නැගෙනහිර වෙනුවට බටහිර ජැටිය දීමේ සුදානමක් : බැසිල් හා නාලක වැඩට බසී – විමල් පක්ෂ නායකයින් කැඳවයි

0
132

 කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය අදානි සමාගම එක්කර ගනිමින්, එම සමාගමකට සියයට 49 කොටස් ලබාදීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පැනනැගී ඇති අර්බුදය සමතයකට පත්කර ගැනීම සඳහා ආණ්ඩුවේ පාර්ශවයෙන් වරාය වෘත්තීය සමිතිවලට අලුත් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.    ඒ අනුව, නැගෙනහිර ජැටිය සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය සමාගම එක්කර නොගෙන, බටහිර ජැටිය සංවර්ධනය මුළුමනින්ම ඉන්දීය සමාගමේ ආයෝජන මත සිදුකිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල අදහස් විමසා ඇත.  

නැගෙනහිර ජැටිය විදෙස් සමාගමකට දුනහොත් මරාගෙන මැරෙන සටනකට අවතීරණව සිටින වරාය වෘත්තීය සමිති හා ජාතිකවාදී බලවේග මෙම යෝජනාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇතැයි වාර්තාවේ.    අප වෙත වාර්තා වන පරිදි මේ සම්බන්ධයෙන් සෘජුව මැදහත්ව ඇත්තේ, බැසිල් රාජපක්ෂ හා රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ය.   පෙරේදා දිනයේ මහනුවරට ගොස් වරාය අර්බුදය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් දැනුවත්කර කොළඹට එමින් සිටි ‘පොහොට්ටු’ පක්ෂයේ වෘත්තීය සමිති නායකයාට දුරකථන ඇමතුමක් ලබාදී එදිනම රාත්‍රී ඔහු ඇතුළු එම වෘත්තීය සමිතියේ ප්‍රධානින් කිහිප දෙනෙකු කැඳවා ඇති බැසිල් රාජපක්ෂ, නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ලබාදීමේ යෝජනාව ඉදිරිපත්කර ඇත.  

එසේම, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ද ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති නායකයින් කැඳවමින් අදාල යෝජනාවට සහය ලබාගැනීම සඳහා එකඟතාවයක් ඇතිකර ගැනීමට බලවත් උත්සහයක් දරා තිබිණ.    බැසිල් රාජපක්ෂ මෙන්ම, නාලක ගොඩහේවා ද ඒ සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයින් සමග ද සාකච්ජා පවත්වා ඇතැයි වාර්තාවේ.  
  ජනාධිපතිවරයාගේ අනුදැනුම මත :    
  ඔවුන් දෙදෙනා එම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ ජනාධිපතිවරයාගේ පුර්ණ අනුදැනුම මතය.    කෙසේවෙතත් ඊයේ වරාය පරිශ්‍රයට ගිය නාලක ගොඩහේවාට සහ වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දුට විපක්ෂයේ වෘත්තීය සමිතිවලින් ‘හූ’ සංග්‍රහයක් ලැබිණ.   එසේ වුවද අප වෙත වාර්තා වන්නේ ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ අලුත් යෝජනාවට වරාය වෘත්තීය සමිති මෙන්ම, ආණ්ඩුවට පක්ෂපාති ජාතිකවාදී බලවේගයන් ද කිසියම් අනුකුලතාවයක් දක්වා ඇති බවයි.   නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකා රජයේ මුදල්වලින් සංවර්ධනය කරමින් බටහිර ජැටිය සංවර්ධනයට විදෙස් ආයෝජන ලබාගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘රටහදන සෞභාග්‍යයේ දැක්ම’ මැතිවරණ ප්‍රකාශයේ පැහැදිලිවම සඳහන්ව තිබු බව නාලක ගොඩහේවා ඊයේ මාධ්‍ය හමුවේ පැවසිය.     

වෘත්තීය සමිතිවලින් ජනපතිට ලිපියක් : එජාපයත් එක්වේ     
  මේ අතර නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව විසඳා ගැනීම සඳහා වරාය වෘත්තීය සමිති විසින් ජනාධිපතිවරයා වෙත යෝජනාවලියක් ඉදිරිපත්කර ඇත.    ජනාධිපතිවරයා වෙත ඊයේ (29) දිනයේ යොමුකර ඇති එම ලිපියට වරාය සටනට එක්ව සිටින වරාය වෘත්තීය සමිති 23 න් 22ක් ම අත්සන් කර තිබේ. ඒ, එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතිය ද ඇතුලුවය.      

විමල් පක්ෂ නායකයින් කැඳවයි.  
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත්, ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශගේ කොළඹ පිහිටි නිල නිවසේදී අද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.    ඒ සඳහා දේශපාලන පක්ෂ 06 ක නායකයින්ට අමාත්‍ය විමල් වීරවංශ විසින් ඇරයුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි.   පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න සහ එක්සත් මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ට එම සාකච්ඡාව සඳහා ඇරයුම් කර ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.  

theleader.lk