“දේදුන්න” නැරඹීමට අවස්ථාවක්

0
72

මෙරට සිනමා ලෝලීන්ට විශිෂ්ට ලෝක සිනමා කෘති නැරඹීමේ සුවිශේෂි අවස්ථාවක් දැන් උදා වී ඇත. ෆිල්ම් අයිලන්ඩ් සහ මූවි වර්ක්ස් සමඟින් එක්ව දියත් කෙරෙන මෙම වැඩපිළිවෙළ යටතේ ජාත්‍යන්තරයේ සම්මානීය වූ සිනමා කෘති දේශීය සිනමා ශාලාවලදී තිරගත කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ලිබර්ටි ලයිට් – කොල්ලුපිටිය, ඇමටි ලයිට් – මහරගම, ස්කයි ලයිට් – මාතර සහ විස්ටා ලයිට් – ජාඇල සිනමා ශාලාවලදී මෙම සිනමා අත්දැකීම අත්විඳීය හැකි වේ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරු දෙපළක් වන ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර ෆිල්ම් අයිලන්ඩ් වෙනුවෙන් මෙම කාර්ය වෙනුවෙන් උර දෙති.

මෙම සිනමා අත්දැකීමේ ප්‍රථම පියවර ලෙසින් මේ මස 17 වැනිදා සිට ච්ඩචදචඬ(ධනක් – දේදුන්න) හින්දි චිත්‍රපටය තිරගත කෙරේ. ධනක් 2015 වසරේ 65 වැනි ජාත්‍යන්තර බර්ලින් චිත්‍රපට උලෙළේදී හොඳම ළමා චිත්‍රපටයට හිමි ක්‍රිස්ටල් බෙයා සම්මානයෙන් පිදුම් ලැබූ අතර මොන්ට්‍රියල් ජාත්‍යන්තර ළමා චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය ලෙසින්ද පිදුම් ලැබීය.

කුඩා කලම දෙමාපියන් අහිමි වුණු දස වියැති දැරිවියක වන පාරි සහ ඇගේ බාල සොහොයුරා වන අට වියැති චෝටු රාජස්ථානයේ වැලි කඳු අතර පිහිටි කුඩා නිවසක සිය මාමා සහ නැන්දා සමඟ වාසය කරති. අන්ධ දරුවකු වුවත් චෝටු සම වයස් දරුවන්ට වඩා මේරූ සැම විටම සතුටින් සිටින්නෙකි. පාරි සම විටම ඔහුගේ ගුරුවරිය සේම හොඳම යෙහෙළියයි. පාරිගේ ලෝකයම සිය සොයුරා වෙයි. තම සොයුරාගේ වයස අවුරුදු නවය වන විට ඔහුට පෙනීම ලබා දෙන බවට පාරි පොරොන්දු වී සිටින්නීය. චෝටු ද සැම විටම සිය සොයුරිය විශ්වාස කර සිටියි.

අසල ගමකට චිත්‍රපටයක් බැලීමට ගිය අතරතුර පාරිට සුපිරි තරු ශාරුක් ඛාන් ඇස් දන් දීම වෙනුවෙන් කළ දැන්වීමක් දකියි. තම සුපිරි තරුව සිය සොයුරාට දෑස් ලබා ගැනීම සඳහා ද උපකාර කරන බවට විශ්වාස කරන පාරි ශාරුක්ට ලියුමක් ලියමින් කියා සිටින්නේ චෝටුගේ නව වන උපන් දිනය තව දෙමසකින් උදාවන අතර ඊට පෙර ඔහුට ඉක්මනින් දෑස් ලබාගැනීමට උපකාර කරන ලෙසයි. ලිපියට ප්‍රතිචාර නොලැබෙන මුත්, පාරි එයින් අධෛර්යමත් නොවන්නීය. ඇය සෑම දිනකම ශාරුක් ගෙන් උදවු ඉල්ලා ලිපි ලියන්නීය.

මේ අතර එක දිනක්, පාරිට දැන ගන්න ලැබෙන්නේ ශාරුක් තමා සිටින ගම්මානයට කි.මී. 300 ක් පමණ දුරින් (අති විශාල දුරක් වුවද, උතුරු කෙලවරේ සිට දකුණු කෙළවරට කි.මී. 2,500 ක පමණ දුරක් ඇති ඉන්දියාවේ දී මෙය සාපේක්ෂව ‘ළඟ’ ලෙස සැලකිය හැකිය) පිහිටි ස්ථානයක රූගත කිරීම් කරන බවයි. පෞද්ගලිකවම ශාරුක්ව මුණ ගැසීමට ඉටා ගන්නා පාරි මැදියම් රැයේම සිය සොයුරාද සමඟ නිවසින් පැන යන්නේ ශාරුක් මුණ ගැසීමටයි. සිය ගමනේදී නොයෙක් විධ චරිත මේ දෙදෙනාට මුණ ගැසෙයි.

ළමා වයසේ අහිංසකත්වය සහ විචිත්‍රත්වය රැගත් අපූර්ව ගමනකින් සමන්විත මෙම කතා පුවත ‘ධනක්’ (දේදුන්න) නමින් මේ මස 17 වැනිදා සිට මෙරටදී ද තිරගත වීමට නියමිතය. වෘත්තියෙන් රසායන ඉංජිනේරුවරයෙකු වන නාගේෂ් කුකුනූර් මෙම චිත්‍රපටයේ තිර රචක සහ අධ්‍යක්ෂවරයා වෙයි. 1998 දී සිය පළමු නිර්මාණය වන ‘හයිද්‍රාබාද් බ්ලූස්’ චිත්‍රපටයෙන් ‘අඩු පිරිවැය’ චිත්‍රපට ක්ෂේත්‍රයේ නමක් තැබූ නාගේෂ් රොක්ෆෝල්ඩ්, ඉක්බාල්, දෝර්, ලක්ෂ්මි සහ ආශයීන් යන චිත්‍රපට වලින් සිනමා ක්ෂේත්‍රයේ තවත් ඉදිරියට පැමිණි අධ්‍යක්ෂකවරයෙකි.

ළමා රංගන ශිල්පීන් වන ක්‍රිෂ් චබ්රිබයා චෝටුගේ චරිතයටත්, හේතල් ගාදා පාරිගේ චරිතයටත් පණ පොවන මෙම චිත්‍රපටයේ විපින් ශර්මා, ගුල්ෆාම් ඛාන්, බැහැරි අක්රෙකාර්, ෆ්ලෝරා සිනි ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. මෙය මනීෂ් මුන්ද්‍රා සහ එලාහ් හිප්ටූලා ප්‍රමුඛ ‘දෘෂ්‍යම් ෆිල්ම්ස්’ නිමැවුමකි. විපින් බාබි සහ බොබී ජෝන් සංගීතවත් කර ඇත. විනාඩි 106 ක ධාවන කාලයකින් යුක්ත වන ධනක් ලොස් ඇන්ජලීස් සහ ටොරෙන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවලද තිරගත වී ඇත.