දුම්රිය වර්ජනයෙන් කොළඹට යන මීගමුවේ ජනතාවට දැඩි අසීරුතා

0
145

 

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන දුම්රිය වර්ජනය හේතුවෙන් අද (10/07/2024) උදෑසනදී කොළඹ ප්‍රදේශයේ රාජකාරී සඳහා දුම්රියෙන් ගමන් කරන මගීන් දැඩි අපහසුතාවයකට පත්වී තිබිණි. දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමය එකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසනදී මීගමුව දුම්රිය ස්ථානය හරහා කොළඹ බලා ධාවනය වන සියලුම කාර්යාලය දුම්රිය වල ගමන් වාර සියල්ලක්ම පාහේ අවලංගු වී තිබිණි.

මෙවැනි වාතාවරණයක් තුළ රජය විසින් ප්‍රකාශයට පත් කර තිබුණේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මඟීන් සඳහා ලංගම බස් රථ මගින් සිය ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි.

සතියේ වැඩ කරන දිනවල දහස් ගනනින් යුත් විශාල මඟීන් පිරිසක් දුම්රියෙන් කොළඹ බලා පිටත් වේ. මේ අනුව අද උදෑසන ද කාර්යාලීය දුම්රිය ධාවනය නොවන වාතාවරණයක දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි අති විශාල පිරිසක් මීගමුව බස් නැවතුම්පොළට පැමිණ සිටිනු දක්නට ලැබිණි. එහෙත් එම පිරිසට කොළඹ බලා යෑමට ලංගම බස් රථ එකක් දෙකක් හැරෙන්නට මීගමුවේ බස් නැවතුම්පොලේ අවශ්‍ය ප්‍රමාණයට බස් රථ යොදවා නොතිබිණි. සාමාන්‍යයෙන් කොළඹ ප්‍රදේශයේ කාර්යාලීය රැකියා සඳහා යන බොහෝ දෙනෙක් පිටත්ව යන්නේ පෙරවරු 6.00 ත් 7.00 ත් අතරතුර කාලයේදීය. එහෙත් අද පෙරවරු 6.00 සිට 7.00 දක්වා කාලය තුළ කොළඹ බලා යාමට ප්‍රමාණවත් ලෙස ලංගම බස් රථ නොතිබූ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි අති විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට හා දුෂ්කරතාවයන්ට ලක්වී ඇති ආකාරය දැක ගැනීමට හැකි විය . බොහෝ පිරිස් දුම්රිය වැඩ වර්ජනය දියත් කළ ස්ථානාධිපතිවරුන්ටත් පාලකවරුන්ටත් දෝෂාරෝපණය කරමින් රජයට ද මැසිවිලි නගන්නට වුහ.
මේ අනුව බොහෝ පිරිස් කොළඹ බලා පිටත් වූයේ, පෞද්ගලික බස් රථවලිනි.

මේ ඡායාරූපවලින් දිස්වන්නේ අද උදෑසන 6.00 සිට 6.30 දක්වා කාලය තුළ මීගමු බස්නැවතුම් පොළේ ලංගම බස් නවතා තැබෙන බස් පෝලිමේ කොළඹ බස් රථ නොමැතිව පාළු ස්වභාවයකින් පැවැති ආකාරයයි.