දේශපාලකයින්ට සල්ලි ! ජනතාවට ඩෙංගු ! පුවක් වත්තේ කානු ව්‍යාපෘතිය !

0
622

kanu issue 2

මීගමුව  දළුපත  කොට්ටාශයට  අයත්  පුවක්  වත්ත  නමින්  හදුන්වන  ප්‍රදේශය   කොළඹ  හලාවත  පාරත්,  දෙපාඇල  නමින්  හඳුන්වන  ඇලත්  අතරමැද  පිහිටි  බිම් තීරුවකි.  කොළඹ  හලාවතපාරේ  සිට   පුවක්වත්ත  ප්‍රදේශයට  ඇතුල්වන කොන්ක්‍රීට්  දමා  සකසා  ඇති  පාරවල්  දෙකකි.  කොළඹ  හලාවත  පාරේ  සිට  ජලය  බැස  යාමට  ඇති  කානුවෙහි   ජලය  පුවක් වත්තේ  ඇති  මෙම  කොන්ක්‍රීට්   පාරවල්  දෙක  යටින්  ගලාගෙන   ගොස්  දෙපාඇලට  වැටෙනසේ   කානු   සකස්  කර  ඇත. නමුත්  මෙම  කානු දෙකෙන්ම  ගලාගෙන  යන   ජලය  නිසි  පරිදි  දෙපාඇලට  නොවැටී  අතරමැද  නතරවන  අතර  මෙය  මේ  ප්‍රෙද්ශවාසීන්ට   පීඩාකාරී  ගැටළුවක්  වී  ඇත.  එසේම  නිතර  එකතුවන  මෙම  අපිරිසිදු  ජලයේ  මදුරු  කීටයින්  විශාල  ප්‍රමාණයකට  වාසභූමියක්  ලෙස  පවතී.  පාර පුරා  විසිරී  ඇති  මෙම  ජලයේ  විවිධ  අපද්‍රව්‍ය  මුසුවී  ඇති අතර  පාරේ  ගමන්  කරන  අය මෙම  අපද්‍රව්‍ය  සහිත  වතුර  දෙපයින්  මැඩගෙන  යායුතුය. මෙම   කානුවලින්  එකක  ජලය   එක්  නිවසක්  අසලින්  ගොස්  දෙපා  ඇලට  වැටේ.   මෙම  නිවෙස  අයිති  මොහොමඩ්  මහතා  මේ  ගැන  අදහස්  පළකළේ  මෙසේය.

අවුරුදු  ගනනාවක්  තිස්සේ   අපි  මේ  කුනු  වතුර  එක්ක  හැප්පෙනව.  වැස්ස  දවස්වලදි  අපේ  ගේ  මැද්දෙන්  තමයි  මේ  වතුර  යන්නෙ. එක දිගට  වහින  දවස්වලදි  නිතර  මේ  ප්‍රශ්ණෙට  මුහුණ  දෙනව.   කානු  හරි  විදිහට  දාල  නැති  නිසයි  මෙහෙම  වෙන්නෙ.  දෙපා ඇල  තියෙන්නෙත්  අපේ  ගේ  පිටිපස්සෙ.

මේ  පිළිබඳව   විසඳුමක්  පතා  දැඩි  වෙහෙසකින්  කටයුතු  කරන  ෂෙහාන්  තම  අත්දැකීම  විස්තර  කළේ  මෙසේය.

මෙම  කානු  ව්‍යාපෘතිය  සල්ලි  හම්බකරගන්න  කරපු  දෙයක්  මිසක්  වැඩේ  හරි  විදිහට  කරපු  එකක්  නෙවෙයි.  මේකට  සම්බන්ධ  හැම  කෙනෙක්ම   සල්ලි  ගසාකෑම  කරා  මිසක්  හරි  විදිහට  කානු පද්ධතිය  හදන්නට  ඒ අයට  වුවමනාවක්  තිබුනෙනෑ. අපි  අවුරුදු  ගනනාවක්  තිස්සේ  මේ  නිසා  දුක්  විඳිනව.  මේ  ගැන  කියන්න  ඕන  හැමදෙනෙකුටම කියල  තියෙන්නෙ.  විශේෂයෙන්  මීගමුව  මහ  නගර සභාවට කීප වතාවක්ම  කිව්ව.  නගරාධිපති දයාන්  ලන්සා  හමුවි  මේ  ගැන  කියල  තියෙන්නෙ. පරිස්  මහත්තයට  කිව්ව.  පී.  එච්.  අයි.  මහත්වරුන්ට  කිව්ව.  .ඒ  අයට    ලිඛිතව  කරුණු  ඉදිරිපත්  කළා. .වසර  ගනනාවක්    පහුවුනා.  එක  නිලධාරියෙක්  වත්  මේ  පැත්ත පළාතෙකවත්  ආවෙ  නෑ.  මදුරු  කීටයො  බෝවුනා  වගේම  හැම  ගෙදරකටම   ඩෙංගු  රෝගය  වැලඳුනා.

පුවක් වත්ත  ගමට  විශේෂ වූ  ගංවතුර  ප්‍රශ්ණය  නිසා  මතුවූ  ගැටළු  කිහිපයක්  අප  සමඟ  මීට  පෙරද  මෙම ප්‍රදේශවාසීන්   සාකච්ඡා  කර  ඇත.  දෙපා  ඇල  පටු  කරමින්  ගල් වැටි  බැඳීමත්,   ඇල  දෙපස ඇති තාප්ප පුපුරා ඇති අතර  දමා  ඇති  කුඩා  පාලම  යට  ඇල   හාරා  ගැඹුරු  නොකිරීම  වැනි  ගැටළු  මේ  අතර  ප්‍රධාන වේ.මෙම  තත්වය  ගැන  අදහස්  දක්වන සමහර  අයගේ අදහස  වූයේ  අදාල  වගකිව යුත්තන්  මෙම  ගමේ  පවතින  කානු  ප්‍රශ්ණයට  මැදිහත්  නොවන්නේ   කරනලද   ව්‍යාපෘතියෙන්  ඊට  සම්බන්ධවූ   සියළුදෙනාම   මුදල්  ගසාකෑ  නමුත්  විශාල  වියදමක්  දරා  කරන ලද  මෙකී  ව්‍යාපෘතිය  සම්පූර්ණ  කිරීමට  ඔවුන්ට  නොහැකීවූ   නිසා  බවයි.

දේශපාලනයට  පිවිසෙන  බහුතරයක්  එය  යොදාගන්නේ මුදල්  හම්බකිරීමේ  පරම  චේතනාවෙන්  මිස  රටට  හෝ  සමාජයට  යම්  සේවාවක්  සැපයීමේ  වුවමනාවෙන්  නොවන  බව  ඉතිහාසය  විසින්  අපට  කියාදී  ඇති  පාඩමයි.  පාපැදියෙන්   ගමන  ඇරඹූ   සමහර  දේශපාලකයින්  කෙටි  කාලයක්  තුළ  සුඛෝපභෝගී  වාහනයක  ගමන්කිරීම  සාමාන්‍ය  තත්වයයි.  නාගරික  මන්ත්‍රීවරයෙකුට  ලැබෙන  වැටුප  අවම  මට්ටමක   තිබෙන  නමුත්  හැදෙන  පාලම්  ,  බෝක්කු  වලට  අනුව  ඔහුගේ  සාක්කු  පුරවා  ගැනීමේ  ඉඩකඩ  ලබාදී  ඇත. ඒ නිසාම  ඔවුන්  ජනතා  ප්‍රශ්ණවලදී  ඊට  මැදිහත්වන්නේ  එහි  පවතින   කොමිස්  හෝ  වෙනත්  එවැනි  වාසි  දෙස  බලාගෙනය.සමහර  ඇලවල්,  කානු  සුද්ධ  වන්නේ  හෝ  නොවන්නේ   එකී  ක්‍රමවේදයට  අනුවය.  පුවක්වත්ත  ප්‍රදේශයේ  මතුවී  ඇති  ප්‍රශ්ණ  සඳහා  විසඳුම්  ලබාදීමට   වගකිවයුත්තන්ගේ  මැදිහත්වීම  සිදුනොවන්නේද  මෙම  හේතුව  නිසාදැයි  යන්න  ජනතාව  අතර  පවතින එක්  අදහසකි. නමුත්  මෙවැනි  ප්‍රශ්ණ  වලදී  ඒවා  ජයගත හැක්කේ   ඒවෙනුවෙන්  කරන  අරගලය  තුළිනි.   ඒනිසා   මේ  සඳහා  තම  අවශ්‍යතාවය  වෙනු‍වෙන්    මෙතෙක්  කරගෙන යන  සියළු  කටයුතු  දිගටම  කරගෙන  යන  ලෙස  අපි  පුවක්වත්ත  ප්‍රදේශවාසීන්ගෙන්   ඉල්ලා  සිටිමු.