තොරතුරු ප්‍රාග්ධනයේ යුගයක්…

0
85

mediaමේ රජයේ මැතිවරණ පොරොන්දුවක් වූ තොරතුරු දැනගැනීමේ පනත පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. ඒ වගේම මැතිවරණයකදී ජනමාධ්‍යයන් හැසිරිය යුතු ආකාරය පිළිබඳව වූ උපමාන ඇතුළත් රීති මාලාවක් මැතිවරණ කොමසාරිස්තුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. මේ ලේඛන දෙකම රටේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයට අව්‍යශම දේවල් ලෙසින් පිළිගත හැකිය. මෙතෙක් කාලයක් අපේ රටේ තොරතුරු දැන ගැනීමේ පනතක් සම්මත කර ගැනීමට නොහැකි වීම දේශපාලන වශයෙන් ගත යුතු තීරණයක් ඒ ඒ රජයන් විසින් කල් දැමීම හේතුවෙන් සිදු වූ වරදක් බව අප සැම පිළිගත යුතුය. වත්මන් ආණ්ඩුවේ සිටින ඇමැතිවරුන් විශාල සංඛ්‍යාවක් කැබිනට් මණ්ඩලයේ සිටි සහ මාත් නිලධාරියකුව සිටි පසුගිය රජය කාලයේ මේ පනත ඉදිරිපත් කරන්නට හැකි වූවා නම් එහි ගෞරවය ඒ රජයට ලබා ගත හැකිව තිබිණි. එහෙත් ඒ සඳහා එකල දේශපාලන අධිෂ්ඨානය (Political Will) තිබුණේ නැත. එම රජයේ මූලික උත්සාහය තිබුණේ එක් පැත්තකින් රට ගිනි ගනිමින් තිබූ යුද්ධය නැවැත්වීමත් අනෙක් අතින් රටත් ලෙසින් බරපතළ ලෙස අභියෝතයට ලක් වෙමින් තිබූ යටිතල පහසුකම් වර්ධනය කිරීමත්ය.යුද්ධය නැවැත්වීම සදහා තිබිය යුතු දේශපාලන අධිෂ්ඨානය 2002 පැවති එජප ආණ්ඩුවට තිබුණේ නැත. එහෙත් තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒමට ඔවුන්ට අධිෂ්ඨානය තිබිණි. දේශපාලනයේ හැටි එහෙමය.

මැතිවරණ කොමසාරිස්තුමා ඉදිරිපත් කර තිබූ මැතිවරණ කාලයක මාධ්‍ය හැසිරිය යුතු ආකාරය ගැන උපමානයන්ද මට හිතෙන අයුරින් ඉතාමත් වැදගත්ය. ආණ්ඩුවක් පාලනය කරන හැමෝම රජයේ මාධ්‍යයන් තමන්ගේ වැඩවලට යොදාගන්නා බැවින් මැතිවරණ කාලයක වුවත් එවා මධ්‍යස්ථව තබන්නට ඒ ඒ ආයතනවල බලධාරීන්ට හැකියාවක් ලැබෙන්නේ නැත.

මැතිවරණ කාලයක කොමසාරිස්වරයාගේ නියෝග එන තුරු සමහර රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් බලා සිටින අවස්ථාද ඇත. ඒ තම-තමන්ගේ දේශපාලන නායකයන්ට ඍජුවම පැහැදිලි කරන්නට අපහසු තැන්වලදී මැකෝගේ නියෝගය දමා ගසා බේරී යන්නට හැකියාව තිබෙන නිසාය. ඒ කෙසේ වෙතත් මේ තත්ත්වය පාලනය කිරීමට නෛතික තත්ත්වයක් නිර්මාණය කිරීම රටක් වශයෙන් ඉතාමත් වැදගත්ය. මේ වැඩේ නීතියක් නැතිව උපදේශනයෙන් පමණක් කරන්නට පුළුවන් වැඩක් නොවන බව මගේ අත්දැකීමෙන්ම මා තේරුම් ගත් දෙයකි. මේ උපදේශයක් ‘සැරට’ දෙන්නට හැකි වර්තමාන කොමසාරිස්වරයාගේ කාලයේත් උපදේශය හරියට වැඩ කරන්නේ නැති නම් එය වෙන කවර කාලයක වත් එය හරියට වැඩ කරන එකක් නැත. ඒ නිසා මේ පිළිබඳව නීතියකට සමාන දෙයක් එන එක හොඳය.

මෙතැනදී අපගේ අවධානය යොමු විය යුතු කාරණයක් වන්නේ පෞද්ගලීක මාධ්‍යයන්ගේ හැසිරීම කළමනාකරණය කරන්නනේ කෙසේද යන්නය. කළමනාකරනය යනු පාලනය කිරීම නොවන බව විශේෂයෙන් කිව යුතු නැත. මේ උපමාන ගැන පාර්ලිමේනතු විවාදයේ මගේ මිත්‍ර පරණවිතාන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ සංඛ්‍යාත (Frequency) මත පවතින විද්යුත් මාධ්‍යයන් යනු තනිකරම ‘පෞද්ගලික’ වපසරියක පවතින මාධ්‍යය වර්ගයක් නොවන බවය. මෙය ඉතාමත් නිවැරදි සහ වැදගත් කාරණයකි. රටකට තියෙන්නේ සීමා සහිත සංඛ්‍යාත ගණනකි. විද්යුත් මාධ්‍යයක් විකාශනය වන්නේ මේ සංඛ්‍යාත මත එළාගත් ජාල පද්ධතියක් හරහා ස්වකීය වැඩසටහන් ගමන් කරවමින් බෙදාහැරීමේ ඒකක මගින් අපගේ නිවෙස්වලට එවීමය. දැන් මේ රටටම අයිති සංඛ්‍යාත ව්‍යාපාරිකයන් කීපදෙනෙකුට හෝ සමාගම් කීපයක ලබා දි එයින් බලාපොරාත්තු වන්නේ ඒ අයගේ ආයෝජනයන්ට සාපේක්ෂක මූල්‍ය ලාභයක් ගනිමින් රටේ යහපතට ඒවා යොදාගනු අතැයි කියාය. මේ බලාපොරාත්තුව ඉටු කිරීම ඔවුන්ගේ යුතුකමය. මේ රටේ මාධ්‍ය අයිතිකාරීත්වය දරන සමාගම් සහ ඒවායේ හිමිකරුවන් බොහෝ අය මගේ මිත්‍රයෝය. මා රාජකාරි කරන කාලයේ එකම සංඛ්‍යාතයක් සඳහා වත් බලපත්‍රයක් ලබා දී නැතත් මේ හැමෝම සමග ඉතාමත් ආසන්න සම්බන්ධයක් තබා ගන්නට මට හැකි විය. පරණවිතාන ඇමැතිතුමාගේ යෝජනාව වන විද්යුත් මාධ්‍යයන් සඳහා යම් ආකාරයක පිළිවෙළක් ගොඩ නැගීම ඉතාමත් වැදගත් බැවින් මාධ්‍ය ආයතනවල හිමිකරුවන් ඒ සදහා ධනාත්මකව මැදිහත් වනු ඇතැයි මම විශ්වාස කරමි.

මේ සංවාදයන් සියල්ලම පදනම් වන්නේ තොරතුරු සම්බන්ධවය. තොරතුරු සන්නිවේදනය යනු ධනේශ්වර සමාජයේ වර්ධනයන් සහ තාක්ෂණයේ ජයග්‍රහණත් සමග බරපතළ ලෙස වෙනස් වූ මානව ක්‍රියාකාරිත්වයකි. මාක්ස්වාදයේ ඉදිරිපත් වන තර්කය වූ මානව කි‍්‍රයාකාරිත්වයේ කේන්ද්‍රීය ගාමක බලවේගය වන්නේ ‘නිෂ්පාදනය’ බවයි. වෙනත් ලෙසකින් කීවොත් මාක්ස් හඳුනාගත් මානව පැවැත්මේ සහ මානව පරිණාමයේ අනුලංඝනීය (උල්ලංඝනය කළ නොහැකි) අවශ්‍යතාව වන්නේ නිෂ්පාදනය බවයි. මාක්ස්ට අනුව ක්‍රමිකව විකාශනය වූ මානව ඉතිහාසයේ ධනවාදය පදනම් වන්නේ මේ අනුලංඝනීය නිෂ්පාදන සාධකය මත වන අතර, ප්‍රාග්ධනයේ හා ශ්‍රමයේ ගැටුම ලෙස මාක්ස් නම් කළේ මේ තත්ත්වයයි. මාක්ස්ගේ අවධානයට වුවත් ඍජුවම ලක් නොවූ ක්ෂේත්‍රයක් ලෙස මේ

සන්නිවේදනයේ වර්තමාන තත්ත්වය සැලකිය හැකිය. පසුකාලීන විචාර සමාජ න්‍යායධරයන් (Critical Social Theories) පැහැදිලි කරන්නේ මිනිසාගේ අවශ්‍යතා මූලික තර්කනයන් දෙකක් මත පදනම් වන බවයි. එයින් එකක් වන්නේ අපගේ ජීවිතයට ඇති පරිභෝජනමය අවශ්‍යතාවන් වන ආහාර ඇතුළු දේවල් මුල් වන පරිහරණීය තර්කය (Instrumental Reason) මත වන අතර, අනෙක් තර්කනය වන්නේ මූලික මිනිස් අවශ්‍යතාවක් ලෙස පවතින සන්නිවේදන තර්කය (Communicational Reason) මත බවයි. දැන් තවදුරටත් සන්නිවේදනය යනු සරල හුදෙකලා මිනිස් පැවැත්මේ අවශේෂ ක්‍රියාවලියක් නොවේ. එය මිනිස් පැවැත්මේ අනිවාර්ය සාධකයක් බවට තාක්ෂණික සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ගොඩනැංවී ඇත්තේ ඒ නිසාය. සරලවම ගත්තොත් අපට අද ගෙදරින් එළියට යන විට මුදල් පසුම්බිය රැගෙන යෑමට ඇති වුවමනාව තරමටම අපගේ ජංගම දුරකතනය රැගෙන යෑමට අවශ්‍යතාවක් අපි තුළ ගොඩනැගෙන්නේ මේ නිසාය.සමහර විටෙක පර්ස් එක රැගෙන යෑමටත් වඩා ජංගම දුරකතනය රැගෙන යෑමට අප උනන්දු වන්නේ අද වන විට ‘සන්නිවේදන සම්බන්ධතාව’ ප්‍රාග්ධනයක් බවට පත් වී ඇති නිසාය. මේ සන්නිවේදන ප්‍රාග්ධනය නැති අයට වෙන කුමන ප්‍රාග්ධනයක් තිබුණත් වැඩක් කරගත නොහැකි තැනට සියල්ල වෙනස් වී ඇත.

දැන් අපේ රටේ මැතිවරණ ක්‍රියාදමයට අයත් තොරතුරු පිළිබඳවත් සමස්ත රටේ රාජ්‍ය යන්ත්‍රණයේ පසුපස ඇති තොරතුරු පිළිබඳවත් විවෘතභාවය ඇති කිරීම වැදගත් වන්නේ මේ තත්ත්වය තුළය. තොරතුරු විවෘත වීම රටේ ප්‍රගමනයට හේතු වනවා මෙන්ම එය වැරදියට ප්‍රයෝජනයට ගත හොත් ඇති විය හැකි වැරදි විපාකද තිබෙන බව මෙහිදී අවධානයට ගැනීම වැදගත්ය. අනෙක් අතට රාජ්‍යයක තොරතුරු සෙවිය යුත්තේ එහි නිලධාරීන් හෝ බලධාරීන් වැරදිකරුවන්යැයි උපකල්පනය කරගනිමින් නොවේ. තොරතුරු අවශ්‍ය වන්නේ තොරතුරු දැනගැනීම රටේ අයිතිකරුවන් ලෙස ජනතාවට ඇති අයිතියක් වන බැවින් මිස සියලු නිලධාරීන් සැක කිරීමේ හේතුවෙන් නොවේ.
චරිත හේරත්