දින 100 පැන්නා විතරයි වැඩ පටන් අරන් : ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ආරක්ෂක අංශ ප්‍රහාරයක් ! (VIDEO)

0
141
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ හම්බන්තොට, සුරියවැව ක්‍රීඩාංගනයේදී පැවති දෙවන එක්දින තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ට පොලිසිය හා ආරක්ෂක අංශ විසින් පහරදීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයක් එල්ලවී ඇත.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙහි වසර කිහිපයක් තිස්සේ කිසිදු ජාත්‍යන්තර තරගයක් පවත්වා නොමැති අතර, වසර හතරකට පසු පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (26) එම ක්‍රීඩාංගනයේ දී පවත්වන ලදී. මෙම ක්‍රිකට් තරගය නැරඹීම සඳහා 35000 කට ආසන්න ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණ සිටියේය.

සේවකයින්ගේ හිඟකම හේතුවෙන් ප්‍රවේශ පත් නිකුත් කිරිම සඳහා විවෘත කර තිබුනේ කවුන්ටර් දෙකක් පමණක් වීම නිසා ක්‍රීඩා ලෝලීන් සහ ක්‍රීඩාංගණ සේවකයින් අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

ඒ අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරිම සඳහා ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරින් සහ ආරක්ෂක නිලධාරීන් එක්ව තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ට පහරදී ඇත.

ක්‍රීඩා ඇමතිගෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයට නියෝගයක් !

මෙම කණගාටුදායක තත්ත්වය කිසිසේත් අනුමත නොකරන බවත්, ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා එය දැඩි ව හෙළා දකින බවත්  අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ඔහු විසින් නිකුත්කර ඇති නිවේදනයක් එබව සඳහන් වේ.

ක්‍රීඩාංගන පරිශ්‍රයට පැමිණි ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසකට ප්‍රවේශපත් කවුළු අසල දී කිසියම් ප්‍රහාරයකට ලක්වීමට සිදුව ඇතැයි පවසන ඇමතිවරයා, ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපයට ගරු කරන ජනතාවක් සිටින රටක මෙවැනි තත්ත්වයක් ඇතිවීම ඉතා කණගාටුදායක බව ද කියා සිටියි.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා වහාම පරීක්ෂණයක් කර ඒ පිළිබඳ තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස  ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත තමා විසින් නියෝග කළ බව ද, අමාත්‍යවරයා සිය නිවේදනය මගින් කියා සිටියි.

එමෙන්ම, මේ පිළිබඳ සැල වූ වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ වෙත තමා පුද්ගලිකව ම කතා කර සිද්ධිය දැනුම්දුන් බව ද, කඩිනමින් මේ පිළිබඳ සොයා බලන ලෙස ඔවුන් දෙදෙනා Dalas namalඋපදෙස් ලබාදුන් බව ද සඳහන් කරන අමාත්‍යවරයා,  මෙම සිදුවීම සම්බන්ධ ව වහාම පරීක්ෂා කර බලා අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත සහ  අගමැති වෙත ලබාදීමට ඉතා ඉක්මණින් කටයුතු කරන බව ද, මෙම කණගාටුදායක තත්ත්වය සම්බන්ධයෙන් සමස්ත ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද  කියා සිටියි.

 නාමල් රාජපක්ෂ ගෙන් ට්විටර් පණිවිඩයක් !

මෙම පහරදීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.
එම පහරදීම තමන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පවසන මන්ත්‍රීවරයා, එමෙන්ම එවැනි සිදුවීම් යලි ඇතිනොවීමට රජය කටයුතු කළ යුතු බව සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ තැබූ ට්විටර් සටහන පහතින් දැක්වේ.

 


theleader.lk