දිරිය ක්‍රීඩිකා ‘මධුෂී අමරසිංහ ‘

0
15

ඇය ශ්‍රී ලංකේය සාම්ප්‍රදායික ස්ත්‍රීත්වයට අභියෝග කළ කාන්තාවකි. එමෙන්ම සංස්කෘතික බැඳීම් වැනි මෙරට කාන්තවන් වටා සබැදී ආකලපයන්ද නොතකමින් තම අභිමතාර්ථයන් ඉටුකර ගැනීම වෙනුවෙන් අපමණ කැප කිරීමක් සිදුකළ දිරිය කාන්තාවකි. පසුගිය වසරේ  ඉන්දුනීසියාවේදී පැවති ආසියානු කායවර්ධන තරගාවලියට සහභාගි වෙමින් කාන්තාවන් සඳහා  පැවැත් වූ   කායවර්ධන  ඉසව්වක් සඳහා  තෙවන ස්ථානය  ජයග්‍රහනය කර ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදෙමින්  මහත් වු කීර්තියක් තම මව්බිමට හිමිකර දුන්නාය. දිරිය කාන්තාවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන මේ මාර්තු මාසය තුළ ඇය ආරාධීත දේශනයක් සඳහා මීගමුවට පැමිණි අවස්ථාවක, අප ඇය සමග සුහද කතාබහක නිරතවූයෙමු. මේ ඇය සමගින් අප සිදුකළ  එම සුහද කතාබහේ සංෂිප්ත සටහනකි.

  මුලින්ම ඔබේ, ගම් පළාත ගැන වගේම ඔබේ ළමා කාලය සහ ඔබේ පවුලේ විස්තර ටිකක් දැනගන්න කැමතියි ?

මම උපන්නේ කෑගල්ල ප්‍රදේශයේ. මම මුලින්ම පාසැල් ගියෙත් කෑගල්ලේ. කෑගල්ලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරලා පසුව අපි හලාවත ප්‍රදේශයේ පදිංචියට ආවා.හලාවත කියන්නේ මගේ මවගේ ගම් පලාත.  පසුව හලාවත තමයි මගේ ගම වුනේ . එහෙම පදිංචියට පැමිණෙනුයින් පසුව මම හලාවත ආනන්ද ජාතික පාසලට ඇතුළත් වුණා. එහිදී මම සාමාන්‍ය පෙළ සමත් වෙලා ,  පසුව වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට , සමත් වුනෙත්  හලාවත, ආනන්ද ජාතික පාසලෙන්ම තමයි.
මගේ පියා මහින්ද අමරසිංහ ඔහු හෝටල් සංස්ථාවේ රැකියාව කෙරුවේ. දැන් නම් ඔහු විශ්‍රාම ගිහින් ඉන්නේ. මගේ මව එමෙල්ඩා බියට්‍රීස්, ඇය නම් රැකියාවක් කෙරුවේ නැහැ.අපේ පවුලේ දරුවන් දෙන්නයි. මම තමයි වැඩිමල් . මට බාල සහෝදරයෙක් පමණයි ඉන්නේ. ඔහු මේ වෙද්දි සූපවේදියෙක් ඒ කියන්නේ ෂෙෆ් කෙනෙක් විදිහට රැකියා කරනවා. එයා දැන් මීගමුවේ පදිංචි වෙලා ඉන්නේ.
මට කුඩා කාලේ ඉඳලම, මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් වගේම ලොකු ආශාවක් තිබුණා , කවද හරි දවසක, කුමන හෝ ඉසව්වකින් ජාත්‍යන්තර වශයෙන්  ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අවස්ථාවක් හිමිකර ගන්න. මම පාසල් යන කලේ ඉගෙනීමට වගේම ක්‍රීඩාවටත් යම් යම් දක්ෂතා තිබුණා. වොලි බෝල් , නෙට් බෝල් වගේම මළල  ක්‍රීඩාවලින් දුර පැණිම ඉසව්වටත් සහභාගි වුණා. ඒවා වලින්  ජයග්‍රහනත් ලබලා තියෙනවා.

කායවර්ධන ක්‍රීඩාව කියලා කියන්නේ දැඩි ලෙස කැපකිරීම් කළ යුතු වගේම කාන්තාවන් වැඩිපුරම තෝරා නොගන්න ක්‍රීඩාවක්  . කොහොමද ඔබ මේ කායවර්ධන ක්‍රීඩාව සඳහා යොමු වුනේ ?.

ඇත්තටම මේක වුණේ මටත් නොදැනීම කියලයි මට හිතෙන්නේ. මොකද මම ඉගෙනීම පැත්තෙන් දක්ෂතා පෙන්නපු නිසා මගේ මවට සහ පියාට අවශ්‍ය වුනේ මාව හොඳට උගන්වන්න. ඉතිං ඒ වෙද්දි මගේත් හිතේ ලොකු බලාපොරොත්තුවක්  තිබුණා කවද හරි හොඳට ඉගෙනගෙන නීතිඥවරියක් වෙන්න ඕන කියලා. එහෙම හිතේ තියාගෙන තමයි ,උසස් පෙළ සමත් වෙලා මම හලාවත ඉඳලා කොළඹ , මහරගම ප්‍රදේශයට ආවේ. ඒ වෙද්දි මගේ මල්ලිත් මාත් එක්ක කොළඹට ආවා. මොකද නීතිය සම්බන්ධ උපාධි පාඨමාලාව කරන්න, ඒකට අවශ්‍ය අමතර උපකාරක පන්ති එහෙම තිබුණේ කොළඹ ප්‍රදේශයේ නිසා තමයි මට, එහෙම එන්න සිද්ධ වුණේ.
ඔහොම ඉන්න අතරවාරේ   මගේ ශරීරයේ තයිරොක්සින් හෝමෝනය අඩු මට්ටමකට පත්වීමෙන් මම කායිකව අසනීප තත්වයකට පත්වුණා. මේ අසනීප තත්ත්වය නිසා මාව කායිකව දුර්වල වුණා වගේම මගේ ශරීර ස්වභාවය සෑහෙන දුරකට වැහැරුණා කියන්න පුළුවන්. ඉතින් පසුව මට ලැබුණු වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර වලින් මගේ අසනීප තත්ත්වය සුව වුණා .   ඒත් එක්කම මම අසනීප වීමට පෙර  තිබුණු පෙනුම යළි ඇති කරගන්නත් මට අවශ්‍ය වුණා. ඒ සඳහා  මට ලැබුණු වෛද්‍ය උපදෙස් අනුව තමයි මම කායවර්ධන අභ්‍යාස මධ්‍යස්ථානයකට ඒ කියන්නේ ජිම් (Gym ) එකකට යන්න තීරණය කෙරුවේ. ඉතින් මගේ මල්ලි තමයි මාවත් එක්කරගෙන මහරගම පැත්තේ තියෙන ජිම් එකකට මාව එක්කගෙන ගියේ. එතනදි මට මුහුණ දෙන්න වුණු ප්‍රශ්නය තමයි, මට හරිහමන් විදියට මේ කායවර්ධන අභ්‍යාස ව්‍යයාම්  ගැන උගන්වන්න කෙනෙක් හිටියේ නෑ. ඒක නිසාම මම  ලොකු  අපහසුතාවයකට පත්වුනා . ඔය ප්‍රංශ්නය නිසාම  මට ආශාවක් ඇතිවුණා මේ කායවර්ධන අභ්‍යාසයන් වගේම මේ කායවර්ධන විෂය ගැන ඉගෙන ගන්න. ඒවාගේම මම මේ ජිම් එකට යද්දි මම කරන මේ අභ්‍යාස ඒ කියන්නේ මේ එක්සසයිස් නිසාම මගේ ශරීරයේ පෙනුම යම් වර්ධනීය තත්ත්වයකට පත්වුණ. ඒත් එක්තම මගේ හිතේ පොඩි කාලේ ඉඳලාම  බලාපොරොත්තුවක් සහ ආසාවක් තිබුණනේ යම් ඉසව්වකින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරන්න ඕනේ කියලා .ඉතින්  නිරන්තරයෙන් මම කරන මේ එක්සසයිසස් හින්දම ඒ වෙද්දි මගේ ශරීරයේ පෙනුම වර්ධනය වන ආකාරය දැක්කහම ,මට ඇත්තටම හිතුනා මේ කායවර්ධන ක්‍රීඩා ඉසව්ව තුළින් ශ්‍රී ලංකාව නියෝජනය කරන්න මට හැකියාවක් තියෙනවා කියලා.  ඔය විදිහට තමයි මම මේ ක්‍රීඩාව සඳහා යොමු වුණේ.

  එතකොට කොහොමද ඔබ මේ කායවර්ධන ක්‍රීඩා තරඟාවලීවලට ,විශේෂයෙන්ම ජාත්‍යන්තරව පැවැත්වෙන කායවර්ධන තරඟාවලින් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට අවස්ථාව උදා කරගත්තේ

මම මේ කතාබහේ මුලදිත් කිව්වනේ කුඩා කලේ ඉඳලා මගේ ආශාවක් වගේම බලාපොරොත්තුවකුත් තිබුණා කියලා ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව නියෝජනය කරන්න. ඉතින් ඒ ආශාව සහ බලාපොරොත්තුවත් එක්කම ,මම මේ කාය වර්ධන ක්‍රීඩාව ගැන ඉගෙන ගත්තා වගේම මේ ක්‍රීඩාව තුල යම් ප්‍රසාදිත මට්ටමකට ප්‍රගුන  කළා. ඒ නිසාම ඔහොම ටික කාලයක් යනකොට මට හැකිවුණා,  කායවර්ධන අභ්‍යාස පිළිබඳව පුහුණුකාරිණියක් සහ උපදේශිකාවක් විදිහට කටයුතු කරන්න. ඒ අනුව මම  රත්තනපිටියේ., ” ස්ටෙප්අප් ” කියන ජිම් එකේ රැකියාවකට ගියා. එතනදි මේ කායවර්ධන ක්‍රිඩාව හා සම්බන්ධ  තවත් බොහෝ දේවල් මට  න්‍යායාත්මක සහ ප්‍රායෝගිකව ඉගෙන ගන්න ලැබුණා. එතනදී තමයි මට  ” ජනක සමරසිංහ ” කියන  ගුරුවරුවරයාව ගැන දැනගන්න ලැබෙන්නේ. ඔහු ඒ දවස් වල ශාරීරික යෝග්‍යතාවය සහ කායවර්ධනය ක්‍රීඩාව පිළිබඳව උගන්වන ගුරුවරයෙක්. ඒ වගේම ඔහු ලංකාවේ පළමු වතාවට කායවර්ධන ක්‍රීඩාව සම්බන්ධව පොත් කිහිපයක් ම ලියපු කතුවරයෙක්.  දැන් නම් ඔහු පෞද්ගලික විශ්ව විද්‍යාලයක ස්පෝර්ට්ස් සයන්ස් විෂය සම්බන්ධව කටයුතු කරන කථිකාචාර්යවරයෙක්. ඉතින් මම ඔහුගෙන් ඇහුවා ක්‍රීඩාව සම්බන්ධ එහෙම නැත්නම් “ස්පෝර්ට්ස් සයන්ස්” වගේ විෂයක් ගැන උපාධියක්  කරන්න ලංකාවේ කොහෙද අවස්ථාවක් තියෙන්නේ කියලා. පසුව ඔහු මට , ඔහු ලියාපු පොත් වල පිටපත ගානේ තෑග්ගක් විදිහට එවලා තිබුණා. පසුව ඔහු මට හමු වුනු අවස්ථාවක මම ඔහුට කිව්වා සර්, මටත් ආශයි , මේ තරගාවලියකට සහභාගී වෙන්න කියලා. ඒත් ඔහු මට කිව්වේ ,ඒකට තවම ඔයාට කල් මදීයි. තව හොඳට ඉගෙන ගන්න සහ අභ්‍යාස කරන්න කියලා. ඔහු මට ලබා දුන්නා මාර්ගෝපදේශ  සහ  ව්‍යයාම සැලසුමක්.  ඉතින් ඒ අනුව මම වැඩ කලා.  වසර දෙකක වාගේ කාලයක් යද්දී  මම හොඳට ව්‍යායාම , අභ්‍යාස කලා. මම ඒවා කවදාක්වත් මම මඟහැරියේ නැහැ. ඉතින් ජනක සර් මගේ මේ ක්‍රීඩාවට තියෙන මේ කැපවීම දැකලා ඔහු මට තරගාවලින් වලට  සහභාගි  වෙන්න අවශ්‍ය  මඟ පෙන්වීම ලබා දුන්නා. අද මම මේ  ක්‍රීඩාව තුළින් යම් සාර්ථකත්වයක් ලබලා තියෙනවා නම් , ඒ සාර්ථකත්වයේ පෙර ගමන්කරු බවට පත් වෙන්නේ ජනක සර් තමයි.

පිරිමි අංශයේ කායවර්ධන ක්‍රීඩා තරඟාවලි වලට වඩා කාන්තා අංශයේ කායවර්ධන තරඟාවලින් වල ලොකු වෙනසක් තියෙනවා නේද ?

ඔව් ඒක ඇත්ත. පිරිමි අංශයේ කාය වර්ධන තරඟා වලදී ඒ සහභාගී වන ක්‍රීඩකයන්ගේ මස් පිඩු වර්ධනය වී ඇති ආකාරය සහ මස් පිඩු පිටතට පෙනෙන ආකාරය  ඒ කියන්නේ ඒ මස්පිඩු වල තියෙන ආකර්ෂණය ගැන තමයි ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්නේ. නමුත් කාන්තා අංශයේ තරගයකදී , විශේෂයෙන්ම ජාත්‍යන්තරව පවත්වන කාන්තා  තරගයකදී කායවර්ධනයම නෙවෙයි  ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගන්නේ . එහිදී වඩාත්ම සැලකිලිමත් වන කාරණයක් තමයි කාන්තා සිරුරේ ලාලිත්‍යය  සහ ශරීර සමබරතාවය, නම්‍යශීලි බව විදහා දැක්වීම වැනි කාරණාවන් . ඒත් එක්කම කාන්තා තරගයකදී සැලකිලිමත්  වන තවත් ප්‍රධානතම කාරණාවක් තමයි  අපි ඒ වෙලාවේදී සිදුකරන ප්‍රොපෝමන්ස් . (performance) .  ඉතින් කාන්තා තරගාවලියකදී  යම් ජයග්‍රහණයක් ලබන්න නම් ඒ, කාන්තා සිරුරේ මස් පිඩු වර්ධනය වී තිබීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑහැ..

     ඔබ නියෝජනය කරන කාය වර්ධන සම්මේලනය එහෙම නැත්නම් ඒ පෙඩරේෂන් ( Federation ) එක ගැනත් කෙටියෙන් විස්තර කළොත් ?.

මම නියෝජනය කරන්නේ  WBPF ඒ කියන්නේ,  ( World Bodybuilding  and Physique sports Federation ) ” වර්ල්ඩ් බොඩි බිල්ඩින් ඇන්ඩ් පිසී(ක්‍යු) ස්පෝර්ට්ස් පෙඩරේෂන් ”  . මේක ඇත්තටම ලංකාවේ ස්ථාපිත පෙඩරේෂන් එකක් නෙවෙයි. දැන් ලංකාව නියෝජනය කරලා ලෝක කාය වර්ධන ශූරයා බවට පත්වුණු ” ලූෂන් පුෂ්පරාජ් ” පවා මේ පෙඩරේෂන්  එක නියෝජනය කරන කෙනෙක්.  ඒවාගේම දැනට ලංකාවේ ව්‍යවස්ථානුකූලව තියෙන පෙඩරේෂන් එකවත් ලංකාවේ පටන් ගත්ත එකක් නෙවෙයි. හැබැයි මේ පෙඩරේෂන් එකත් තාම ලංකාවේ අනුමැතිය අරගෙන නැහැ. ඒත් එක්කම ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි වුන එක පෙඩරේෂන් එකක් තියෙනවා, නමුත් මෙතෙක් එකම එක ක්‍රිඩිකාවක්වත්  ඒ පෙඩරේෂන් එක හරහා කිසිම විදේශ තරගාවලියකට සහභාගි කරවලා නැහැ. ඉතින් මම මේ පෙඩරේෂන් එක තෝරගත්තේ මගේ හෙල්ත් කන්ඩිෂන් එක එහෙම නැත්නම් සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා. මොකද මම කැමති නෑ ලොකු ෂෙඩුල්ස් වලට ගිහිල්ලා ඉන්ජෙක්ෂන් කරගෙන එහෙම යන්න. මම වඩාත්ම කැමතියි ස්වභාවිකව මගේ ශරීර ශක්තිය සහ ශරීර ස්වභාවය හදාගෙන කරන තරගාවලි වලට සහභාගි වෙන්න. අනික තමයි ඒ පෙඩරේෂන් වල තියෙන  තරඟකාරීත්වයත් ඉතා වැඩියි. ඉතින් මම එහෙම  තරඟ වලට සහභාගී වෙන්න කැමත්තක් නැහැ. මම කොහොමත්ම කැමති නෑ කෘතිමව හදාගෙන මගේ ශරීරය උලුප්පලා පෙන්වන,  කායවර්ධන තරඟ වලට.
මම මේ පෙඩරේෂන් එක තෝරගන්න හේතු වුණු අනෙක් ප්‍රධාන කරුණ තමයි, මම සහභාගි වෙන්නේ සැමට සාධාරණ වේදිකාවක් තුළ පැවැත්වෙන තරඟ වලට පමණයි. මොකද මම කැමති නැහැ මුදලට යටවෙලා තරග වලට සහභාගි වෙන්න.   ඉතින් මම ඉන්න මේ පෙඩරේෂන් එක එහෙම නැහැ. නියම දක්ෂතාවයන්ට මුල් තැන දෙන අයට තරගාවලිය නියෝජනය කරන්න මේ පෙඩරේෂන් එක තුළ අවස්ථාව තියෙනවා. ඒ නිසා බොහෝ අය දැන් මට කතා කරනවා ඔතනින් ඉවත් වෙලා මෙතනට එන්න අපි ළඟට එන්න කියලා. නමුත් මට නැගී සිටින්නට අත දුන්නු  මේ පෙඩරේෂන් එක අතහැරලා  වෙනත් තැනකට යන්න මම කැමති නෑ. මොකද මට ඉහළට යන්න  උදව් උණු ඒ ඉනිමගට පයින් ගහන්න මම ලෑස්ති නෑහැ.

ඇයගේ සාර්ථකත්වය පසුපස සිටින ඇයගේ ගුරුවරයා

ඔබ මෙතෙක් ලබා තිබෙන ජාත්‍යන්තර ජයග්‍රහණ ගැන  කෙටියෙන් කිව්වොත් ?

2023 වසරේදී මම සහභාගි වුණා  55 වෙනිl වතාවට පවත්වපු ” ඒෂියන් බොඩි බිල්ඩින් ඇන්ඩ්  පිසී(ක්‍යු) චැම්පියන්ෂිප් ” තරඟාවලියට . එහිදී මම එම තරගාවලියේ එක් ඉසව්වක් වන ” වුමන්ස් ඇත්ලටික් පිසී(ක්‍යු) ඕවර් 165 සෙ.මී. piතරඟයෙන් මම 04 වෙන ස්ථානය ජයග්‍රහණය කළා.
{ 55th Asian Bodybuilding & Physique Championship 2023
Women’s Athletic Physique Over 165cm
4th place }

ඉන්පසු මම පසුගිය 2024 වසරේ ඉන්දුනිසියාවේ පවත්වපු  56 වැනි ආසියානු ශූරතා තරගාවලියේ  ඒ කියන්නේ ” 56 ඒෂියන් බොඩිබිල්ඩින් ඇන්ඩ්  පිසී(ක්‍යු) චැම්පියන්ෂිප් 2024 ” තරඟාවලියේ
” වුමන්ස් ඇත්ලටික් පිසී(ක්‍යු) ඕවර් 165 සෙ.මී. තරඟ ඉසව්වෙන්  03 වැනි ස්ථානය ජයග්‍රහණය කරලා මට ලෝකඩ පදක්කම හිමිවුණා.
{ 56th Asian Bodybuilding & Physique Championship  2024
Women’s Sports Physique Over 165cm
3rd place (bronze 🎖️) }

ඒත් එක්කම පසුගිය 2024 වසරේම මාලදිවයිනේ පැවති  ලෝක ශූරතා තරගාවලියේ ඒ කියන්නේ ”  15 වැනි වර්ල්ඩ් බොඩිබිල්ඩන් ඇන්ඩ් පිසී(ක්‍යු) ස්පෝර්ට්ස්  චැම්පියන්ෂිප් 2024 ” තරඟාවලියේ ” වුමන්ස් ස්පෝර්ට්ස් පිසී(ක්‍යු) 165 සෙ.මි.  ඕවර් තරඟ ඉසව්වෙන්”  04 වැනි ස්ථානය ජයග්‍රහණය කළා.
{ 15th World Bodybuilding and Physique Sports Championship 2024
Women’s sports physique over165cm
4th place }

දැන් මේ ක්‍රීඩාව තුළ , ඔබේ ඊළඟ ඉලක්කය මොකක්ද ?

මේ වසරේ අගෝස්තු මාසේ  වගේ පැවැත්වෙනවා ආසියානු තරගාවලිය. මට ඒකට සහභාගි වෙන්න අවශ්‍යයි.  .නමුත් මම එහෙම බලාපොරොත්තු වුනාට තවම මම ඒකට සූදානමක් නැහැ. මොකද ඒකට හේතුව මම අර කලින් සඳහන් කරපු තරගාවලීන් 03 ටම ගියේ මගේ මහන්සියෙන් වගේම මගේ මුදල් වියදම් කරගෙන. ඉතින් මේ තරගාවලියට මට සහභාගී වෙන්න ඒ සඳහා මට   අනුග්‍රහකත්වයක් දක්වන්නට හෝ සහයෝගයක් දක්වන්නට කිසිම පුද්ගලයෙක්වත් ආයතනයක්වත් තවම මට  ලැබිලා නෑහැ. ලංකාව ජාත්‍යන්තරව  ජයග්‍රහණය කරලා පදක්කම් සහ කීර්තියක් ගෙනාවට අඩුම තරමින් ඒ වගේ සහයෝගයක් දෙන්න පෞද්ගලික ආයතනයක්වත් අඩුම තරමින් මේ රජයවත්  මේ වෙනකම් කටයුතු කරල නෑ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නය නිසා මම මේ තරගාවලියට සහභාගි වීම ගැන මම තවම හරි තීරණයකට ඇවිල්ලා නැහැ. සාමාන්‍යයෙන් තරගාවලියකට යන්න මාස 06කට පමණ පෙර ඉඳලා අපි පුහුණුවීම් කටයුතු පටන් ගන්න ඕන. නමුත් මම මේ කිව්ව ප්‍රශ්න සහ ගැටළුව නිසා මං තවම ඒ ආසියානු තරගාවලිය සඳහා පුහුණුවීම් පටන් ගත්තේ නැහැ. හරි නම් මේ වෙද්දි ඒ පුහුණු කටයුතු මම ආරම්භ කරලා තියෙන්න ඕන. ඇත්තටම කියනවා නම් මේ තත්වය ගැනම බොහොම දුකක් ඇතිවෙනවා අපි රට නියෝජනය කරලා ජාත්‍යන්තරව රටට ජයග්‍රහණයක් වගේම කීර්තියක් ගෙන ඒමට උත්සාහ දරද්දී රජය ඇතුළු සියලු පාර්ශවයන් අපි වාගේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් ගැන මේ විදිහට අවධානයක් නොදීම ගැන  පුදුමාකාර. කනගාටුවක් තියෙන්නේ.

දැන් ඔබ ඔය කියන විදිහට මෙරට කය වර්ධන ක්‍රීඩාවට පෞද්ගලික ව්‍යාපාරික ආයතනවලින් හෝ විශේෂයෙන් රජයෙන් හෝ අනුග්‍රහකත්වයක් සහයෝගයක් ලැබෙන්නේම නැද්ද ?.

අපේ රටේ ප්‍රචලිත ක්‍රීඩා ගණනාවක් තිබුණත් , ක්‍රිකට් වොලිබෝල් සහ මලල  ක්‍රීඩා වැනි ක්‍රීඩාවන් කිහිපයකට පමණයි පෞද්ගලික ව්‍යාපාරික ආයතන වලින් හෝ රජයෙන් පවා විශාල අනුග්‍රහකත්වයක් ලැබෙන්නේ. අපේ රටේ කාය වර්ධන ක්‍රීඩාව තුල නියැලෙන එම ක්‍රීඩාව තුළින් ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කර දුන් ක්‍රීඩකයන්ට පවා මේ රටේ එහෙම  සැලකිය යුතු අනුග්‍රහයක් ලැබෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා නෑහැ. මේ කාය වර්ධන ක්‍රීඩා ව තුල පමණක්ම නෙමේයි ,  වෙනත් ක්‍රීඩා වලින් පවා කොපමණ ජාත්‍යන්තර ජයග්‍රහණ රටට ගෙනාවත් ඒ ජයග්‍රහණ රටට ගෙන ආ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලකට, අනුග්‍රහකත්වයකට හෝ සහයෝගයකට ලක්නොවන එහෙම ක්‍රීඩාවන් කිහිපයක්ම අපේ රටේ තියෙනවා. නමුත් මම හිතන්නේ එහෙම ක්‍රීඩා කිහිපයකට පමණක්ම නෙවෙයි සෑම ක්‍රීඩාවකටම, විශේෂයෙන්ම ඒ සෑම ක්‍රීඩාවක්ම නියෝජනය කරන සියලුම ක්‍රීඩක පීඩිකාවන්ට අවශ්‍ය සහයෝගය අනුග්‍රහකත්වය සහ ඒ දිරිදීම රජයේ ක්‍රීඩා අමාත්‍යාංශය හරහා වත් ලැබිය යුතුයි කියලයි මම නම් හිතන්නේ. අවාසනාවකට අපේ රටේ එහෙම නොවෙන එක ගැන ඇත්තටම කනගාටුවක් දැනෙනවා.

දැන් අපේ රටේ ජාත්‍යන්තරය ජයගත්තු  සනත් ජයසූරිය, සුසන්තිකා ජයසිංහ සහ,සුගත් තිලකරත්න වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුකාලීනව දේශපාලනයේ නිරත වෙනවා. ඔබට එහෙම අදහසක් නැද්ද ? දේශපාලනයේ නිරත වුනොත් දැනටමත් සැලකිල්ලට ලක් නොවුනු ක්‍රීඩාවලට සහ  ක්‍රීඩක ක්‍රීඩකාවන්ට යම් සේවාවක් කරන්න පුළුවන් කියල ඔබට හිතෙන්නේ නැද්ද ?

මුලින්ම කිව්වොත් මට අපේ රටේ දේශපාලනය ගැන කිසිම තෘප්තියක් නැහැ. අපේ රටේ දේශපාලනය කියලා කියන්නේ මඩ ගොහොරුවක් කියලයි මට හිතෙන්නේ. අනික අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව,  නීති පද්ධතිය සියල්ලම යල් පැන ගිහින්, ඒවා වර්තමානයට සහ අනාගතයට  ගැලපෙන්නේ නැහැ. ඒවා අද කාලයට ගැලපෙන විදිහට, සහ රටේ කාටත් සාධාරණ ලෙස ජීවත්වීමට හැකි වන විදිහට ඒවා සංශෝධනය කළ යුතුයි. නිදසුනක් විදිහට කිව්වොත් අද සාමාන්‍ය දුප්පත් මිනිස්සුන්ට ක්‍රියාත්මක වෙන නීතිය. ධනවත් ඇති හැකි අය තම ධන බලය පාවිච්චි කරලා ,නීතියේ හිඩැස් උපයෝගී කරගෙන නීතියෙන් බේරිලා ඉන්නවා. ඉතින් මේ රටේ නීතිය කාටත් සර්ව සාධාරණයි කියලා කියන්න බැහැ. මේ වගේ අපේ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වහාම වෙනස් විය යුතුයි කියලා, මම විශ්වාස කරනවා. රටේ අලුත් ප්‍රතිපත්ති බිහිවිය යුතුයි. විශේෂයෙන්ම රටේ ක්‍රීඩා ප්‍රතිපත්තිය පවා වෙනස් විය යුතුයි. සියලුම ක්‍රීඩාවන්ට රජයේ නිසි සැලකිල්ලක් ඇතිවිය යුතුයි. එහෙම සෑම ක්‍රීඩාවකටම එකසේ සලකන සහ අනුග්‍රහකත්වය දරන රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇති වුවහොත් ඒ ක්‍රීඩාවන් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහය දක්වන්නට අපි වගේ අය දේශපාලන ක්ෂේත්‍රයට පැමිණීම අවශ්‍ය නොවන බවයි මගේ අදහස. ඉතින් මං මේ කියනවා වගේ තත්ත්වයක් කවදානම් උදා වෙයිද කියන එක නම් මට කියන්න අමාරුයි.  කොහොම වුණත් අපේ රටේ දේශපාලනය ගැන නම් මට අතෘප්තිකර හැඟීමක්. තියෙන්නේ.

ඔබේ අනාගත බලාපොරොත්තු ගැන දැනගන්නත්  කැමතියි ?

මම තාම ලංකාවට ගෙනල්ලා තියෙන්නේ ලෝකඩ පදක්කමක් විතරයි.     මාගේ පළවෙනි අනාගත බලාපොරොත්තුව තමයි ජාත්‍යන්තර තරගාවලියක් නියෝජනය කරලා ලංකාවට රන් පදක්කමක් ගේන එක. ඒත් එක්කම මගේ බලාපොරොත්තුවක් තියෙනවා මට මේ ක්‍රීඩාව නිසා අතපසු වුණු මගේ කුඩා කාලයේ පටන් තිබුණු බලාපොරොත්තුවක් වන නීතිඥවරියක් වීමේ සිහිනය සාක්ෂාත් කර ගැනීම. මම ලබන වසරේ සිට ඒ සඳහා අනිවාර්යෙන්ම යොමු වීමට බලාපොරොත්තු වෙනවා.
ඒත් එක්කම මම බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේ “ස්පෝර්ට්ස් සයන්ස් ” කියන විෂය සම්බන්ධයෙන්  මෙරට විශ්ව විද්‍යාලයකින් හෝ විදේශ විශ්වවිද්‍යාලයකින්  විධිමත් උපාධියක් හදාරන්න. මම දැනටමත් ඒ විෂයට අදාළව උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරමින් ඉන්නේ , එය අවසන් වුනු වහාම උපාධිය සඳහා යොමු වෙන්නට බලාපොරොත්තුවක් තියෙනවා.
ඒත් එක්කම මම කැමතියි මේ කායවර්ධන ක්‍රීඩාවට පිවිසිලා තරගාවලින් නියෝජනය කරන්න  බලාපොරොත්තු වෙන තරුණියන් ඉන්නවනම් ඒ අයට අවශ්‍ය  ඒ නිසි මඟ පෙන්වීම  සහ ඒ පුහුණුවීම් ආදිය  ලබා දෙන්න, මම ඕනම අවස්ථාවක සූදානම්. ඒ වාගේම මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අනාගතයේ යම් දවසක මගේම කියලා ජිම් එකක් ඒ කියන්නේ අංග සම්පූර්ණ ව්‍යායාම් අභ්‍යාස මධ්‍යස්ථානයක්  ආරම්භ කරන්න. ඉතින් ඒකට විශාල මුදලක් වැය වෙනවා. ඉතින් ඒකත් මගේ ලොකු අනාගත බලාපොරොත්තුවක්.

ඔබ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය කාන්තාවකට එහා ගොස් සංස්කෘතික බැඳීම් වැනි බාධක බිඳ දමමින් ජාත්‍යන්තරය නියෝජනය කල  ශ්‍රී ලාංකික කාන්තාවක් විදිහට, මෙරට කාන්තා පරපුරට ඔබට දෙන්න තියෙන උපදේශනය සහ පණිවිඩය මොකක්ද ?.

මට අපේ රටේ කාන්තාවන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි, අපි අපේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ ජයග්‍රහණය ලබන තුරු අපි කරපු කැපකිරීම්, උත්සහයන් සහ අපේ අධිෂ්ඨානයන් අපි අත් නොහළ යුතුයි. අපේ ජයග්‍රහණයට බාධා ගෙන දෙන විවිධ සංස්කෘතික බැඳීම්,ආදීය ඒ ජයග්‍රහණය සඳහා යන ගමනේදී බාධාවන් විදිහට මතුවෙන්නට පුළුවන්. නමුත් ඒවාට නොසැලී සිහි නුවණින් යුතුව ඒ බාධක වලට මුහුණ දීලා, ඒ බාධක වලින් ජයග්‍රහණය ලැබීම තමයි වැදගත් වෙන්නේ.
අපි යම් ජයග්‍රාහී ගමනක් යද්දී අපේ උදව්වට සහයෝගයට ඉන්න අයට වඩා වැඩිය ඉන්නේ අපිව කකුලෙන් ඇදලා වට්ටන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය. ඉතිං අපිට නුවණ වගේම ශක්තියක් තිබිය යුතුයි,  අපි වටා ඉන්න අය ගැන , වගේම ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන හරි හැටි තේරුම් ගන්න. ඉතින් මම අවසානයේ කියන්නේ මොන ප්‍රශ්න ගැටළු ආවත් අපේ සිහින සහ ඉලක්කයන් , යථාර්ථයක් වුනතුරුම අපි නිරන්තරයෙන් ක්‍රියාකාරී විය යුතුයි. ක්‍රීඩාව පැත්තෙන් එවැනි ඕනෑම කෙනෙක් සඳහා මගේ උපරිම සහාය ලබාදීමට මම ඕනෑම අවස්ථාවක සූදානම්. එවැනි ආකාරයක උදව්වක් සහයක් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මාව සම්බන්ධ කරගන්න කියලත්  ඉල්ලා සිටිනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here