ධිවර සංවර්ධන සැලසුම් කා සදහාද ?

0
600

ධීවර කර්මාන්තය හා සබැදි ඕනෑම සංවර්ධන සැලැස්මකදී අනිවාර්යෙන්ම අවදානය යොමු කළ යුතු කරුණු කීපයක් !

ධීවරයෝ කවුදැයි හදුනා ගැනීම;
කවුද මේ ධීවරයෝ?
මසුන් අල්ලා(මසුන් මැරීම) තම ජීවිකාව කරගත් මිනිසුන්ට අපි ධීවරයෝ යයි කියමු.
ශ්‍රී ලංකාවේ මේ වෘත්තීයේ නිරතවීමෙන් ආදායම් උපයා ගන්නා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සිටිති.
කාලයෙන් කාලයට මේ මසුන් ඇල්ලීමේ නිරතවන පුද්ගලයින්ට නිෂ්චිත අනන්‍යතාවයන් ලබා දීම සදහා “ධීවර හැදුනුම්පතක් ලබාදීමට ” කටයුතු කළත් එය නිසි පරිදි ක්‍රියාත්මක වූ බවක් දකින්නට නැත. මේ නිසාම ධීවර හැදුනුම්පත් ඇති සහ නැති ධීවරයෝ සිටිති.
ශ්‍රී ලංකාව තුළ අපට ධීවර ප්‍රජාව ප්‍රධාන කාණ්ඩායම් දෙකකට බෙදා හදුනා ගත හැක.

  1. මුහුදු ධීවරයෝ
  2. අභ්‍යන්තර ජලාශ ධීවරයෝ
    අභ්‍යන්තර ජලාශ ධීවරයින් අතරට කළපු ධීවරයෝ සහ මිරිදිය ජලාශ ධීවරයන් අයත් වෙන අතර මුහුදු ධීවරයෝ අපට ප්‍රධාන කොටස් හතරකට වෙන්කර හදුනා ගත හැක.
  3. සුළු පන්න ධීවරයෝ
  4. මාදැල් ධීවරයෝ
  5. මධ්‍යම ප්‍රමාණයේ ධීවරයෝ සහ
  6. බහුදින යාත්‍රා ධීවරයෝ.

සුළුපන්න ධීවරයෝ දවසේ නිෂ්චිත කාලයක් තුළ ධීවර වෘත්තීයේ නිරත වෙති. මුහුදේ නම් ඔවුන් වෙරළේ සිට සැතපුම් තුනක් හතක් අතර දුරකින් බඹ 10 – 20 අතර ගැඹුරු මුහුදේ මසුන් මැරීමේ නිරත වෙති.
මාදැල් ධීවරයෝ බොහෝවිට මාසික හෝ නිෂ්චිත කාලවකවානුවක් සදහා කුලී පදනම මත හෝ ලැබෙන අස්වැන්න මත ගෙවන පංගු ක්‍රමය මත ධීවර රැකියාවේ නිරත වෙත, වයඹ දිග සහ උතුරු නැගෙනහිර වෙරළ තීරයේ මාදැල් රැකියාව සිදුවන්නේ ව්‍යාපාරයක් ලෙසය. මාදැල් අයිතිය මුදලාලිලා සතුවන අතර ඔවුන් මාදැල් රැකියාව සදහා ධීවරයන් කුලියට ගනිති.

බටහිර වෙරළ තීරයේදී මාදැල් අයිති වන්නේ මුදලාලිලා ටය. එහෙත් ලැබෙන අස්වැන්න අනුව පංගු ගෙවීමක් කරයි. දැනට වසර 10 – 20 කට පෙර මාදැල් රැකියාව සදහා පාරුව සහ වල්ලම භාවිතා කළද දැන් ඒ සදහා කුඩා මෝටර් බෝට්ටු භාවිතා කරන මාදැල ගොඩට ඇදීමට ටැක්ටරය උපයෝගී කර ගනිති. මේ නිසා අතීතයේ 75 – 80 වැනි පිරිසක් සම්බන්ධ වූ මාදැල් රැකියාවට දැන් සම්බන්ධ වන්නේ 20 – 25 ක් වැනි පිරිසක් පමණි.
එසේම වර්තමානයේ මාදැල් රැකියාව සදහා ඉන්ධන භාවිතා කරන අතර ටැක්ටරය නඩත්තු කිරීමට වෙනම පිරිවැයක් දැරීමට සිදුවේ.

මධ්‍යම ප්‍රමාණයේ ධීවරයන් අවම වශයෙන්ම පැය 12 – 24 ක් තරම්වූ කාලයක් මුහුදේ ගත කරන අතර ඔවුන් ගොඩබිම නොපෙන දුරකින් මුහුදේ රැකියාව කරති.
බහුදින යාත්‍රා ධීවරයින් ගොඩ බිමේ සිට සැතපුම් සිය දහස් ගනනක් දවස් හතරක් පහක් පමණ කාලයක් තිස්සේ ඈත මුහුදට යාත්‍රාව පදවා ගෙන යන අතර අවම වශයෙන්ම දින 30 – 45 අතර කාලයක් මුහුදේ රැකියාව කරති.
මීට අමතරව විවිධ ආම්පන්න භාවිතා කරමින් වෙරළාසන්නයේ සහ කළපුවේ / අභ්‍යන්තර ජලාශ වල මසුන් මැරීමේ නිරත වන ධීවරයෝ සිටිති.
ඒ සදහා ඔවුන් ඔරුව, තෙප්පම්, කුඩා ප්‍රමාණයේ බෝට්ටු පාවිච්චි කරන අතර මසුන් ඇල්ලීමට පහත සදහන් ආම්පන්න භාවිතා කරති.
අතංගුව, බිලිපිත්ත, විසිදැල, යොත, එළන දැළ, ගාන දැළ, තට්ටි, කට්ටි දැළ සහ මස් අතු. යනාදිය . මේ කණ්ඩායම අපි සුළු පන්න ධීවරයෝ ලෙස හදුනා ගනිමු.

මේ වනවිටත්, යන්ත්‍ර භාවිතා නොකර, හබල, රිට, තුලික්කාව, තන්ඩුව සහ රුවල භාවිතා කර මුහුදේ සහ කළපුවේ යාත්‍රාවන් එහා මෙහා රැගෙන යන සහ ඉන්ධන වලින් ක්‍රියාත්මක වන යත්ත්‍ර තමන්ගේ යාත්‍රා වලට යොදා ගන්නා ධීවරයෝ අපි දකිමු.
බහුදින යාත්‍රා ධීවරයෝ විශාල ප්‍රමාණයේ යාත්‍රා, විවිධ උපකරණ පමණක් නොව නවීන තොරතුරු තාක්ෂණික උපකරණද භාවිතා කරති.

එබැවින් ඉන්ධන වල සහ යන්ත්‍ර උපකරණ වල මිල විවිධ ධීවර වෘත්තීයන්හී නිරතව සිටින ධීවර ප්‍රජාවට සෘජුවම බලපා ඇත.
යන්ත්‍ර භාවිතා නොකරන ධීවරයින් ප්‍රමාණය මේ වන විට ඉතාමත් සුළු පිරිසක් බවට පත්වී ඇත.

 

ධීවරයෝ ධීවර වෘත්තීයේ නිරත වෙන ආකාර කීපයකි.

  1. තමන්ගේම යාත්‍රා සහ ආම්පන්න උපයෝගී කරගෙන වෘත්තීයේ නිරත වීම.
  2. පංගු පදනම මත තවත් කෙනෙකුට අයත් යාත්‍රා සහ ආම්පන්න උපයෝගී කරගෙන වෘත්තීයේ නිරතවීම.
  3. දින හෝ මාසික කුලී පදනම මත වෘත්තීයේ නිරත වීම.
    උක්ත තත්ත්වය තුළ ධීවර ව්‍යාපාරිකයන් (මුදලාලීලා) ධීවරයෝ සහ කුලී ධීවරයෝ යන ප්‍රධාන කොටස් තුනක් අපට හමුවේ.

ධීවර කර්මාන්තයට අදාල මොනයම් හෝ සංවර්ධන සැලැස්මක් සකස් කරන්නේ නම් ඉහත සදහන් කරනු ලැබූ සෑම කණ්ඩායමක් සහ ක්‍රියාකාරකමක් පිළිබඳව පැහැදිලි අධ්‍යනයක නිරතවීමෙන් අනතුරුව එසේ කළ යුතු බව මගේ අදහසයි.

අරුණ ශාන්ත නෝනිස්
2024.03.21.