තොපිට විදෙස් සංචාර – අපිට යන්න නෑ පාර !

0
48

amunakole_para2

 ගල්ගමුවේ සිට උස්ගල හරහා මීගලෑව දක්වා දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් එම මාර්ගය භාවිතා කරන ගම්වාසීන් පිරිසක් , පාදෙණිය – අනුරාධපුර ප්‍රධාන මාර්ගය අමුණකොලේ හන්දියේදී අවහිර කරමින් අද දහවල් උද්ඝෝෂණයක යෙදුණහ.

මෙම උද්ඝෝෂණය සදහා මීගලෑව, ගණන්ගමුව, බණ්ඩාරගම, උස්ගල, සියඹලන්ගමුව යාය 1,2, 3, කැප්පලවීරගොල්ලෑව, සාලියපුර සහ අමුණකොළේ ඇතුලු ගම්මාන රැසක වෙසෙන දහසකට අධික පිරිසක් එක් වී සිටියහ.

උද්ඝෝෂකයින් විසින් පාදෙණිය – අනුරාධපුර ප්‍රධාන මාර්ගය අවහිර කිරීම නිසා එහි ගමනාගමන කටයුතුද පැය තුනකට අධික වේලාවක් සම්පූර්ණයෙන්ම අඩාල විය.

අනතුරුව එහි පැමිණි වයඹ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු විසින් මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සති දෙකක් තුළ ආරම්භ කරන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදීමෙන් පසුව උද්ඝෝෂණය අවසන් කළ ගම්වාසීන් පිරිස සාමකාමීව විසිරී ගියහ.

මීගලෑව මානෙල් පී හේවගේ