දිලිපගේ ඉල්ලා අස්විම.

0
96

දිලීප ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති තනතුරින් ඉල්ලා අස්වීමේ පුවත කරළියට පැමිණ තිබේ. අනිද්දා පුවත්පත එය මුල් පිටුවේ පලකරද්දී මුහුණු පොතේද පුවත් කිහිපයක්ම දුටිමි.

ඊට ප්‍රතිචාරිකව මුහුණු පොතේ එක් කොමෙන්ටුවක යන උන් ගියදෙන් ඊට වඩා උන් ඉන්නවා වැනි කියුම් ද දුටිමි.

ඒ නියම කියුමකි. කිසිදු තනතුරකට විකල්ප නොමැතියයි කිව නොහැකිය. එනයින්ම දිලීප වෙනුවට තව කෙනකු පත්කල හැකිය.

එහෙත් කල්පනාවට ගතයුත්තක් තිබේ.

තමන් විසින්ම පත්කරන ලද අය ඉවත්ව යන එක සුරතාන්ත සතුටක් නොවේ. ධාතු පහවනවිට ඔන්න ගියා කියා දැනෙන සතුට අනුපමේය වුවද තමන්ගේ ආණ්ඩුවේ තනතුරුධාරීන් යන එක එසේ නැත.

දිලීප යනු මාලිමාවේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ප්‍රබල මැදිහත්වීමක් කල අයෙකි. ඔහු සතුව ලංකාවේ ගමනාගමනය විධිමත් කිරීමට දියුණු වැඩපිළිවෙළක් තිබිණි. එය බස් මගියාට ටිකට පතක් නිකුත් කිරීමේ සිට සතුටුදායක ප්‍රවාහන සේවාවක් දක්වා විහිදෙන කෙටිකාලීන මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වැඩ පිලිවෙලකි.

මා ඔහු සමග මේ සම්බන්ධයෙන් මැදිහත් වූවේ මගී සංවිධානයක් පිහිටුවීමට අප කණ්ඩායමක් දැරූ උත්සාහයේදිය. එහිදී මම දිලීප නම් මිතුරාට අමතරව ඔහු තුළ සිටි දැක්මක් සහිත කළමණාකරුවා දුටිමි.

ලංකාවේ ලංගම සහ දුම්‍ රිය යනු බරවා කකුල් නම් පුද්ගලික බස් යනු මාෆියාවකි. මේ විෂකුරු ප්‍රවාහන ත්‍රිශූලයෙහි ඇමිණුනු මගියා ගලවා ගැනීම බරපතළ ක්‍රියාන්විතයකි. දිලීප උත්සාහ දරමින් සිටියේ එයටය. එය පෙරමුණු කිහිපයක සටනකි. බස් ගමනාගමනයේ අවිධිමත්භාවයට එරෙහිව වසර ගන්නාවක් තිස්සේ මැදිහත්ව, වෘෂණ කෝෂ ගලවන බවට බස් රියදුරු කොන්දොස්තර මහතුන්ගේ තර්ජනයන් ලබමින් සිටි මම එය කෙතරම් අසීරුදැයි දනිමි. දිලීප සිටියේ මේ අර්බුදකාරී අඩවියෙහි අදිටන් සහගත අරගලයකය. දැන් ඔහු ඒ බිමෙන් ඉවත්ව ගොසිනි.

ප්‍රවාහනය සම්බන්ධයෙන් ආණ්ඩුවට විසල් චිත්‍රයක් තිබිය යුතුය. එහෙත් පෙනෙන්නට ඇති පරිදි ඒ වෙනුවට ඇත්තේ අසම්පූර්ණ කොලාජයකි. එය සම්පූර්ණ සැලසුමක් බවට පත්කල හැකි දිලීප වැන්නන් අහිමිකර ගැනීම පාඩුවක් වන්නේ එහෙයිනි.

කිසියම් පාලනයකට නිසි පුද්ගලයන් සොයා ගන්නට අසීරුවන්නේ නම් සහ පත්කරනු ලබනා සමතුන් රඳවාගන්නට නොහැකිනම් එහි කල්පනා කරන්නට යමක් තිබේ.

යන උන් ගියාදෙන් තව ඕනෑතරම් ඉන්නවා කියන කියුමද දෙපැත්ත කැපෙන පිහියක් මෙනි.

ඒ ජනතාවටද මෙසේම සිතන්නට හැකි නිසාවෙනි.

මේ රටේ අති බහුතරයක් ජනයා විශ්වාසය රැඳවූ ආණ්ඩුවකි. ඒ ජනයා තවමත් පසුවනුයේ ඉවසිලිවන්ත නිරීක්ෂණාක්ශියකිනි. ඒ ඇසට ඇඟිල්ලෙන් ඇනීම භයානක බව ආණ්ඩුව වටහාගත යුතුය. මන්ද යත් ආණ්ඩුව ඇඟිල්ල උරුක් කරන විට ජනයා කතිරය මුවහත් කරන බැවිනි.

(චුලානන්ද සමරනායකගේ ෆේස් බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here