දුම්රිය හරස් මාර්ග වල මරුවා සැඟවී ඇත , ප්‍රවේශම් වන්න

0
144

railway crosing

ඊයේ (2020/02/18) මීගමුව ගල්කන්ද හන්දියේ දුම්රිය හරස් මාර්ගයේ සිට මීටර් 200ක් පමණ දුරින් අගරදගුරු නිකලස් මාකස් මාවතට සමාන්තරව 22,1/4 කනුව අසල 55ත් 65 ත් අතර වයසැති පුද්ගලයකු මිය ගොස් තිබුනු බව වාර්තා විය. මෙම මියගිය පුද්ගලයාගේ හිස මුළුමනින්ම බිඳී ගොස් තිබුනු අතර දෙඅත් සහ පාදවලටද දැඩිලෙස තුවාල සිදුවී ඇත .
මීගමුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිතුමා විසින් මෙදින මෙසේ ඉහතකී ස්ථානයේ මෘත දේහයක් තිබෙන බවට දුරකතනයෙන් දැනුම් දුන් පසු මීගමුව පොලීසිය එම ස්ථානයේදී විමර්ශන කටයුතු සිදු කරමින් මෘත දේහය ඉවත්කර ගත් අතර පොලිස් පරීක්ෂණ නිසා සුළු වේලාවක් මෙම මෘත දේහය දුම්රිය පාරේ තිබුනු බව මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කළ පො .සැ. නිශාන්ත මහතා (21862) අප සමඟ පැවසීය . මීගමුව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො. ප. ජයනාත් මහතාගේ මගපෙන්වීම මත පරීක්ෂණ කටයුතු සිදුවූ අතර මේවනවිට මෘත ශරීරය මීගමුව රෝහලේ මෘතශරීරාගාරයේ හඳුනා ගැනීම සඳහා තබා ඇත .
හලාවත සිට කොළඹ බලා ධාවනය වූ (අංක 3800 ) මන්දගාමී දුම්රියේ හෝ කොළඹ සිට පුත්තලම බලා ධාවනය වූ ( අංක 3404) දුම්රියේ මොහු අනතුරට ලක්වන්නට ඇතැයි මීගමුව පොලීසිය සැක කරයි . එසේම ඔහු ඇඳ සිටියේ දුඹුරු පැහැගත් හරස් ඉරි සහිත සරමක් සහ කළු කමිසයක් බවත් , පොලීසිය සඳහන් කරයි . එමෙන්ම ප්‍රදේශවාසීන් මොහු යාචකයෙකු බවද පෙන්වා දී ඇත .
නිතර නිතර දුම්රිය හරස් මාර්ග වල මෙවැනි අනතුරු සිදුවීම සම්බන්ධව වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතුව ඇත .