත් ඕක රුපියල් 150 කට විතර දෙන්න පුළුවන් වෙයි. ඉතුරු ටික බදු සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය. හරි, ඒකේ සංඛ්‍යාලේඛන හරි යටම දැනගන්නේ නැතුව මට හරියටම කියන්න බැහැ. මම මේ කිව්වේ ආසන්න කතාවක්. සැප්තැම්බර් මාසේ දත්තය අපි ගාව තියෙනවා.’’
ප්‍රශ්නය:
ජනතාව විශාල සහන බලාපොරොත්තු වුණා. දැන් මේ යන විදිහත් එක්ක එහෙම සහන ලැබෙයිද ජනතාවට?
පිළිතුර:
‘‘නැහැ, ආණ්ඩුවට අපි කියන්නේ ඇත්ත කියන්න. නිකන් තවදුරටත් ව්‍යාජ කතා කියන්න එපා. ඇත්ත කියන්න. ඇත්ත කියන්නේ අපි රුපියල් 90 කට අධික ප්‍රමාණයක් ඩීසල් වලින් ලීටරයකට බදු ගන්නවා. රුපියල් 115 කට ආසන්න ප්‍රමාණයක් පෙට්‍රල් ලීටරයකින් බදු ගන්නවා. අපිට ඒවා නැතුව ආණ්ඩු කරන්න බැහැ කියන ඇත්ත කියන්න. ගිය ආණ්ඩුව ගහපු ගිවිසුම් ගැන කියන්නේ නැතුව. ඒ වගේම ගිය ආණ්ඩුවේ ඇමතිවරු කොහෙන් හරි හොරකම් කරලා තියෙනවා නම්, ප්‍රිමිය වලින් හොරකම් කරලා තියෙනවා නම් ඒවා කිය කිය ඉන්නේ නැතුව ඒවා investigate කරලා ඒ ප්‍රශ්න විසඳන්න. ඒ දේවල් අතීතයේ වෙලා තියෙනවා. ඒක හින්දා ඒක විසඳන්න. එහෙම නැතුව මේක කතා කර කර ඉන්න එපා. දැන් බලය තියෙනවානේ. තුනෙන් දෙකකට වැඩිය බලයකුත් තියෙනවා. ජනාධිපති ධූරයත් තියෙනවා. කරන්න.
ප්‍රශ්නය:
ජනතාව දැන් ලොකු සහනයක් බලාපොරොත්තු වුණා. දැන් කීප අවස්ථාවක් ම ජනතාව කරන්න කියලා 2015, 2019, ඔය වගේ කටයුතු කරා. දැන් මෙවරත් මේ ජනතා බලාපොරොත්තු බිඳ වැටුණොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයි කියලද ඔබ අදහස් කරන්නේ?
පිළිතුර:
‘‘ඒක ජනතාවම තමයි අවසානයේ තීරණය කරන්න ඕනේ. දැන් අපි 2015 දී නම් තෙල් මිල සම්බන්ධයෙන් යම්කිසි පොරොන්දුවක් අපි දුන්නා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බිලියන 20 ක සහනයක් දෙනවා. එතකොට බිලියන 68 ක සහනයක් දුන්නා. හරි. ඊළඟට අපි කිසිම අවස්ථාවක විදුලි බිල වැඩි කළේ නැහැ ඒ මුළු 2015 දීම. අපි 15% කින් පටන් ගන්නකොටම විදුලි බිල අඩු කළා. ඒ සහනය අපි ගෙනිච්චා. ඒවායේ වැරදි නිවැරදි තියෙනවා. ඒ නිසා විදුලිබල මණ්ඩලයට ඇතැම් අවස්ථාවල පාඩු ලබන්න වුණා. 2019 දී එහෙම ගොඩක් වැඩි වශයෙන්. ඒක ආණ්ඩුව කරපු වරදක්. නමුත් අපි එහෙම කරා. ඒ නිසා මේ ක්‍රියාවලියේදී අපි කියන්නේ නැහැ විදුලිබල මණ්ඩලය ආර්ථිකයට බරක් වෙන විදිහට, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආර්ථිකයට බරක් වෙන විදිහට, අර 2022 දී වුණා වගේ කරන්න කියලා.
ඇත්ත කියන්න. ඇත්ත තමයි අපිට බදු ඕනේ රට කරන්න. ඒ නිසා අපි බදු ගහනවා කියන්න. එහෙම නැතුව අර ගිය ආණ්ඩුව හොරකම් කරපු කතාව හෝ රුපියල් 52. 52 දැන් හොයන්න පුළුවන්නේ කවුද ගත්තේ කියලා ලීටරයකින්. ඒ ගත්තේ මහා භාණ්ඩාගාරයද? නැත්නම් ඇමතිද? නැත්නම් සභාපතිද? කියලා කියන්න. මේ විදිහට ප්‍රශ්නේ විසඳන්නේ නැතුව, නිකන් අවිද්‍යාත්මක කතා කිය කිය තවත් මහජනයාව නොමග යැවීම කරන්න එපා. මොකද මෙහෙම නොමග යවලා යන්න තැනක් නැහැ මේ රටට. ඒවා මහජන පිපිරීම්වලට තුඩු දෙනවා. අපි හිතනවා මේ ආණ්ඩුවට වරමක් දුන්නා මිනිස්සු විශාල විශ්වාසයකින්. ඒක රැකගෙන ඉදිරියට කටයුතු කරයි කියලා.’’
ප්‍රශ්නය:
ඔබතුමන්ලාගේ දේශපාලන ඉදිරි ගමන් ක්‍රියාමාර්ග කොහොමද පක්ෂයක් විදිහට? සහ ඔබතුමාගේ?
පිළිතුර:
‘‘අපි ඉදිරියේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව සහ සියලු පක්ෂ එකතු වෙලා අලුතෙන් නාම යෝජනා කැඳවයි කියලා. මොකද ඒ අලුතෙන් නාමයෝජනා කැඳෙව්වේ නැත්නම් 2023 මාර්තු මාසේ නාමයෝජනාවලට විශාල විකෘතියක් තියෙනවා. ඒ වගේම අලුත් ඡන්ද දායකයෝ පිරිසක් 2023 ජූනි මාසෙත්, 2024 ජූනි මාසෙත් අලුත් ඡන්ද දායකයෝ පිරිසක් එකතු වුණා. තරුණ ඡන්ද දායකයෝ ලක්ෂ 6 ක් විතර. ඒගොල්ලන්ටත් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් විදිහට අලුත් ඡන්ද නාමලේඛනයට ඡන්දය තියන්න කියන ඉල්ලීම අපි කරනවා.’’
ප්‍රශ්නය:
විදුලිබල මණ්ඩලයට බෝනස් ඕනේ කියලා රන්ජන් ජයලාල් මහත්තයා කියලා තියෙනවා. ජාතික ලැයිස්තුවේ හිටපු අපේක්ෂකයෙක් කියලා තියෙනවා ඕනේ කියලා. ඔබ කොහොමද ඒක දකින්නේ?
පිළිතුර:
‘‘දැන් ඒ බෝනස් ලබා දෙන්නේ ලාභ ලබන ආයතනවලටනේ. ලංකා විදුලිබල මණ්ඩලය මට පේන විදිහට නම් ලාභ ලබලා තියෙන්නේ සේවකයින්ගේ හපන්කමකින් නෙවෙයි, අසීමාන්තික ගාස්තු වැඩි කිරීමකින්. ගාස්තුව අඩු කරලා සේවක හපන්කමකින් ඒ ලාභය ලැබුවා නම් ඒ ලාභය ලබා දීම, එහෙම නැතිනම් බෝනස් ලබා දෙනවා නම් සාධාරණයි. එහෙම නැතුව මේ මහජනයා මත අධික බිලක් පටවලා සේවකයන්ට පමණක් සහන ලබා දෙනවා නම් ඒක වැරදියි.’’
”කඹ ඇදිල්ල නතර කරන්න” – බන්දුල චන්ද්‍රසේකර
“පහුගිය කාලේ මාධ්‍ය මගිනුත් ප්‍රචාරය වුණා, විශේෂයෙන් විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් හෝ අඩු කිරීම සම්බන්ධයෙන් ඒ බිල සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයත්, ඒ වගේම ඒ පිළිබඳ නියාමන කටයුතු කරන මහජන උපයෝගීතා කොමිෂන් සභාවත් අතර යම් කඹ ඇදිල්ලක් පැවතුණා. ජනතාව බලාපොරොත්තු වුණා මේ ආණ්ඩුව බලයට ආපු ගමන්, විශේෂයෙන් ඒ පිළිබඳ ආණ්ඩුවේ ප්‍රධානීන්, ඒ මැතිවරණ ව්‍යාපාරය තුළත් ජනතාවට එවැනි බලාපොරොත්තුවක් ඇති කරන ආකාරයෙන් තමයි කටයුතු කරේ. ඒ සහනය ජනතාවට හැකි ඉක්මනින් ලැබෙයි කියලා. නමුත් දැන් අපිට පේනවා ඒ පිළිබඳ ඒ ආයතන අතර කඹ ඇදිල්ලක් තියෙනවා. ඒ පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි නැති බව අපිට පේන්න තියෙනවා.
ජනතාව අතර කුකුසක්…?