පහුගිය 07වන දා ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව පැවැත්වුණා. ඊට කලින් අපේ ගුරු සේවා සංගමේ අපි කීප දෙනෙක් ඒ ගැන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දැනුම්වත් කරන්න පාසල්වලට ගියා. අපේ පෞද්ගලික නිවාඩු අරගෙන. කුරුණෑගල නගරය අවට පාසල් කීපයකට තමයි ගියේ. ඒ ගමනෙ දි ලබපු හැබෑ අද්දැකීම් කීපයක් බුකියෙ ලියන්න හිතුණා.
එකක්…
මේක කුරුණෑගල නගරය ආසන්න පාසලක්. අපි ගියෙ යතුරුපැදිවල. ගේට්ටු මුරකාරයෝ නෑ. ඒක මං කිව්වෙ පාසලේ තත්ත්වය පැහැදිලි කරන්න. ඒ පාසලේ ගුරුවරුන්ට තියෙන ප්‍රශ්නය දරුවන් පාසලට ගෙන්වා ගන්න එක. උදේට කන්නයි පාසලට ගේන්නයි කෑම නැති නිසා ගොඩක් දරුවන් පාසලට එන්නෙ නෑ. එක ගුරු මවක් එයාගෙ සමාජ මාධ්‍ය විදේශීය මිතුරු කණ්ඩායමක උදව් අරගෙන පාසලේ කෑම දෙන වැඩපිළිවෙළක් හදලා. දිනපතා දරුවන්ට උදේට ආහාර වේලක් දෙන්න පටන් අරන්. එයාට එක කෑම වේලකට රුපියල් හැත්තෑපහක් අර මිතුරු කණ්ඩායම ලබා දෙනවා. ඒ ගුරු මව ඒකට සරිලන කෑම වේලක් දරුවන්ට දෙනවා. හැමදාම ඒ කෑම එකේ පින්තූරයක් මිතුරු හවුලේ සමාජ මාධ්‍යට එකතු කරනවා. ලොකු වැඩක්. දරුවන් පාසල් පැමිණීම සතුටු දායකයි.
ඇය අප සමඟ මේ ගැන කියද්දී මල් ගවුමක් ඇඳගත්ත පුංචි දැරියක් ගේට්ටුව අද්දර වෙලා පාසල දිහා බලාගෙන ඉන්නවා. එයා ළඟ එයාගෙ අම්මා කියලා අනුමාන කළ හැකි කාන්තාවකුත් ඉන්නවා. ගුරුතුමිය අපට පොඩියකට ඉන්න කියලා ගේට්ටුව ළඟට ගියා. මමත් ජංගම දූරකථනය කනේ ගහගෙන කතා කරනව වගේ පෙන්නගෙන එතෙන්ට කිට්ටු වුණේ එතන මොකක් හරි වෙන බව දැනුණු හින්දා.
” ටීචර්, අද දුව ඉස්කෝලෙ එව්වෙ නෑ. ඇඟ ටිකක් රත් වෙලා. ඒත් එයාට ඉස්කෝලෙ දෙන බත් එක කන්න ඕන ලු. “
ඒ අම්මා බිම බලා ගෙන කියනවා. ගුරුතුමිය ගේට්ටුවෙන් එළියට ගිහිං පුංචි දැරියගෙ අතින් අල්ලාගෙන පාසල ඇතුළට එක්ක ගියා. ටික වෙලාවකින් ආයෙ ම ගුරුතුමිය වැට ළඟට ආවෙ ඒ දරුවත් එක්ක ම. අර අම්මා අතට පාර්සලයක් දුන්නා. ඒ දෙන්නා ගුරුතුමියට අහිංසක විදියට හිනා වෙලා යන හැටි මම බලාගෙන හිටියේ හිතේ කුතුහලයක් එක්ක. ආපහු ගුරුතුමිය ළඟට ගියපු මම ඇහුවෙ එයා අර අම්මට දීපු පාර්සලය ගැන.
” දරුවට කන්න දුන්නා. ඒත් එයා ඒක ඔතාගෙන යන්න ඕන කිව්වා. ඇයි කියලා ඇහුව ම ගෙදර කන්න දෙයක් නෑ. ඊයේ රෑටත් තේ වතුර බීලා නිදා ගත්තෙ. අම්මටත් බඩගිනි ඇති කිව්වා. මම දරුවට කන්න කියලා අම්මට බත් එකක් දෙන්නම් කීවා. ඒ දරුවා බත් ටික කෑවා සර්. මම දවල්ට කන්න ගෙනාපු මගෙ බත් එක තමයි ඒ අම්මට දුන්න පාර්සලය. “
අර අම්මා තමන්ගෙ දරුවත් අරගෙන පාසලට එන්න ඇත්තේ තමන්ගෙ බඩගින්න නැතත් දරුවගෙ බඩගින්න නිවන්න වෙන ක්‍රමයක් නැති හින්දා. ඒ අයට ස්ථිර ආදායමක් නැති බවත් කුලී වැඩ කරලා දවස ගෙවන බවත් දැන ගත්තේ අර ගුරුතුමියගෙන්.
තව එකක්…
මේ පාසලට යද්දි පුංචි දරුවෙක් වෙන ම තැනක තියාගෙන ගුරුතුමියක් ඒ දරුවා සතුටු කරන්න උත්සාහ කරනවා. දරුවගේ ඇස්වල කඳුළු. ගුරුතුමිය හිනා වෙනවා. දරුවා හිනස්සවන්න එක එක දේවල් කරනවා. අපි එතනින් විදුහල්පති කාර්යාලයට යද්දි මම ඒ දිහා බලාගෙනයි ගියේ. එතකොටයි මම දැක්කේ ඒ ගුරුතුමිය මගේ මිතුරියක්. අපි ආපහු එද්දි ඒ දෙන්න එතන ම. හැබැයි අර දරුවා හිනස්සවන්න උත්සාහ කරපු ගුරුතුමිය ඒ දරුවා තුරුළු කරගෙන එයාට නොපෙනෙන්න අඬනවා. මාව දැකපු මගේ මිතුරිය කඳුළු හංගාගෙන මට හිනාවක් පෙන්නුවා. මම එදා හවස මගේ මිතුරු ගුරුතුමියට දූරකථන ඇමතුමක් ගත්තේ ඒ ගැන දැන ගන්න. ඒක මහ දුක හිතෙන කතාවක්. ඇය මට කියූ කතාව.
“මේ දරුවා දවස් ගණනක් එක දිගට පන්තියේ ඇඬුවා අයියේ. කාටවත් කියන්නෙ නෑ. ඊට පස්සෙ ඒ දරුවා මිතුරු කරගෙන හේතුව හොයා ගන්න මට තමයි පැවරුණේ. දවස් ගාණක් උත්සාහ කළා. එදා අයියලා ආපු දවසෙ තමයි එයා හේතුව කීවෙ. ඒ දරුවගෙ තාත්තා නෑ අයියෙ. අම්මට රස්සාවක් නෑ. දන්නව ද ඒ අම්මා කරන රස්සාව. එයාගෙ ස්කූටිය හන්දියේ තියාගෙන මිනිස්සු හයර් කරනවා. පොඩි එකා මට කියනවා අම්මට කරදරයක් වෙයි කියලා බයයි ලු. නපුරු මිනිහෙක් අම්මව මරයි ද ටීචර්… කියලා ඇහුවා අයියෙ. මගෙ පපුව කඩා වැටෙන්ඩ ආවා. ඒ දරුවගෙ බය නැති කරන්ඩ මට බෑ. අපි හරි අසරණයි. අවසානෙට ඇහුවෙ මට අම්මත් නැතිවුණොත් ටීචර්… කියලා. මම ඔයාව බලාගන්නම් කියලා මම ඒ දරුවා තුරුළු කරගත්තා.”
ළමා දිනේට නැටුවෙත් ඒ ටීචර්ලා ම තමයි. ටීචර්ලා කියන්නෙ කටු අකුලක පිපුණු මල්.
මම දුරකථනය විසන්ධි කළා.
(බණ්ඩාර තිලකරත්නගේ ෆේස්බුක් පිටුවෙනි)