තොරතුරු දැන ගැනීමේ අයිතිය නැති කලාපයේ එකම රට ලංකාව..

0
74
savitri2තොරතුරු දැන ගැනීමේ අයිතිය නැති  කලාපයේ එකම රට ලංකාව වීම ගැන අප කණගාටුවිය යුතු යෑයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ විශ්‍රාමලත් මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මිය පෙරේදා (13) සවස ලක්‍ෂ්මන් කදිර්ගාමර් ආයතන ශ්‍රවණාගාරයේදී ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට වසර දහයක්‌ පිරීම නිමිත්තෙන් “ස්‌වයං නියාමනය සහ ආචාරධාර්මික වාර්තාකරණය” මැයෙන් වූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන කතාව කරමින් මහාචාර්ය ගුණසේකර මහත්මිය එසේ කීවාය. දෙස්‌ විදෙස්‌ මාධ්‍යවේදීන් සහභාගී වන මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අද (15) නිමාවට පත්වේ.

කොළඹ නීති පීඨයේ ගෞරවණීය මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මිය මෙසේද කීවාය.

ශ්‍රී ලංකාව හොඳ වගේම නරක දේටත් පසුගිය කාලයේ ලොව පුරා අවධානයට ලක්‌වුණා. අපේ රටේ කොමිසම් ගණනාවක්‌ ඇති කළා. ඒත් ඒ පත්කළ කොමිසම් සභාවල විශ්වාසය ජනතාව තුළ නැතිවී තිබෙනවා. ජනතාවට නිදහසේ තොරතුරු ගලා යැමට ඇති නිදහස සීමා වී තිබෙනවා. ආණ්‌ඩුව තම අරමුණ ළඟා කර ගන්න මාධ්‍ය පාලනය කරනවා.

අපි සිහිතබා ගත යුතුයි අපි කොහොමද ස්‌වයං වාරණය පවත්වාගෙන යන්නේ කියා. ජනතාවගේ හිතසුව පිණිස මතයන් එහා මෙහා ගෙන යැම මාධ්‍යයේ කාර්ය භාරයක්‌. එය රටක යහපාලනයට හේතු වෙනවා. මානුෂීය අයිතිවාසිකම් ඛාදනය වෙද්දී ඒ වෙනුවෙන් පෙනී ඉන්න මාධ්‍යයට විශාල අයිතියක්‌ තියෙනවා.

ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම ඕනෑම රජයක වගකීමක්‌. රජයන් තම සීමාවන් ඉක්‌මවා යන අවස්‌ථාවලදී මාධ්‍ය පාලනය කිරීමට සැඟවූ හස්‌ථයන් ඇති බව කියනවා. රටේ මානව හිමිකම් සීමා යටතේ වාරණ පැනවිය හැකිය කියාත් පවසනවා.

ඇත්තටම රජයන් තම සීමා පරයා ගොස්‌ ඇත්ද කියා එවිට අපි තක්‌සේරුවකට ආ යුතුයි. නැතිනම් අපට අපේ සමාජ වගකීම ඉටුකරන්න බැරි වෙනවා. ස්‌වයං වාරණයක්‌ මගින් අපට සමාජ වගකීම හොඳින් ක්‍රියාත්මක කළ හැකියි. ස්‌වයං වාරණ ආවෙත් රජයන්හි තිබූ අසීමිත පාලනය නිසායි. මාධ්‍යයේ වූ යම් යම් ඛාදනයන් නිසයි. මේ සංකල්පය ආවේ රජයෙන් පමණක්‌ම නොවේ ව්‍යාපාරික අංශයෙන්, නාගරික මා‍ෆියාවෙන් දේශපාලකයින් ඇතුළු රාජ්‍ය නොවන ක්‍රියාධරයන්ගෙන් යම් යම් බාධා අභියෝග මාධ්‍යයට එල්ලවී තිබෙනවා. අන්තර්ජාලය ජනමාධ්‍යයේ මූලික අංග උල්ලංඝනය කරමින් කටයුතු කරනවා. අන්තර් ජාලයත් පුවත්පත්කරණයට අභියෝගයක්‌.

මාධ්‍යවේදීන් නිතර කටයුතු කළ යුත්තේ තොරතුරු පූජනීයයි යන සංකල්පය මතයි. සමහරු කැමතියි තොරතුරු හෙළි කරන්න. ඒත් අනන්‍යතාව හෙළිකරන්න කැමැති නෑ.

ජනමාධ්‍ය නිදහස සුරක්‍ෂිත කරන හොඳ ප්‍රායෝගික ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගැනත් අප සාකච්ඡා කළ යුතුයි. තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්‍ෂිත කරන පනතක්‌ නොමැති කලාපයේ එකම රට ශ්‍රී ලංකාවයි. අප ඒ ගැන කනගාටු විය යුතුයි. දේශපාලනයෙන් තොරවූ පොලිසියක්‌ වගේම නිදහස්‌ මාධ්‍යයක්‌ සහ අපක්‍ෂපාතී අධිකරණයක්‌ රටේ තිබේ නම් මාධ්‍යවේදීන්ට තම කාර්ය භාරය ඉතා හොඳින් කරගෙන යාමට හැකි පරිසරයක්‌ නිර්මාණය වේවි. මේවා නොමැතිව මාධ්‍ය නිදහසක්‌ ගැන කතා කිරීමේ තේරුමක්‌ නෑ.
මුලාශ්‍රය -www.lankaherald.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here