නව දෙමහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ මාතෘ හා ළමා සායන නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරේ……..

0
446

 Sarath Peris dinal and dr.Sudashi

වර්ධන වැඩසටහන යටතේ කටාන ආසනයට වෙන් කළ මුදලින් රුපියල් මිලියන 30ක වියදමින් ඉදි කරන ලද සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ මාතෘ හා ළමා සායන ගොඩනැඟිල්ල පසුගිය දා (2016.09.03) ජනතා අයිතියට පත් කරන ලදී. නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ මග පෙන්වීම මත ඉදි කළ මෙම ගොඩනැඟිල්ල සඳහා අදාළ භූමිය කටුනායක සීදූව නගර සභාවේ හිටපු නගරාධිපති ඩිනල් පෙරේරා මහතා ඇතුළු නාගරික මන්ත්‍රී මණ්ඩලයේ මැදිහත්වීම මත ලබා දෙන ලදී.

නව ගොඩනැඟිල්ල විවෘත කිරීමෙන් අනතුරුව නව විවාපත් යුවලක් ලියාපදිංචි කරමින් එහි වැඩ කටයුතු ආරම්භ කරන ලද්දේ විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසිනි.මෙහිදී අදහස් දැක්වූ සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ තමා වසර 24ක කාලයක් වෛද්‍යවරියක ලෙස සේවය කළ බවත් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණිය ලෙස කටයුතු කළේ ඉතාමත් අඩු පහසුකම් යටතේ බවත් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමාගේ සහයෝගයෙන් මාතෘ හා ළමා සායන වැඩි දියුණු කරන්නට තමාට හැකියාවක් ලැබුණ බවයි.අද වන විට ආඬිඅම්බලම සහ කඳවල ප්‍රාථමික ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ මාතෘ හා ළමා සායන ඉදි කර වෛද්‍ය ප්‍රතිකාර පහසුවෙන් ලබා ගන්නට අවස්ථාව උදා කර දුන් බවද සිහිපත් කළාය.

වර්තමානයේ දේශපාලනඥවරියක ලෙස කටයුතු කළත් දරුවන්ගේ සහ මවුවරුන්ගේ සෞඛ්‍ය කෙරෙහි විශේෂ අවධානයක් තමන් යොමු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරිය අද වන විට කටාන මැතිවරණ කොට්ඨාසය තුළ මෙවැනි මධ්‍යස්ථාන ගණනාවක් ඉදි කර ඇතැයි ද ප්‍රකාශ කළාය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජන්ම දිනයට සමගාමීව මෙම ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත් වන බව ඇය ප්‍රකාශ කළාය.

මෙහිදී බස්නාහිර පළාත් අමාත්‍ය ලලිත් වනිගරත්න ,කටුනායක සීදූව නගර සභාවේ හිටපු සභාපති ඩිනල් පෙරේරා සහ විපක්ෂ නායක සරත් පිරීස් යන මහත්වරුන්ද අදහස් දැක්වූ අතර ඩෙංගු රෝගීන් සුවපත් කිරීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දෙන වෛද්‍ය ලක් කුමාර් ප්‍රනාන්දු මහතාට විශේෂ තිළිණයක් පිරිනැමීමද මෙහිදී සිදු විය.

බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ.එල් ෆරීඩ්,ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නලින් ආරියරත්න,සීදූව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රසික ලියනගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Save