‘‘දේපොළ රාජසන්තක කළත් මහින්ද එක්ක තරග කිරීම ස්ථිරයි.! ‘‘ කුරුණෑගල පුංචි මන්ත්‍රිවරු කියති.

0
288

ps_press12-1024x682තමන් සතු දේපොළ රාජසන්තක කළද ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන නව පෙරමුණෙන් තරග කිරීමට තීරණය කර ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පළාත් පාලන මන්ත්‍රිවරුන් පිරිසක් අද (25 දා )ප්‍රකාශ කළහ.

හිටපු මන්ත්‍රිවරුන් මෙලෙස ප්‍රකාශ කළේ අද දහවල් කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරුන්, උප සභාපතිවරුන් සහ මන්ත්‍රිවරුන් ඇතුළු පනහකට අධික පිරිසක් එක් වී සිටියහ.

එහිදී අදහස් දැක් වූ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා මෙසේ පැවැසීය.

‘‘එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් බිහිවෙන නව පෙරමුණකින් තරග කරන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රිවරු සියලුදෙනාම මේ වෙනකොට තීරණය කරලා තියෙනවා. ඒකට හේතුව තමයි ගම්වල ඉන්න ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෝ අපිට තරයේ කියනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තරග නොකර මහින්ද මහත්තයා එක්ක වෙනම ඡන්දය ඉල්ලන්න කියලා අපිට කියනවා.
ගමේ මිනිහට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගැන අද කිසිම විශ්වාසයක් නෑ. ඔවුන් පක්ෂය ගැන දැඩි කලකිරීමකින් ඉන්නේ. ඒ නිසයි ඔවුන් අපිට කියන්නේ වෙනම පක්ෂයකින් ඡන්දෙට එන්න කියලා. ඒ ජනතා මතයට පිටුපාන්න අපිට හැකියාවක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා හැකි ඉක්මනට පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා. අපි මැතිවරණ කොමසාරිස්ගෙන් අහනවා මොන හේතුවකටද මේ මැතිවරණය කල්දාන්නේ කියලා. මැතිවරණ කොමසාරිස්ට පළාත් පාලන ඇමැති හරි වෙන කාගෙන් හරි බලපෑමක් තියෙනවාද කියලා අපි අහනවා. ’’ යැයි පැවසීය.

එහිදී අදහස් දැක් වූ පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලිවේරා ගුණතිලක මහතා මෙසේ පැවසීය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පංච මහා බලවේගය එකතුවෙලා හැදිච්ච පක්ෂයක් විදිහටයි තිබුණේ. නමුත් අද වෙනකොට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෛරය, ක්‍රෝධය, ඊරිසියාව, පළිගැනීම පිරිච්ච පක්ෂයක් බවට පත්වෙලා තියෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කීවේ කොහොමද? නහි වේරේන වේරානි කියලයි. නමුත් අද මේකේ පළිගැනීම් වැහි වැහැලා. ඒ නිසා අපේ මහලේකම් දුමින්ද දිසානායක ඇමැතිතුමාට අපි කියනවා ඔබතුමා ඕන විනය පරීක්ෂණයක් තියාගන්න. අපේ දේපොළ රාජසන්තක කෙරුවත් අපි ඉදිරියේදී මහින්ද මහත්තයාත් එක්ක තරග කරන එක කරනවාමයි. මේ ගමන නවත්වන්නේ නැතිව ඉදිරියටම යන්න මුඵ ලංකාවේම ඉන්න පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත‍්‍රීවරු සූදානම් වෙලා ඉන්නවා. අපිව අවතක්සේරු කරන මැති ඇමැතිවරුන්ට මම කියන්න කැමැතියි ඔබලා ඊළග මැතිවරණයට තරග කරන්න එනකොට දියවන්නාවට වැදලා එන්න. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ එක ඇමැති කෙනෙකුටවත් ආයේ පාර්ලිමේන්තු යන්න නම් අපි ඉඩ තියන්නේ නෑ. මොකද මහින්ද මහත්තයාගේ කරේ එල්ලිලා ඡන්දේ අරගෙන ඉවරවෙලා ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන්ටම කොකා පෙන්නුවෙත් ඔය ඇමැතිවරුම නිසා.’’

කොබෙයිගනේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ධම්මික හෙට්ටිආරච්චි, පොල්පිතිගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් විජේනායක, නාරම්මල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඞී. එම්. සුමනසිරි, උඩුබද්දාව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රාජ් සිසිර කුමාර, කුරුණෑගල නාගරික මන්ත්‍ර්වරුන් වන තුෂාර සංජීව සහ අබ්දුල් සත්තාර් යන මහත්වරුන් ඇතුලු පිරිසක්ද මෙහිදී අදහස් දැක් වූහ.

කෙසේ නමුත් මෙම මාධ්‍ය හමුව සදහා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් කිහිපදෙනෙකු සහභාගී වී නොසිටීම කැපී පෙණුනු අතර කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පැට්‍රික් කරුණාසිංහ, මාවතගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උපුල් පෙරේරා, රිදීගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිනි කුමාරි පල්ලේමුල්ල, පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එමල් ප්‍රියන්ත, වාරියපොල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ජයලත්, අලව්ව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බණ්ඩාර වෑත්තෑව යන මහත්ම මහත්මීන් ඇතුඵ පිරිසක් ඒ අතර වූහ.

wayambatoday.com