දමිළ ජනයාට සලකන හැටි ලෝකයටම කියු ආණ්ඩුෙව් වව්නියා මෙහෙයුම

0
439

– වව්නියාව 2013 මාර්තු 05

2013 මාර්තු 06 වෙනිදා පවැත්වෙනු නියමිත ‘අතරුදන්වූ ඥාතීන් සොයනා පවුල් එකතුව” සංවිධානය කළ, උද්ඝෝෂණයට පිරිවරන්නට, උතුරුකරෙන් ආ අතුරුදන් වූවන්ගේ පවුල් සාමාජිකයින් සහ සිවිල් සංවි‍ධාන ක්‍රියාකාරීන් 600ක් දෙනා වව්නියාවේ සිට කොළඹට එමින් සිටි ගමන මග, මාර්තු -5 වෙනි දා රෑ අට හමාරට, පොලීසිය විසින් අවුරන ලදී.කොළඹ, විහාරමහ දේවි උද්‍යානයෙහි වන උද්ඝෝෂණයෙන් ඉක්බිති, මෙම පවුල් සියල්ල සැළසුම්කර තිබුණේ, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලට පාද යාත්‍රාවෙහි ගොස් පෙත්සමක් බාර දෙන්නට ය. අතුරුදන්වූවන්ගේ පවුල් සංවිධානය කරන ලද විසල් සටන් ව්‍යාපාරයේ ම කොටසක් වූ මෙකී උද්ගෝෂණයේ අරමුණ වූයේ, ස්වකීය ආදරණීයයන් ගැන ඇත්ත දැනගැනීමටත්, තමන් වෙනුවෙන් මැදිහත්ව ශ්‍රී ලංකා රජයෙන් වෙතින් සත්‍යය,සාධාරණත්වය සහ වගවීම ලබාදෙන මෙන් දෙන‍ෙජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටීමත් ය. මෙකී අවහිරයේ ප්‍රතිඵලයක් ලෙස, කෙසේ හෝ අවසන, සැළසුම් කළ විරෝධතාව පවත්වන්නට නුපුළුවන් විය.

උදෑසන සිට වව්නියාව නගර සභා පිට්ටනියට ජනතාව රොද බඳින්නට පටන්ගෙන තිබුණාහ. සංවිධායකවරුන් ආගමනය වූ කල්හි, සිවිල් ඇදුමින් සැරසුණු පිරිසක්, ජනතාව ප්‍රශ්න කරමින්, ඔවුන් ආවේ කොතැනින්ද, ඔවුන් ආවේ මොකටද, ඔවුන් යන්නේ කොහෙටද, සංවිධායකයන් කවුරුද, අරමුදල්එන්නේ කොයිබින්ද ඈ වූ ප්‍රශ්න විමසාලමින් ඉනික්බිති, තම තමන්ගේ නිවෙස් කරා හැරී යාම, ඇඟට ගුණදායක බව ජනතාවට පවසා තිබිණ.

වව්නියාවේදී මග අවුරාළනු ලැබීමට ලක්වූ, අතුරුදන් වූවන්ගේ පවුල් (ඔවුන්ගෙන් 75%න් පමණ කාන්තාවන් ය.) වනාහී, යාපනය, කිළිනොච්චිය, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කය වැනි, උතරේ සකළ දෙසින් පැමිණුනවුන් ය. හවස පහයි තිහට විතර, යූසී පිට්ටනියෙහි පිටත නතරකර තිබූ බස් රථ 11ට ළං වූ පොලීසිය, බස්රථවල හිමිකාරීත්වයට, රියදුරුවරුන්ට, කොන්දොස්තරවරුන්ට අදාළ තොරතුරු ලියා පදිංචියෙහි යෙදිණ. ඉනික්බිති, සැළසුම් ප්‍රකාරව ඉදිරියට යන්නට පොලිස් අවසර හිමිවුණි. වව්නියාවේ සිට කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට යන්නට, බස්රථ හෝ වෙනත් පුද්ගලික වාහන සදහා, එවැනි ලියාපදිංචියක් හෝ අවසරයක් අවශ්‍ය බව, නීතිය විසින් හෝ භාවිතය විසින් දක්වා නැත.

කෙසේ වුවච, රෑ අට හමාරට, ජනතාව පැටවූබස්රථ, නගර සභා පිට්ටනි පරිශ්‍රයෙන් ධාවනය ඇරඹූ විගස පොලීසිය විසින් නවතනු ලදුව, ඔවුන්ට ඉදිරියට යාමට බැරි බවත්,පොලිසිය ලද්දා වූ ආරංචි මාත්‍රයකට අනුව වව්නියාවත් අනුරාධපුරයත් අතරතුර බස්රථයකට ගල් මුල් පහර එල්ලව ඇති බවත්, එබැවින්, ඉදිරියට යාමට අවසරය දුනහොත්, ඔවුන්ට මගීන්ගේ ආරක්ෂාව සහතික කරලන්නට නොහැකි බවත් පැවසී ය. ඒත්, එබදු සිද්ධියක් සිද්ධවීණැයි ස්වාධීනව තහවුරු කළ ආරංචියක් නොවුණි. මෙම තොරතුර, වව්නියාව පොලීසියේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් අධිකාරීවරයා විසින් තහවුරු කරන ලද බව දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනබවන් පැවසී ය. පොලීසිය, ඉනික්බිති ක්‍රියාත්මකව, සිය ට්‍රක්රථ යොදවා, බස්රථ ගමන්ගන්නා ඉදිරි මග අවුරාලී ය. හමුදාව ද සීරුවෙන් තැබිණ.

මෙය කන වැකීමෙන්,නොසන්සුන්ව කෝප ගැන්වුණු ජනයා, තමන්ට කොළඹ යාමට අනුමැතිය දෙන්නැයි ඉල්ලූහ. ජනතාව, ඉටිපහන් අතැතිව, බස් රථෙන් බිමට බහින්නට පටන්ගත්තේ, තමන්ට ඉදිරියට යාමට අනුමැතිය දෙන මෙන් පොලීසියට ඒත්තු ගන්වන අපේක්ෂාවෙනි. අනතුරුව පොලිස් අවහිරයට ජනතාව වෙනුවෙන් මැදිහත්වුණු, දකුණේ දේශපාලන නායකයන්ගෙන් දුරකතන ඇමතුම් ගලා ආහ. එළැඹෙන උදෑසන (6වැනිදා) හතර හමාරෙන් පසු, කොළඹ යාමේ අවසරය, පොලිසිය විසින් සහතික කරන ලැබිණ. ඇදහැළුණ, මොරසූරන වැස්ස නොතකා, ගනු ලැබීමට නියමිත නිෂ්චිත තීන්දුව අපේක්ෂාවෙන්, පාරේ තැන් තැන් වලද, බොක්කු මතද වාඩිගෙන හුන් බොහෝ ඇත්තන්, වැසි දියෙන් බත් වී තිබුණි. මැදියම් දොළහමාර – එක අතර වේලාවේදී, රැය ගෙවාලනු පිණිස, මෙම පවුල් ප්‍රජාව නගර ශාලාවට ගෙන යනු ලැබුණි.

එතැන වූයේ වැසිකිළි හතර-පහක් බැවිනුත්, ශාලාවේ නවාතැන්ගන්නට හැමෝටම ඉඩකඩ නොමැති බැවිනුත්, ඉන් පිරිසක්, ආසන්නයේ පල්ලියකට රැගෙන යන්නට, මන්නාරමෙන් පැමි‍ණ සිටි ක්‍රිස්තියානි පූජකවරුන්, රෑ නමය හමාර වන විට, පොලීසිය සමග සම්මුතියකට එළැඹ තිබුණි. බස්රථවලට හෙළවීමට ඉඩ දීමට අදහසක් නොතිබුණෙන්, එකඟතාවය සහිතව, පොලීසිය, පූජකවරයන්ට උපදෙස් ලබා දුන්නේ, ජනයා පල්ලිය කරා රැගෙන යායුත්තේ පා ගමනින් බවයි. ඊට පූජකවරයන්ගේ ප්‍රතිචාරය වූයේ, ඇවිදගන්නට නොහැකි සිය ප්‍රජාව වෙහෙසට පත්ව ඇති බැවින්, උතුරේ සිට ජනයා ප්‍රවාහණය කළ බස්රථ නිදහස් කරලීමට නොහැකිනම්, අවසාන සහනය ලෙස අවම වශයෙන් ජනතාව, පොලිස් බස් රථයක ප්‍රවාහණය කළ යුතු බවයි. ඒ ඉල්ලීම පවා ප්‍රතික්ෂේප වීමෙන්, අවසානයේ පොලිස් නිලධාරීන්ද කැටුව යන්නට එක් බස් රථයක් නිදහස් කරලීමට පොලිසිය එකඟ විය. මුළුමනින් ම 100 පමණ දෙනා පල්ලියට ප්‍රවාහණය කිරීමට ඇවැසි වූ හෙයින්, පිට්ටනියේ සිට ගමන් වාර දෙකක් යන්නට බස් රථයට සිදු විය.

2013 මාර්තු 06 වව්නියාව

ඉනික්බිත්තේ, පූජකවරයන්ට පොලීසිය හා සම්මුතිගත වන්නට සිදුවූයේ, බස්රථ එකොළහ නගරසභා පරිශ්‍රය ඇතුළත ගාල් කරගන්නට ය. කෙසේවුව, ඇතුළට ආ පසු පෙරවරු එකේ සිට, සිවිල් ඇදුමින් සැරසුණු මිනිසුන් පිරිසක්, රියැදුරන් එකිනෙකා පිටතට කැදවූයේ, අංගනයෙන් බස්රථ අහක්කර ගන්නැයි දැනුම් දෙනු පිණිස ය. ඉවත්ව නොගියහොත්, අනගතයේ වව්නියාවේ වැඩකරන්නට බොහෝ දුෂ්කරතා විදින්නට සිදුවනු ඇතැයි, ඔවුනට තර්ජනය කෙරුණි. ප්‍රථිඵලය ලෙස, බස්රථ රියදුරෝ එකොළහෙන් නමයක්, සිය රථ, අංගනයෙන් පිටතට ගෙන ගියහ. ඉන්පසු, මාර්ග බලපත්‍ර අහිමිවීමේ (උතුරේ ධාවනය සදහා ඔවුනට බලය ඇත්තාවූ බලපත්‍රය) විභවයක් ඇති බවටත්, සාමාන්‍ය ධාවන මගේදී ධාවනය කෙරන අතරතුර හිරිහැර විදීමට සිදුවනු ඇති බවටත් එල්ල වුණු දිග්ගැස්සුණු තර්ජනයන් හමුවේ, පෙරකී බස්රථ රියදුරෝ නවදෙනා, හිමිදිරි උදේ තුනහමාර වන විට, සිය බස්රථ පෙරළා නිවෙස් බලා ගෙන ගියෝය.

හිමිදිරි දෙකට පමණ, ඉතිරිව සිටි රියදුරන් දෙදෙනා සිවිල් ඇඳුමින් යුත්තෙකුගේ තර්ජනයන්ට නතුව සිටියදී, මැදිහත් වූ මන්නාරමෙන් පැමිණි පූජකවරු ඔවුන් කවුරුන්ද යන්නත්, පොලීසිය ඒ වන විටත් එකගවී සිටියදී බස්රථ පරිශ්‍රයෙන් ඉවත් කරලීමට ඔවුන්ට ඇත්තේ කවර අයිතියක්ද යන්නත් ඔවුන්ගෙන් ප්‍රශ්න කළහ. ඔවුන් පොලිසියේදැයි යන්න පූජකවරයන් විමසූ විට, ඔවුහු එය ප්‍රතික්ෂේප කළ හ. පූජකවරු කියා සිටියේ ඔවුන් පොලීසියට අනුබද්ධ නොවන්නේ නම්, රියදුරන්ට බාධා නොකර, කරුණාකර එම පරිශ්‍රමයෙන් ඉවත්ව යන ලෙසයි.

මේ අතර, මන්නාරමේ සිට වව්නියාව තෙක් ජනයා ප්‍රවාහනය කළ බස්රථ දෙක වව්නියාව නගරාසන්නයේ, පොම්පෛමඩුහි නවතා තිබියදී, දුරකථනය ඔස්සේ කළ මේ හා සමාන තර්ජන නිසා, පාන්දර එකට පමණ, එම බස් රථද මන්නාරම බලා පිටව යන්නට සිදුවිය. මෙම බස්රථ දෙක, ආපසු මන්නාරම් යන අතරවාරයේ දී තල්ලඩි යුද හමුදා කදවුරේ නවත්තා ගනු ලදුව, නිදහස් කෙරුණේ, පසුදා උදෑසන එළඹීමෙන් පසුව ය.

උතුරේ සිට කොළඹට ධාවනය වුණු, මගීන් තිස්දෙනාගේ බස් රථ ද (උද්ඝෝෂණයට සම්බන්ධයක් නැති), පෙරදින (5 වැනිදා) ඕමන්තේදී නවත්වන ලදුව, කොළඹ බලා ධාවනය කරන්නට අවසර දෙන ලද්දේ අද මාර්තු 6 වැනිදා උදෑසන ය.

පාන්දර හතරහමාරට කොළඹ යන්නට පුළුවන් බව පොලිසියෙන් පොරොන්දු ලද සංවිධායකයන් හරියට පහට, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මුණ ගැසෙන්නට ගිය විට, ඔහු පැවසූයේ, ඔවුන්ට යන්නට හැකි වන්නේ පෙරවරු පහ හමාරට බවයි. ඒසේ වුවද, පොලීසිය වව්නියාවේ සියලුම බස් රියදුරන්ට උපෙදස් දී තිබුණේ, මේ මේ සෙනග කොළඹ නොගෙනියන ලෙසත්, එසේ කළහොත් ගැටළු ඇතිවිය හැකි බවත් ය. පුද්ගලික බස් රථ හිමිකරුවන්ගේ සංගමය පවා පසුවූයේ මෙම ජන පිරිස ප්‍රවාහණය කරන්නට බියෙනි. ඉතිරිව තිබුණේ බස්රථ 13න් 2ක් වන බැවින්, (මන්නාරමෙන් පැමිණියවුන් ඇතුළුව) 750කට අධික පිරිසක් කොළඹට ප්‍රවාහණය කරන්නට නො හැකිව, සංවිධායකයෝ කොළඹ උද්ඝෝෂණයට සහභාගීවීමේ අදහස අත්හළ හ.

ඒ වෙනුවට, උදෑසන 10ට පමණ, නගර සභා පිට්ටනියේදී ජනතාව මුණගැසුණු සංවිධායකයන්, නිහඞ පා ගමනකින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් දිස්ත්‍රික් ලේකම්වරයාට සංදේශයක් බාර දීමට තීන්දු කළ හ. ‘‘කෝලාහලයක් මර්ධනය කරන්න වගේ, බරපතල විදිහට සන්නද්ධ වෙලා හිටපු ආරක්ෂක හමුදාවත්, ජල පප්‍රහාරක ට්‍රක් රථ හරස් කරගත් පොලීසියත්, වව්වනියාව නගරය මැද්දෙ පෙළ ගස්සල තිබුණෙ, සාමකාමී ජනතාව දිස්ත්‍රික් ලේකම්තුමාගෙ කාර්යාලෙට පෙළපාලියකින් ගිහින් සංදේශයක් භාරදෙන එක වළක්වන්නයි…..” සිවිල් නිරීක්ෂණ කොමිසමේ කැඳවුම්කරු හා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් පැවසී ය.

මද්‍යහ්න දොළහට පමණ, පිට්ටනියෙන් පිටමං වූ පසු, කාර්යාල පිවිසුමේදී ජනතාව නැවැත්තූ පොලීසිය විසින් ඔවුන්ට ඇතුළට යාමට අවසර නො දුණි. ඔවුන්ට පවසනු ලැබුණේ, උපරිම අට දෙනෙකු පරිශ්‍රයට ඇතුළුව, දිස්ත්‍රික් ලේකම්වරයා හමුවන ලෙසයි. කෙසේ වුවද ජනතාවට අවශ්‍ය වූයේ, එක්කෝ පරිශ්‍රයට ඇතුළුව හෝ නැතිනම් දිස්ත්‍රික් ලේකම්වරයා පිටතට රැගෙනවිත් හෝ ඔවුන් හැමෝම පුද්ගලිකව මුණගැසීමටයි. ආරම්භයක් ලෙස, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සරවනබවන්, දිස්ත්‍රික් ලේකම් මුණගැසෙන්නට, එම කාර්යලයට ගියේ, ඔහුට තත්ත්වය ඒත්තු ගන්වා ඔහුව, ජනතාව හමුවට කැඳවාගෙන ඒමට යි. පිටතට ඒම ප්‍රතික්ෂේපව තිබුණෙන්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වන සරවනබවන් හා සිවශක්ති ආනන්දන්, ක්‍රිස්තියානි පූජකවරයෙකු සහ මන්නාරමේ පුරවැසි කමිටුවේ නියෝජිතයෙකු යළි වතාවක් දිස්ත්‍රික් ලේකම් හමුවට ගොස් ඒත්තු ගන්වන්නට වූයේ පිටතට පැමිණ, සංදේශය බාරගන්නා ලෙසයි. දිස්ත්‍රික් ලේකම්වරයා ඊටද ප්‍රතිචාර දක්වනු ලද්දේ, තමන් හමුවීමට අපේක්ෂා කරන අයට, තම දොරටුව ඕනෑම මොහොතක විවෘත බවත්, එළියේ සිටින විරෝධතාකරුවන්ගේ නියෝජිතවරයන්ට, ඇතුළතට විත් තමන් හමුවිය හැකි බවත්, සංදේශය බාර දීමට හැකි බවත්, එනමුත් තමන් කිසිසේත්ම පිටතට නොඑන බවත් ය.

පෙරළා පැමි‍ණි ඔවුන්, දිස්ත්‍රික් ලේකම්වරයා පවසන ලද්දේ කුමක්දැයි ජනතාවට කී විට, ඊට විරෝධය පා හඞනැගීම ඇරඹූ ජනතාව, විරෝධය මහපාරට ගෙන එමින් ප්‍රධාන ඒ 9 මාර්ගය හරහා වාඩි ගත්තෝ ය. අවසානයේ, ආසන්න වශයෙන් පස්වරු 1.45ට, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා පිටතට පැමිණ, ජනතාව අතින් සංදේශය බාරගත්තේ ය. ජනතාව, ඉනික්බිති ප්‍රධාන පාරෙන් ඉවත් වී සාමාන්‍ය ගමනාගමනයට ඉඩකඩ ලබා දුන් හ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට වෙත යොමුකර තිබූ සංදේශයෙන්, අවශේෂ කාරණා අතර, ඉල්ලා තිබුණේ පැහැරගෙන රඳවාගෙන සිටින්නවුන් මුදාහරින ලෙස හෝ ඔවුන්ගේ නම් අනාවරණය කරන ලෙසයි. හවස හතර වනතුරුත්, දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ප්‍රතිචාරයක් නැති තැන, විසිරුණු සෙනග, අවසන, සිය ගෙවල්දොරවල් බලා නික්මුණ හ.

2013 මාර්තු 06, කොළඹ

කොළඹ විහාරමහ දේවි උද්‍යානයට (විරෝධතාව පැවැත්වීමට නිෂ්චිකව තිබූ තැන) ගියවුන්ට අනුව, මෙකී උදෑසන 9.45ට, කොළඹ 7, නගර ශාලාවට ( විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට) අතුරුදන් වූවන්ගේ පවුල්, පූජ්‍ය පක්ෂය, දේශපාලන නායකයන්, සිවිල් සංවිධාන නායකයන්, තානාපති කාර්යාල නියෝජිතයන් සහ ජනමාධ්‍යකරුවන්ගෙන් සමන්විත සෙනගක් රැස්ව සිටිය හ. පූජ්‍ය පක්ෂය, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කිහිප දෙනා සෙනග අමතා කියා සිටියේ, ආණ්ඩුව විසින් වව්නියාවේදී, සිය ගණන් පිරිසකට, හිතාමතා කරනලද අවහිරතා හේතුවෙන්, සැළසුම් කරන ලද විරෝධතාව (සත්‍යග්‍රහය) නො පවත්වන බව ය. එහෙත්, එක් රැස්වුණු ඔවුන්, මෙම පවුල්වලට කළ අවහිරතාවට එරෙහිව, රැස්වීමටත්, නිදහස් ගමනාගමනයටත්, ප්‍රකාශනයට සහ ඔවුන්ගේ සමීපතමයන් සොයා ගැනීම සඳහා සාමකාමී ක්‍රියාකාරකම්වල නිරත වීමටත් ඇති අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කර එක්සත් ජාතීන්ගේ කාර්යලයට පෙත්සමක් භාර දෙන ලදි. පැමිණ සිටි ක්‍රියාකාරිකයන් තවදුරටත්, ජනමාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේ, අතුරුදහන් වූවන්ගේ පවුල් වලට යුක්තිය හා සාධාරණත්වය ලබා දීමටත්, රැස්වීමේ නිදහස තහවුරු කරලීමටත් තමන් ගෙන යන ‘අරගලයට’ සහය දක්වන ලෙසයි. මෙම විරෝධතාව පුරාම, පොලිස් නිලධාරීන් මෙම ස්ථානයේ රඳවා තිබුණි.පොලිස්පතිවරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කරගත් විට, ඔවුන් කිවේ, ඔවුන්ට මේ සිද්ධීන් ගැන අදහසක් නැති බවයි.

මෙම සිද්ධිය වාර්තා කිරීමටත්, අවහිරතාවට හේතූවූ දෑ ගැන වැඩිදුර යමක් දැනගැනීමටත්, විපක්ෂයේ සාමාජිකයන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ගෙන් සමන්විත නියෝජිතයෝ පිරිසක්, හය වෙනිදා පස්වරු දෙකට, පොලිස්පතිවරයා හමුවුණ හ.

නමුත් මේ අතර, අතුරුදහන්වූ ශ්‍රී ලංකා හමුදා සොල්දාදුවන්ගේ පවුල් සාමාජිකයන් හා එල්ටීටීඊයට බලහත්කාරයෙන් අලුතින් බදවා ගත්තවුන්ගේ පවුල් සාමාජිකයන්ගෙන් සමන්විත, ‘‘ඝාතනය වූ සහ අතුරුදහන්වූවන්ගේ දෙමාපිය පෙරමුණේ“ 1500ක් පමණ වන සාමාජිකයන්ට සිය විරෝධතාව අද කොළඹදී කරළියට ගෙනෙන්නටත්, අතුරුදහන්වූවන් වී යැයි කියන 3000කගේ නම් සහිත ලියමනක්, කිසිදු බාධා හිරිහැරයකින් තොරව එක්සත් ජාතීන්ගේ කාර්යාලයට බාර දීමටත් හැකිවිය. එම ලියමනෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇරියුම් කර තිබුණේ, අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට යුක්තිය සළසා දීමේදී, එල්ටීටීඊ ය සහ දෙමළ ජාතික සන්ධානය මෙහයවන ක්‍රියාමාර්ග පිළිබද විමර්ෂණයකට එළ‍ඹෙන ලෙස ය.

ශ්‍රී ලාංකික අතුරුදන්වූවන්ගේ සිය ගණනක් වන පවුල් වල සාමාජිකයන්ද, සාමකාමී විරෝධතාකරුවන්ද කොළඹට ගමන් කරන අතරතුර, වව්නියාවේදී රදවා ගනිමින්, ශ්‍රී ලංකා බලාධිකාරිය කළ අවහිරතාවන් පිළිබද වාර්තාවන් අසා තමන් තැතිගන්මට හා සංවේගයට පත්වූ බවත්, මෙම පුරවැසියන්ගේ නිදහස් ක්‍රියාවන්ට, ඉඩදෙන ලෙස ශ්‍රී ලංකා රජයට අවධාරණය කළ බවත්, කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පැවසී ය. (http://srilanka.usembassy.gov/pr-6march2013.html)

ඒ අතරවාරයේ‍, පුවත්පත් නිවේදනයක් නිකුත්කළ, අයිතීන් සදහා එකමුතුව (NfR) , එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාජිකයන් අමතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා රජයේ, ප්‍රජාතන්ත්‍ර විරෝධී චර්යාව, සමාලෝචනය කොට, එය කවුන්සිලයට ඍජුව එල්ලකරන අභියෝගයක් ලෙස සළකා යථා පරිදි කටයුතු කරන ලෙස ය. යම් සහනයක් පතා ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණෙමින් සිටි අතුරුදන්වූවන්ගේ පවුල් සාමාජිකයින්ට මාර්ගය අවහිර කළ, රජයේ නියෝජිතයන් ඇතුළු සියලුම වගකිවයුත්තන්ගෙන් විමසන ලෙස මානව හිමිකම් සදහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාට අවධාරණය කර සිටි අයිතීන් සඳහා එකමුතුව, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ මෙකී අතුරුදන්වූවන්ගේ පවුල් වලට උපරීම සහයෝගීතාව පළ කරනු වස් ශ්‍රි ලංකා රජයේ නියෝජිතයින් හමුවේ මෙම කාරණාව හැකිතාක් බලවත් ලෙස මතුකරන ලෙස යි.
*මෙම වාර්තාව පදනම් වී ඇත්තේ,පොලීසිය විසින් නතර කළවුන්, වව්නියාවේදී හා කොළඹදී විරෝධතාවන්ට සහභාගී වූවන් සහ පූජකවරුන්, දානව හිමිකම් ක්‍රියාකාරිකයන් සහ දේශපාලඥයන් බඳු ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට මැදිහත් වූවන්ගේ සාක්ෂි මත ය.

……………………………………………………………………………………………………………………………………………………………….

2013 මාර්තු 07 වෙනිදා ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ ‘Police detains families of disappeared from Northern Sri Lanka and prevents peaceful protest and petition to the UN’ මැයෙන් පළවූ ලිපියේ සිංහල අනුවාදය ( උපුටා ගැනිම theindependent.lk වෙබ් අඩවියෙනි.)