ධීවරයාගේම පොකට් එකට ගසා ධීවරයාට සහන දෙන ආණ්ඩුව

0
234

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ධීවරයාට මතක සිටින පාඩමක් උගන්වා දැනට වසර දෙකකි.
2012 වසරේදී  සියලූම ඉන්ධන මිළ ඉහළ දමා  ධීවර රැකියාව නන්නත්තාර කරවා  දැමුවේය.
වැඩිවූ ඩීසල් හා භූමිතෙල් මිළට එරෙහිව පාරට පැමිණි ධීවරයින්ට වෙඩි තබා  ඔවුන් මර්ධනය කර දැමීය. මෙම ඉන්ධන වැඩිකිරීම හමුවේ එල්ලවූ ධීවරයන්ගේ විරෝධය මැඩීම පිණිස  රජය විසින් ඉදිරිපත් කළ ඉන්ධන සහනාධාරය ද සාධාරණව බෙදා දුන්නේ නැත. ධීවර වෘත්තීය නායකයන් පවසන පරිදි 2012 වසරේදීත් මාස 12 ට හිමි ඉන්ධන සහනාධාරය ලබා දී නොමැත.negombo-fishermen-meet-president-mahinda-rajapaksa
2013 වසරේ දී ලබාදී ඇත්තේ මාස 05 ක පමණ ඉන්ධන සහනාධාරයක් පමණි..
මෙම වසරේ සිට මෙම සහනාධාරය නොලැබෙන බවත් ඒ වෙනුවට ධීවර දැල්ආම්පන්න සහනාධාරයක් ලබාදෙන බවත් පසුගියදා සරත්  ගුණරත්න අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇත. ඉන්ධන සහනාධාරය වෙනුවට ලබාදීමට සැරසෙන මෙම දැල්ආම්පන්න සහනාධාරය  සහනාධාරයක්  නොවන්නේ මෙලෙසනි.
රජය විසින් ලබාදීමට බලාපොරොත්තු වන  දැල් ආම්පන්න  වලට රජය බදු නිදහස් කර නොමැත. ආනයනය කරන සියලූම දැල් ආම්පන්න සඳහා රජය ජනතාවගෙන් මෙන්ම ධීවරයාගෙන් බද්දක් අයකරගනියි. එලෙස බදු අයකරගෙන ලබාදෙන දැල් ආම්පන්න තවදුරටත් සහනයක් වන සහනාධාරයක් වේද? කියා ධීවරයන් අසති. අනිත් කාරණය වන්නේ මෙලෙස ලබාදෙන දැලක ප්‍රමිතිය සම්බන්ධයෙන් රජය හෝ ධීවර  අමාත්‍යාංශය වගකීමක් නොදැරීමයි.  මීට පෙර පාවිච්චි කළ දැල් අවුරුදු 25 ක් පමණ පාවිච්චි කළත් දැන් වෙළඳපලේ තිබෙන දැල් අවුරුද්දක් පාවිච්චි කරන  විට දිරාගොස් ඉරී යන බව ඔවුන් පවසයි.
හොද ප්‍රමිතියකින් යුත් දැල් ආම්පන්න ලබාදීම රජයේ වගකීම වුවත්  මේවා ගැන කිසිඳු අවදානයක් නොමැත.
මෙම සහනාධාර  ලබාගැනීම සඳහා  ‘ග්‍රාමීය ධීවර සංවිධානය ‘ ලෙස ගිය වසරේදී පිහිටුවා ගත් සංවිධානයෙහි සාමාජිකත්වය රු100ක් ගෙවා ධීවරයන් ලබාගෙන ඇත . ධීවර සමූපාකාර සමිතියේ  සාමාජිකත්වය ලබාගෙන සිටි සියලු ධීවරයන් නැවතත් ‘ග්‍රාමීය ධීවර සංවිධානයට‘ බැදි එහි සාමාජික අංකයක් ලබාගෙන ධිවර සහනාධාර ඇප්ලිකේෂන් එකේ එම අංකය සඳහන් කළ යුතුය. මේ ආකාරයට  එක් ලක්ෂ විසිපන්දාහකට වඩා  ධිවරයන් මෙම ‘ග්‍රාමීය ධීවර සංවිධානය ‘ට බැදී ඇති අතර ඒ මගින් රජය කෝටි ගණනක මුදලක් ද ධීවරයින් හරහා උපයා ගෙන තිබේ. මෙම ‘ග්‍රාමීය ධීවර සංවිධානය ‘ යෙහි සංකල්පය ධිවර අමාත්‍ය රාජිත සේනාරත්න ගේ  වන අතර එයද  ධීවරයාගේම පොකට් එකට ගැසීමේ සංකල්පයකි.

ඒ අතර  බෝට්ටුව රක්ෂණය කිරීම මෙම වසරේ සිට අනිවාර්්‍ය කර ඇති  අතර රුපියල් ලක්ෂයක් පමණ වටින බෝට්ටුවකට රක්ෂණය සඳහා රුපියල් දෙදහක් පමණ මුදලක් වැය වෙයි. ලක්ෂයකට වඩා විටිනා  බෝට්ටු වලට රක්ෂණ ගාස්තුව තවත් ඉහළය.  මෙම බෝට්ටු රක්ෂණය කිරීම මෙසේ සිදුකළත් ධීවරයන්ට ඉන් ලැබෙන රක්ෂණ සහනාධාරය පිළිබඳවද කිසිදු වගකීමක් නොමැත. මුහුදේදී සිදුවන ආපදාවන් වලදී එය ඔප්පු කිරීම සඳහා කිසිදු ක්‍රමයක් නොමැති වන අවස්තාවන් වලදී ධීවරයන් ඉතාමත් අසීරුතාවන් වලට පත්වෙති. මෙම ගැටළුව සඳහා ද ස්ථීර විසදුමක් තවමත් ධීවරයන්ට ලැබී නොමැත.

sri_lanka_negombo_fish_market_catch2
මෙම වසරේ සිට  අනිවාර්ය කර ඇති ධීවර රැකියාව සඳහා  ජැකට් භාවිතයේදී ද ධීවරයාට කිසිදු සහනදායී පිලිවෙතක්  හඳුන්වා දීමට  ධීවර අමාත්‍යාංශය විසින් දී පියවරක් නොමැත. ධීවරයන් එය වෙළඳපලෙන් මිළදී ගතයුතු අතර ඒවායේ සාධාරණ මිළක් හෝ ප්‍රමිතියක්  වෙනුවෙන් රජයේ මැදිහත්වීමක් නොමැත. ඒ අතර රජය විසින් ජැකට් අනිවාර්ය කර ඇත්තේ ද ධීවරයා ඉන්ධන සහනාධාරය ද නොමැතිව අන්ත අසරණ වී සිටින වෙලාවකය. මේවා දෙස බලන කල  මෙම රජය විසින් ධීවරයන් හට දක්වන  සහනශිලී ප්‍රතිපත්තිය ගැන සතුටුවිය හැකි දෙයක් නොමැත. ධිවරයාගෙන් ම යැපීමට හැරෙන්නට රජය විසින් ලබාදෙන සහනය නමට පමනක් වන බවත්  ධිවරයා සූරාගන කමින්  සොච්චම් සහනයක් ලබාදී ඇති බව පැහැදිලිය.
ධීවර වෘත්තිකයන් පෙළන තවත් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ  දේශීය ධීවරයින්ගේ මාලු වල මිළ පහත වැටීමයි. මෙම ප්‍රශ්නය පැන නැගීමේ ප්‍රධාන හේතුව වන්නේ බහු ජාතික කොම්පැණී වලට ලංකාවේ මුහුදු සීමාව තුළ ඇති මාලු සම්පත  ඩැහැගැනීමට ධීවර අමාත්‍යාංශය විසින් දී ඇති සහනයයි. එ් පමණක් නොව දේශිය ධීවර අස්වැන්නද විදේශ වෙළඳපළට යැවීම සඳහා වැඩි මිලක් දී ලබාගැනීමයි.  මේ ක්‍රම දෙකම  නිසා දේශීය ධීවරයින්ගේ මාලු අස්වැන්නට සාධාරණ මිලක් නොලැබී ඉතා අඩු මිලක්  නියම වීම දිගින් දිගටම සිදුවෙමින් තිබේ. දික්ඕවිට වරාය තුළ වැඩිපහසුකම් සපයා ඇත්තේ මත්ස්‍ය අපනයනය සඳහා  බව ද වාර්තා වේ. මෙම විදේශ කොම්පැණී  වලට සීමාවක් හෝ තහනමක් පැනවීමට ධිවර අමාත්‍යාංශයට හෝ  අමත්‍යවරයාට නොහැක්කේ ඇයි ? ඔවුන්ගෙන් දේශීය ධිවරයින්ගේ මසුන්ට ලැබෙන ඉල්ලුම නිසා පමණ ද ? නැත මේම සමාගම් වලින්  මෙම බලධාරීන්ට ද කොමිස් ලැබෙන බව සැගවිය නොැහකි ඊළඟ සත්‍යයයි.
ධීවරයන් ගේ පැත්තෙන් බලන කල බහුතරයක් ධීවරයන් මේ සියල්ල අවිචාරව බාරගැනීමට පුරුදුවී ඇති අතර  රජය විසින් ගෙන යන මෙම සුරාකෑමේ ප්‍රතිපත්තියට විරුද්ධව එය පිටුදැකීමට විරෝධතා හැරෙන්නට කිසිදු පියවරක් ගන්නේ ද නැත. විරෝධතාවන් මඟහැරීම, බොරු පොරොන්දු දීම රජය විසින් දිගින් දිගටම කරගෙන ආ අතර ධීවරයාට තිරණය කිරීමට ඇත්තේ මේ අතරමැදි විසදුම් වලට කොතරම් දුරට තමන් යටත් වෙනවා ද යන්නයි.