දීගොඩ කුමාර අත්අඩංගුවට ගැනිමට අධිකරණයෙන් නියෝගයක් ?

0
467

deegoda-kumara-825x412විශ්ව ශක්තියේ බලයෙන් රෝගීන් සුව කරන බව පවසමින් ‘දෙව්සුව සේවා’ නම් වැඩසටහන පවත්වන දීගොඩ කුමාර වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත ඊයේ (08 වැනිදා) පිළියන්දල පොලිසියට නියෝග කළේය.

2018 ඔක්තෝබර් මස 17 වැනි දින පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සංවිධානය කළ සුව කිරීමේ මෙහෙයකදී ‘සමුදිත නයනජිත්’ නම් දහහත් හැවිරිදි සිසුවාට පාන් ආහාරයට ලබාදීමෙන් අනතුරුව සිසුවා දැඩි ලෙස රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දීගොඩ කුමාර අත්අඩංගුවට නොගැනීම පිළිබඳ පොලිසියෙන් කරුණු විමසූ මහෙස්ත්‍රාත්වරයා දීගොඩ කුමාරව දණ්ඩ නීති සංග්‍රහයේ 300 වැනි වගන්තිය ප්‍රකාරව මිනීමැරීමේ චෝදනාව යටතේ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළේය. නඩුව මාර්තු 11 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

දීගොඩ කුමාර විසින් හොරොව්පතානේ පැවැත්වූ සුව කිරීමේ මෙහෙයකදී එයට සහභාගි වූ රෝගීන් තිදෙනකු මියයෑම පිළිබඳව ‘අරුණ’ පුවත්පත පළ කළ ප්‍රවෘත්තිය දෙව් සුව සේවා කණ්ඩායම ප්‍රතික්ෂේප කළ පසු දීගොඩ කුමාරගේ දෙව් සුව සේවා වැඩසටහන පිළිබඳ සවිස්තරාත්මක අනාවරණයක් ‘අරුණ’ පුවත්පත විසින් සිදු කරන ලදී. නොපෙනෙන ශක්තියක් විසින් රෝගීන් සුව කිරීමේ හැකියාවක් තමන්ට ඇති බවත් එලෙස සුවපත් කෙරූ රෝගීන් ලක්ෂ නවයක ප්‍රමාණයක් මෙරට සහ විදේශයන්හිද සිටින බව දීගොඩ කුමාර කියා සිටියි. ඒ පිරිස අතරින් නව දෙනකු ඉදිරිපත් කරන ලෙස අප විසින් ඔහුට එල්ල කෙරූ අභියෝගය තවමත් එලෙසම පවතියි.

කලණ වීරසිංහ
මුලාශ්‍රය -අරුණ