නත්තල ඉදිරියේ කොරෝනාවට බය නැති මීගමු පුරවැසියෝ….

0
47

මෙතෙක් කොරෝනා වසංගතය නිසා කොටුවී සිටි මීගමු ජනතාව මේ දිනවල නගරයට එක් රොක්වූයේ ඇවිස්සුනු මීවදයක මී මැස්සන් මෙනි. කතෝලික ආගමේ ප්‍රධාන උත්සවය වන නත්තල වෙනුවෙන් ඔවුන් කිසිදු බාධාවක් පිළිබඳව සැළකිල්ලක් නොදක්වති. මේ අනුව ලොව ඇති ප්‍රබලම වෛරසය ඉදිරියේ වුවද නත්තල ඊට වඩා ප්‍රබලය.


සෞඛ්‍ය නීති සහ උපදෙස් සියල්ල පසෙකලා මුඛ ආවරණය පමණක් පැළඳ නත්තල් උත්සවයට අදාලව අවශ්‍යදෑ සොයා කඩසාප්පු පීරණ ජනතාව පොදි ගැසෙමින් කරන අරගලය අපූරුය.


සමහර අය පවුලේ සියළු දෙනා අතර පොඩි දරුවන්ද රැගෙන මෙම සෙනඟ අතර තෙරපෙන ආකාරය දැකගත හැකිවිය.


මීටරය දුර යන්න අද විහිළුවකි.


සෑම ප්‍රධාන මංසන්ධියකම දැඩි තදබදයක් නිර්මාණය වීම නිසා තමන්ට අදාල කටයුතු ඉටුකර ගැනීම පහසු කටයුත්තක් නොවීය.
සුළු අවශ්‍යතාවයක් වුවත් වැඩි කාලයක් ගතකිරීමට සිදුවේ. වෙළඳ ව්‍යාපාරිකයින්ද තමන්ට යමක් උපයා ගතහැකි මේ අවස්ථාවේ රටේ පවතින කොරෝනා තත්වය අමතක කර තම ව්‍යාපාරය කෙරෙහි උනන්දු වන ආකාරය පෙනින. සාමාන්‍ය දිනවලදී අනවසර යැයි අනුමත ස්ථාන වලට අවසර ලැබී ඇත. පාරවල් වලට යාබදව ස්ථානයන්හි විවිධ භාණ්ඩ අලෙවි කරනු ලබන්නේ එම අවසරය මතය. දැඩි තදබදයක් නිර්මාණය වන්නේ එ් නිසාමය. මෙම තත්වයට ඉඩකඩ නිර්මාණය වන්නේ නත්තල පෙරටු කොටගත් ඉහත සඳහන් කළ ජනවිඥාණය නිසාය.


නමුත් හෙටින් පසුව එන දිනය කුමන වේශයක් ගනීදැයි අප නොදනිමු. “හෙට මැරුනත් මොකද ඉතින් අදජොලි කරලා ” යන බයිලා ගීතය මෙම කාරණය ගැන කල්පනා කරනවිට සිහිපත්වේ.


මේ අතර නගරයේ තුල ක්‍රියාත්මක ශබ්ද වාහිනි වැඩපිලිවෙල තුල සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරන්නට යැයි කියන පණිවිඩය නගරාධිපතිවරයා ගැනද කියමින් නිරන්තරයෙන් ප්‍රචාරය කරනු ඇසිණි.


එහෙත් නගරය තුල බිම් කඩවල් විකුණා ඇති අයුරු මෙන්ම නයිට් බාසාර් ඇතුලු අනෙකුත් තැන්වල ඇති කඩ වල්වල ඉඩ සකසා ඇති අයුරු ගැන බැලු කල ඉන් පෙනි යන්නේ සෞඛ්‍යාණුකුල බව සුරකිමට නගරාධිපතිට පවා මිගමුව තුල කිසිදු සැලැස්මක් නැති බවය.
සැම්සන් ඥානසිරි