න්‍යෂ්ටික බලයෙන් තොර තායිවානයක් පිළිබඳ බලාපොරොත්තුව..

0
56
2014 වසරේදී පැවැති න්‍යෂ්ටික බලාගාර වලට එරෙහි විරෝධතාවයකදී එරට කුඩා දරුවෙකු " I Love Taiwan and I do not want nuclear incidents" ලෙස සටහන් වූ පත්‍රිකාවක් සමඟ සිටින අවස්ථාවක්.

 

2014 වසරේදී පැවැති න්‍යෂ්ටික බලාගාර වලට එරෙහි විරෝධතාවයකදී එරට කුඩා දරුවෙකු " I Love Taiwan  and I do not want nuclear incidents" ලෙස සටහන් වූ පත්‍රිකාවක් සමඟ සිටින අවස්ථාවක්.
2014 වසරේදී පැවැති න්‍යෂ්ටික බලාගාර වලට එරෙහි විරෝධතාවයකදී එරට කුඩා දරුවෙකු ” I Love Taiwan and I do not want nuclear incidents” ලෙස සටහන් වූ පත්‍රිකාවක් සමඟ සිටින අවස්ථාවක්.

2011 මාර්තු මාසයේදී ජපානයේ ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ සිදුවීමෙන් පසු ටෝකියෝ නුවර පමණක් නොව ලොවපුරාම විකිරණශීලී ද්‍රව්‍යයන් පිළිබඳව දැඩි ලෙස කතාබහට ලක්වීම ආරම්භ වුනා. එහි බලපෑම කෙතරම්ද කියනවානම්  මේ වන විටත් එම බලාගාරයෙන් විකිරණශීලී ජලය මුහුදට කාන්දු වන බවට විශ්වාස කෙරෙනවා. එහි ප්‍රථිඵලයක් ලෙස ජපානය විසින් නිශ්පාදනය කරන කෘෂීකාර්මික නිශ්පාදන ලොවපුරා රටවල් බොහෝමයක් තවමත් ආනයනය ප්‍රතික්ෂේප කරනවා. එම රටවල් අතරට කොරියාව හා තායිවානයත් අයත්. මේ සියළුම කාරණා නිසා ජපානයේ  සියළුම න්‍යෂ්ටික බලාගාර තවමත් විවෘත කර නැහැ.

ජපානයේ සිදුවූ මේ සිදු වීම අවට රටවල් කිහිපයකම න්‍යෂ්ටික බලය හා බැඳුනු ගැටළු සම්බන්දව ඇස් ඇරවීමට සමත් වී තිෙබනවා. ඒ අතරින් තායිවානය විශේෂයි. තායිවානය තුල මේ වන විට න්‍යෂ්ටික බලාගාර 3ක් ඇති අතර ඉන් දෙකක්ම පිහිටා ඇත්තේ එහි අගනුවරට ඉතාමත් ආසන්න ප්‍රදේශයන් වලයි. මේ බලාගාර දෙක වෙනුවට එක් බලාගාරයක් ඉදිරි වසර 6 තුල ඉදිකිරීමට එරට රජය තීරණය කලත් ඒ වෙනුවෙන් 2014 වසරේ අප්‍රේල් මාසයේදී ගොඩනැගුණු දැඩි විරෝධය නිසා එම තීරණය පිළිබද සලකා බැලීම වසරකින් පමණ කත් දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. නමුත් පසුකාලීනව ආරක්ෂාව හා අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්දයෙන් පැන නැගුණ ගැටළු නිසා පෙර සදහන් කල න්‍යෂ්ටික බලාගාර දෙක සම්පූර්ණයේ වසා දැමීමට එරට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

මෙලෙස න්‍යෂ්ටික බලාගාර වසා දැමීමට හේතු වූ විරෝධතාවන් වල තේමාව වුයේ  “A nuclear-free home” යන්නයි. එම විරෝධතාවන් වල ප්‍රභලතාවයන් නිසා වර්ථමානය වන විට තායිවානයේ ප්‍රධාන පෙළේ විපක්ෂ  දේශපාලන පක්ෂ කිහිපයකම නායකයන් න්‍යෂ්ටික බලය වෙනුවට විකල්ප බලශක්තීන් සෙවීමේ ඇති වැදගත් කම පිළිබදව දැඩි ලෙස සාකච්ඡා කරමින් පවතින බවත් වාර්ථා වනවා. නමුත් එරට රජයේ මතය වන්නේ “A nuclear-free home” තේමාව එරට ආර්ථික වර්ධනයට විශාල අනතුරක් වනු ඇති බවයි.

නමුත් එරට සිවිල් සමාජය දිගින් දිගටම පවසන්නේ න්‍යෂ්ටික බලය වෙනුවට විකල්ප බලශක්තීන් වෙත යොමු විය යුතු බවයි. මෙම න්‍යෂ්ටික බලාගාර 3න්ම එරට විදුලි නිශ්පාදනයට සපයන්නේ 10% -20% අතර ප්‍රමාණයක් නිසා විකල්ප ශක්තීන් සොයාගෙන එම තාක්ෂණය වෙනත් රටවල් වෙත අලවි කිරීම හරහා රටේ ආර්ථිකයට වඩා වැඩි වාසි අත්වනු ඇති බවයි එරට ජනතාව පවසන්නේ. සූර්‍ය පැනල හා බලයෙන් වැඩි වියලි කෝෂ එක්කොට වඩාත් ප්‍රභල ශක්ති ප්‍රභවයක් නිර්මාණය කිරීමට හැකැවනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කර සිටිනවා. එලෙසම භූ තාපය භාවිතා කල හැකි ශක්ති බලාගාරයන් නිර්මාණය කිරීම සම්බන්දයෙනුත් මේ වන විට ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙනවා. එලෙසම එරට විද්‍යාඥයින් තවදුරටත් පවසන්නේ නව ශක්ති ප්‍රභවයන් නිශ්පාදනය කිරීමට වඩා පවතින ශක්තිය කාර්‍යක්ෂම ලෙස භාවිතය හා ශක්තිය අපතේ යාමට ඉඩ නොදීමද වැදගත් බවයි.

මේ ආකාරයෙන් න්‍යෂ්ටික ශක්තියෙන් තොර තායිවානයක් ගොඩනැගීමට වෙර දරන පිරිස් පවසන්නේ තමන්ගේ උත්සාහය ඉක්මනින් සාර්ථක නොවන බවත් , අනාගත පරපුර මේ සම්බන්දව දැනුවත් වීම හා මේ වෙනුවෙන් ඔවුන්ගේ ආකල්ප ගොඩනැගීම මගින් අනාගතයේදී වඩාත් සුරක්ෂිත තායිවානයක් ගොඩනැගීමට තමන්ට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්ය.

 

2014 පැවැති විරෝධතාවයේ අවස්ථාවක්.

 

සටහන – මිතිලායා ගමගේ (Global Voice ඇසුරිණි.)