දීපා අක්කා

0
659

දීපා අක්කා කෝල් කරන්නට පටන් අරන් දැනට මාස  හයකටත් වැඩියි. එයාව මට හමුවුණේ මීගමුවේදී තිබුණ විරෝධතාවයකදී.  බෝට්ටු වලින් ඕස්ට්‍රේලියා යන්න ගිහින්   අහුවෙලා දැනට බන්ධනාගාරගත වෙලා ඉන්න තමන්ගේ ස්වාමි පුරැෂයන් නිදහස් කරලා දෙන්ඩ කියලා  පවත්වපු සාමකාමී විරෝධතාවය මට තාම මතකයි. ඒක තිබුණේ මහ වීදියේ පල්ලිය භූමියේ. දීපා අක්කත් එතනට ඇවිත් හිටියා. නත්තලට ඉස්සර වෙලා තමන්ගේ තාත්තව  ,ස්වාමියව ගෙදර එවන්ඩ කියලා  එතන හිටපු අය අඩ අඩා ජනාධීපතිතුමාට අත්දෙක වැදලා කිව්වා, මාධ්‍ය ඉදිරියේ. ‘’අපේ මහත්තුරු වැරැද්දක් කළාතමයි, අපි ආයේ ඒ වගේ වැරදි කරන්නේ නෑ ජනාධිපතිතුමෙනි ”කියලා කැමරා ඉදිරියේ අඩාවැටුණ හැටි දැක්කහම මට නම් පුදුම තරහක් ආවේ. මේ තරම් තමන්ගේ ආත්මය බාල්දුකරගන්ඩ වීම ගැන. ඒ මිනිස්සු ඕස්ට්‍රේලියා යන්න ගියේ මෙහේ ජීවත්වෙන්ඩ බැරි නිසා කියලා ඒ කට්ටියම කිව්වා. නමුත් දැන් කබලෙන් ලිපට වැටුණට පස්සේ මොකද කරන්නේ.
දැන් මනුස්සයා ගෙදර නැතිවඅතේ සතේ නැතිව දරුමල්ලොත් කරේ එල්ලගෙන බන්ධනාග‍ාර ගානේ රස්තියාදු වෙන්ඩ වෙනකොට කොහොමද රගේ.  එකසිය ගාණක් විතර කට්ටිය මීගමුව හා අවට මේ විදහට බන්ධනාගාරගත කරලා තිබුණා. අපි ඔක්කොම එකතු වුණොත් මොනවා හරි කරගන්ඩ පුලුවන් වෙයි කියලා කාණ්ඩෙම හිතපු නිසා
දවස් 3ක් විතර  විරෝධතා පැවැත්වුවා. නමුත් කිසිවෙකුටත් කිසිම විරෝධයක් දැක්වූවේ නැත්තේ බයට. කවුරු හරි අදහසක් දාලා තියෙනවා රජයට වත් ජනාධිපතිතුමාටවත් කිසිම දෙයක් කියන්ඩ එපා අපේ වැරැද්ද බාර ගනිමු , එහෙම කරලා කොහොම හරි මෙයාලව බේරගමු කියලා. සේරම පණිවිඩ යැදීම් ,පාඨ බෝඩ් වලට ලියාගෙන ඇවිත්
අල්ලගෙන ඉන්නවා. ඇස් වල කදුලු බේරෙනවා.
ගොඩක් කාන්තාවෝ තරුණ මැදි වයසේ අය. මනුස්සයා හිරේ ගියාට පස්සේ  මිනිස්සු බේරගන්ඩ සිද්ධ වෙච්ච එක යි රස්තියාදු වෙන්ඩ වුණ එකයි, අතේ සල්ලි නැති එකයි , කීයක් කරදර ද? සමහර අයට ළමයි දාලා එන්ඩ තැනක් නෑ. ඒ නිසා ළමයින්වත් අරගෙන එනවා. එහෙම එද්දී අතේ ටිකක් වැඩියෙන් සල්ලිත් ඕන වෙනවා. සමහර අය ණය වෙලා, තමන්ගේ නෑදෑයින්ගෙන් ,අසල්වැසියන්ගෙන් ඉල්ලගෙන එනවා. හලාවත අක්කා කෙනෙක් කිව්වා ”මටදරැවෝ තන්දෙනෙක් ඉන්නවා. සහෝදරයන්ගෙන්ඉල්ලගෙන පහුගිය ටිකේ කෑවේ. දැන් මම පාන්දර 4ට වැල්ලට යනවාදැල් මාළුබේරන්ඩ. ඒ යද්දී මේ දරුපැටව් තනියම ගෙදර. අපි මොකද කරන්නේ., දුවට මේ තිකේම උණ , ඒ තියෙද්දී මම දරුවව දාලා පාන්දරවැල්ලට යනවා. ඒකයි අපි ජනාධිපතිතුමාගෙන් වැදලා ඉල්ලන්නේ අපේ  මහත්තුරුන්වඉක්මණට ගෙනත් බේරලා දෙන්ඩ කියලා”” මේ සේරම ආදෝනා  කිව්වේ මාධ්‍ය එක්ක විතරයි.
බෝට්ටුවේ ඩ්‍රයිවර්ට එක විදහකටයි ගිය අයට එක විදිහකටයි නීතිය දැඩි කරලා. සමහරුන් ඉක්මණට ඇප ගත්තා. තවත් සමහරු තාම හිරේ. ඇපේ  දරන්ඩ බැරි තරම් වැඩි කරලා.
හැම නඩු දිනයකට කලින්දාට දීපා අක්කා කෝල්කරනවා. එයා ඉන්නේ තොඩුවාවේ. එයාගේ මහත්තයා තාම නිදහස් වුණේ නෑ. දවසක් අහනවා නංගි විමල් වීරවංස ඇමතිතුමාව හම්භවෙන්ඩ යන්ඩ කියලා සමහරු කියනවා. එයා මේ ගැන පාර්ලිමේන්තුවේදී අහන්ඩ පුලුවන්. එයාව හම්භවෙන්නේ කොහොමද ? ගෙදර තියෙන්නේ කොහෙ ද කියලා. ආයේ දවසකට අහනවා නංගි ජනාධිපතිතුමා විශේෂ සමාවක් දෙනවා කියලා රේඩියෝ එකේ ගියා ඇත්තද කියලා.

දීපා අක්කා ගිය සතියේ කතා කළා. කිව්වා නඩු දිනයක් 24 තියෙනවා.මීගමු එනවා කියලා.
හිටි හැටි‍ෙය් අද කතා කළා. අනේ නංගියේ අපිට පොඩි කරදරයක් වුණා.මම ඇහැව්වා මොකක් ද අක්කේ කියලා.
‘’ නංගි මට ලොකු දුවෙකුයි පොඩි පුතෙකුයි ඉන්නවා. අපි ඉන්නේ ලෑලි ගහපු ගෙදරක. මම පාන්දර 4ට විතර ලග තියෙන හෝටලයක කුස්සියේ රස්සාවට යනවා. දුවගෙත් දීගේ ඇරිලා ඇවිත් මා ලග ඉන්නේ. ටික දොහක ඉදන් දුව ගැන අයුතු විදිහට හිතලා  වටේ පිටේ මිනිස්සු වගයක් අපිට කරදර කරනවා. ඊයේ පාන්දර මම වැඩට ගියාට පස්සේ
ඒ මිනිස්සු ඇවිත් ගෙදර කඩලා ජනෙල් වලින්අතදාලා ළමයිට කරදර කරන්ඩ හදලා. පස්සේ දුව එළියට ඇවිත් කෑ ගහලාතියෙනවා. ඒත් වටේ පිටේ කවුරැවත් ඇවිත් නෑ. නිකම් මේක ප්ලෑන් කරලා කෙරැවා වගේ. අපි එතනින් පිටවෙලා ඇවිත් දැන් පන්සලක ඉන්නේ. අපේ මනුස්සයා නැතිව තවත් අපිට එතනඉන්ඩ බෑනේ. ඒ හරියේ ඉන්නවා අරක්කු විකුණන ,කුඩු විකුණන මිනිස්සු වගයක්. අපිට ඇසිඩ් ගහනවා කිව්වා දුවව දුන්නේ නැත්නම්.
දැන් මම මොකද කරන්නේ. මට මේ කතාව මාධ්‍ය මගින් හරි කියලා අපිට මොකක් හරි පිළිසරණක් අරන් දෙන්ඩ පුළුවන් ද?” ඇය තවත් කියාගෙන ගියා. මම හිතන් ඉන්නේ ළමයි දෙන්නවත් නඩු දිනේ දවසට අරන් ඇවිත් නඩුකාර තුමාට ලියුමක් ලියාලා මගේ අසරණකම ගැන ඉල්ලීමක් කරන්ඩ අපිට සහනයක් දෙන්ඩ කියලා”

දීපා අක්කා ගැන මහත් ආඩම්බරයක් ඇති වුණත් ඇය විදින දුකගැන හිතන විට  සමාජය ගැන සිතෙන්නේ පිළිකුලකි.
ජීවත් වෙන්නට බැරි තත්ත්වයකට මේ රටේ ධීවරයින් පත්ව තිබෙන අතර ඔවුන්ට ඒ වෙනුවෙන් තම දිවි පරදුවට තබා හෝ ඕස්ට්‍රේලියාව බලා යාමට සිදුව ඇත. දැන් සියල්ල වෙනස් වී ඔවුන්ට හිරබත් කන්නට සිදුවී ඇත.  ඔවුන්ගේ අඹුදරුවන්ට තම ගමේ සල්ලාලයින්ගෙන් බේරෙන්නට බැරිව පන්සල් සොයා යාමට සිදුව ඇත. මතට තිත කිවාට ගමේ කසිප්පු,කුඩු මුදලාලිලා  එහෙම පිටින් ජාවාරම් රජ කරවති. මේවාවිසදන්නට  මොනසේනාවක් වත් නැත.
රට දියුණු කරවන්නට තෙල් මිල වැඩිකරනවා කිවාට එයින් දුප්පත්  පන්තියේ මිනිසුන්ගේ ජීවිතාව නැත්තටම නැතිව ගොස් ඔවුන් ශුන්‍ය මිනිසුන් බවට පත්වී ඇත.
දීපා අක්කා හෙට මීගමුව උසාවියට එන්නේ පන්සලේ සිටය. ඔහුගේ පුතාට දැන් පාසලක්
නැත.  දුවව නැවත්වීමට තැනක් සෙව්වාට තවමත් පිළිසරණක් නැත. ඇප මදල් කෙසේ හෝ සොයාගන්නවා යැයි ඇය   සිතාගෙන සිටියි. නමුත් සී.අයිඩී එකෙන් වාර්තාව සකස්වන තුරු නඩුව ඇසෙන්නේ නැත. හැමදාම කල් යයි. අනිද්දාට මොනවා සිදුවේද?