දකුණු පිටිපන ට දුන් සමෘද්ධි සහල් වල පණුවන් ??

0
4
ඡායාරූපය උපුටා ගැනිම -අන්තර්ජාලයෙන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව මෙරට අඩු ආදායම්ලාභී පවුල් සඳහා සමෘද්ධිය මගින් නොමිලේ සහල් කිලෝ 05 බැගින් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතී.
මේ අනුව දිවයිනේ සියළු සමෘද්ධි කොට්ඨාශ ආවරණය වන පරිදි නොමිලේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙම සහල් ප්‍රදානය සිදුවේ. මේ අනුව මීගමුව-පිටිපන ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝ 05 බැගින් බෙදා දීම සමෘද්ධි නිලධාරීන් මගින් සිදුවිය. මෙම වැඩසටහන පසුගිය මස මුල සිටම එනම් 2024 ජුනි මාසේ මුල් සතියේ සිටම සිදුවිය. ඒ අනුව ජුලි මාසයේ 01 වැනි දින එනම් අද දින දකුණු පිටිපන පවුල් කිහිපයක් සඳහා ද මෙලෙස සහල් කිලෝ 05 බැගින් බෙදා දීම සිදුවිය. එලෙස දකුණු පිටිපන ග්‍රාමයට බෙදා දුන් සහල් වල කුඩා පණුවන් වැනි සතුන් විශේෂයක් සිටි බවට සහල් ලබාගත්  දකුණු පිටිපන ග්‍රාමවාසීන් සඳහන් කරයි. මෙම  සහල් පරිභෝජනයට සුදුසු නැත.එමෙන්ම පිටිපන ග්‍රාමයේ සමහර පවුල් වෙත බෙදා දුන් සහල්, රතු සහ සුදු යන සහල් වර්ග දෙකම කලවම් කර ලබා දී ඇත.
පසුගිය කාලය පුරාම පරිභෝජනයට නුසුදුසු සහල් බෙදා දීම සම්බන්ධව ප්‍රදේශ ගණනාවක ජනතාව සිය කනස්සල්ල පළ කරමින් රජයේ මෙම සහල් බෙදීමේ වැඩපිළිවෙළ ඉතා අයහපත් ලෙස විවේචනය කරනු දැකගත හැකි විය.
මීගමුව වැල්ලවීදියේ අඩු ආදායම්ලාභී ධීවර ජනතාවටද පසුගිය මාසයේ සහල් කිලෝ 05 බැගින් සමෘද්ධිය මගින් බෙදා දුනි.  එම සහල් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ සහල් විය.  එමෙන්ම ධීවර ජනතාව වැඩි වශයෙන්ම පරිභෝජනය කරන්නේ සුදු සහල්ය. එහෙත් වැල්ල වීදිය ධීවර ජනතාව වෙත ලබා දී තිබුණේ රතු සහල්ය. රතු නාඩුය.  සමෘද්ධියෙන් ලැබුණු රතු සහල් අඩු මුදලකට පිට කඩවල් වලට අලෙවිකර, ඊටත් වඩා වැඩි මුදලක් ගෙවා සුදු සහල් මිළදී ගැනීමට ධීවරයින්ට සිදුවිය.

ආතර් සිල්වෙස්ටර්