දස සීලමාතා අධ්‍යාපන ආයතනය ඇරඹීමට පියවර

0
73

අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමේ වැඩකටයුතු ඇරඹෙයි

බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය (19) දා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

මෙම සංදේශය සකස් කර ඉදිරිපත් කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ, අධ්‍යාපනය ලැබිය යුතු සියලු දෙනාට තමන්ට අභිමත පරිදි නිදහස් අධ්‍යාපනය ලැබීම සඳහා උරුමයක් පවතිනවා මෙන්ම එය මූලික අයිතිවාසිකමක් ද වන බවයි.

අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට ජාතිය, ආගම, කුලය මෙන් ම ස්ත්‍රී පුරුෂ භාවය බාධාවක් නොවිය යුතු බව ද පෙන්වා දෙන අමාත්‍යවරයා බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීම මෙරට බෞද්ධ අධ්‍යාපනයේ පුනර්ජීවනයට හේතුවන අතරම දේශීය මෙන් ම විදේශීය කාන්තාවන් අතර ද බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමට අවස්ථාවක් වන බව ද සඳහන් කරයි.

දිවයින පුරා දසසිල් මාතාවන් 4,000 කට අධික ප්‍රමාණයක් සිටින අතර ඔවුන් වෙනුවෙන් රජයෙන් මෙතෙක් කිසිඳු ආධාරයක් නොලබා අධ්‍යාපනය ආයතන කිහිපයක් ස්වේච්ඡාවෙන් පවත්වාගෙන යනු ලබයි. මෙම ආයතන මගින් මේ වනවිට ප්‍රාචීන පණ්ඩිත උපාධිධාරි දස සීලමාතාවන් රැසක් ද බිහි කොට තිබේ. මීට අමතරව දස සිල් මාතාවන් වෙනුවෙන් මූලික පිරිවෙන් අධ්‍යාපනයට අදාළ ව 1වන ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා පන්ති ද මෙම ආයතන මගින් පවත්වාගෙන යන අතර  ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් පවත්වනු ලබන විභාග සඳහා පන්ති ද පවත්වනු ලබයි.

බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතනවල ලබා දෙන අධ්‍යාපනය ගුණාත්මක මට්ටමකින් සහ  විධිමත් ආයතනික ව්‍යුහයක් තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරමින් මෙම වැඩපිළිවෙළ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව මේ වන විටත් ක්‍රියාත්මකව පවතින ආයතන ˝බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතන˝ නමින් අනුමත කිරීමටත්, ඉදිරියේ දී එක් පළාතකට එකක් බැගින් වන පරිදි බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමටත්, පිරිවෙන් සඳහා ලබාදෙන ගුරු වැටුප් ඇතුළු සියලු වරප්‍රසාද  ලබාදීමටත් නියමිතය.

එසේම බෞද්ධ දසසීල මාතා අධ්‍යාපන ආයතනයක මුලික පිරිවෙන් 1 වන ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වීමට සහ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් පවත්වනු ලබන විභාග සඳහා පන්ති පැවැත්වීමට ද හැකියාව තිබේ. යම් බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතනයක 5 වන ශ්‍රේණියේ පාඨමාලාව අවසානයේ දී විභාග කොමසාරිස්වරයා විසින් පවත්වනු ලබන මූලික පිරිවෙන් අවසාන විභාගයත් ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාග වලට පෙනි සිටීමටත් අවස්ථාව ලැබේ.

මීට අමතරව බෞද්ධ දස සීලමාතාවන්ට සහ බෞද්ධ පරිසරයක අධ්‍යාපන ලැබීමට අපේක්ෂා කරන ගිහි ශිෂ්‍යාවන්ට අධ්‍යාපන පහසුකම් සැලසීමටත් මේ මගින් අවස්ථාව සැලසේ.

බෞද්ධ දස සීලමාතාවන් ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි බෞද්ධාගමික දස සීලමාතාවන් හැඳින්වෙන අතර බෞද්ධ කාන්තාවන් පමණක් බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතනවල සීලමාතා ආචාර්යවරුන් වශයෙන් පත් කිරීමට මෙම සංදේශය මගින් යෝජනා කර තිබේ.

1979 අංක 64 දරණ පිරිවෙන් අධ්‍යාපන පනතට අනුව බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට ප්‍රතිපාදන නොමැති නමුත් බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීම සම්බන්ධව පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ දීර්ඝ ලෙස සාකච්ඡා කොට පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ එකඟත්වය මත පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සළසා ඇති අතර එය නීති කෙටුම්පත් දෙපාර්තමෙන්තුවට මේ වන විටත් යොමු කර තිබේ.


news.lk