දොඩංගොඩට Continental රක්ෂණයත් අරියාදු කරලා

0
42

හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දිනේෂ් ඩී. දොඩංගොඩ මහතාට පසුගිය අගෝස්තු 24 වැනිදා සිදුකර ඇති දරුණු පහරදීම වූ අවස්ථාවේ ඔහු පැදවූ GH 2898 දරණ BMW මෝටර් රථයට සිදුව තිබූ අලාභය ගෙවීම Continental රක්ෂණ සමාගම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

එම රක්ෂණ වන්දිය ගෙවීම අදාළ ආයතනය ප්‍රතික්ෂේප කර ඇත්තේ මොටර් රථයට යම් අනතුරක් සිදුවූයේ නම් එය සිදුව දින 5ක් ඇතුළත රක්ෂණ සමාගමට දැනුම් දිය යුතුය යන කොන්දේසිය දොඩංගොඩ මහතා විසින් කඩකර ඇති බව පවසමිනි.

අදාළ තත්ත්වය හේතුවෙන් එම මෝටර් රථයට රුපියල් 250,000ක පමණ අලාභයක් සිදුව ඇති බව තක්සේරු කර තිබේ.

මේ පහරදීමේ සිද්ධියෙන් තැතිගැන්මට පත් ඒ මහතා සිය නිවසට යන විට ඔහු පැදවූ මෝටර් රථයේ රෝදවල හුළං පවා නොතිබුණු බව පැවසේ.

පහරදීම හේතුවෙන් ඒ මහතා අගෝස්තු 24 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කර තිබූ අතර පසුව ඔහු ජාතික රෝහලට මාරුකර යවා තිබිණි.

කෙසේවුවද ඔහු රෝහලින් නිවසට පැමිණ තිබුණේ පසුගිය සැප්තැම්බර් 9 වැනිදාය.

එසේ රෝහලින් නිවසට පැමිණීමෙන් පසුව දොඩංගොඩ මහතා පැදවූ මෝටර් රථයේ රක්ෂණ වන්දි ලබාගැනීමට රක්ෂණ සමාගමට දැනුම් දී ඇත්තේ ඉකුත් සැප්තැම්බර් 13 වැනිදාය.

ඒ මහතාට මේ සිද්ධිය රක්ෂණ සමාගමට දැන්වීමට නොහැකිව ඇත්තේ ඔහු දින කිහිපයක් රෝහලේ සිහිසුන්ව සිටීම හා ඔහුට ශෛල්‍යකර්ම දෙකක් සිදු කිරීම නිසා වෛද්‍යවරුන් මසක කාලයක් ඇඳෙන් නොබසින ලෙසට ලබාදී තිබූ වෛද්‍ය උපදෙස් නිසා බව පැවසේ.

මේ සම්බන්ධ සම්පූර්ණ ලිඛිත සාක්ෂි සහිත ලිපිගොනුවක් Continental රක්ෂණ සමාගම වෙත දොඩංගොඩ මහතා විසින් ලබා දී ඇතත් පෙර කී කොන්දේසිය දමමින් එම රක්ෂණ සමාගම මේ වන්දිය ගෙවීම පැහැර හැර තිබිණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් Continental රක්ෂණ සමාගමේ රක්ෂණ නිලධාරියකු වන ශම්මික මහතාට දුරකථනයෙන් විමසා සිටි අතර අදාළ රක්ෂණ වන්දිය ගෙවීම සිය සමාගම ප්‍රතික්ෂේප කර ඇති බව සත්‍යක් බව පැවසූ ඒ මහතා මේ ගැටලුව සම්බන්ධට තොරතුරු තුන්වන පාර්ශවයකට ලබාදීමට තමාට නොහැකි බවද කියා සිටියේය.

එසේම ඔහු අපගේ ප්‍රශ්නවලට පිළිතුරුදීමද නොහැකි බව දන්වා සිටියේය.

රක්ෂණ වන්දිය ඉල්ලා සිටින GH 2898 දරණ BMW මෝටර් රථය වෙනුවෙන් ඉකුත් වසර දෙකේදී Continental රක්ෂණ සමාගමෙන් පූර්ණ රක්ෂණ ලබා ගැනීමෙන් පසුව ඔවුන් විසින් එය තහවුරු කරමින් ලබා දී ඇති කාඩ් පත් පහත දැක්වේ.