නිමලරාජන්ගේ බයිසිකලය – මංජුල වෙඩිවර්ධන

0
416

චන්ද්‍රිකාට බෝම්බ ගැසූ දෙදෙනාට චන්ද්‍රිකා සමාව දෙයි’ මැයෙන් ප්‍රවෘත්තියක් ‘ද ලීඩර්’ වෙබ් අඩවියේ පළ විය. ඉන් දින කිහිපයකට පසුව ‘චන්ද්‍රිකා හදවත්

හොරකමක’ මැයෙන් ‘ද ලීඩර් ටීවී’ යූ ට්‍යුබ් චැනලයේ ‘ගොසිප්පු’ ගත වී තිබුණේ පෙර කී ප්‍රවෘත්තියේ ඌණ පූරණයක් ලෙසිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වනාහී හතුරාටත් සමාව දෙන වර්ගයේ උත්තම චරිතයක් සේ පෙනී, ඉතිහාස සාක්ෂරතාවක් නැති පාඨකයා හා ප්‍රේක්ෂකයා ඇය පිළිබඳ වැරදි වටහා ගැන්මකට එළඹීමේ ඉඩකඩක් මෙම පුවත් පුරාවත තුළ පෙනෙන්නට ඇත.

චන්ද්‍රිකාගේ අණට කීකරුව මෙන්ම, ඇගේ අනුහසට අවනතව බෝම්බ හෙළා මරා දැමූ ගැහැනුන් පිරිමින් සහ දරු දැරියන් ගැන ඇයට පමණක් නොව ජනමාධ්‍යයට පවා අමතකව ඇති සෙයකි. මෙකී රාජ්‍ය අපරාධකාරීත්වයන් ගැන හෙළිදරව් කළ මයිල්වාහනම් නිමලරාජන් දෙවිසි වසකට පෙර, වෙඩි තබා මරා දැමුවේද මෙකී චන්ද්‍රිකාවන්ගේ අනුග්‍රහය යටතේ බව අපගේ සාමුහික මතකයෙන් ගිලිහී ගොස් තිබීම වත්මන් සාමුහික ඉරණමේ පදනම නොවන්නේද?

 

නිමලරාජන් ඝාතනය කොට අදට වසර 22 යි

යාපනයේ දෙමළ පීඩිතයාගේ හෘදය සාක්ෂිය දකුණේ සිංහලයා අතර පමණක් නොව ජාත්‍යන්තරයට පවා ගෙන යන්නට තරම් තදබල ධෛර්යයක් සහ කැපවීමක් මෙසේ ම්ලේච්ඡ ලෙස මරා දැමුණු නිමලරාජන් සතු විය. දිවි පරදුවට තබා වැඩ කරනවා යන්න දිවි පුදා ශපථ කළ නිමලරාජන්, අචපල මාධ්‍ය භාවිතය නිසා සිංහල මෙන්ම දෙමළ සතුරන් දෛනිකව දෙගුණ තෙගුණ කර ගත්තද, ඊට සමාන්තරව ආරක්ෂාව පිළිබඳ සැලැස්මක් හෝ කල්පනාවක් නොතිබිණ. ‘සුප්‍රකට බයිසිකලයේ’ නැඟී බැරියර් හරහා ඇදී යමින් ප්‍රවෘත්ති ඉලක්කයන් හඹා ගිය ඔහු අසාමාන්‍ය කැපවීමක් තිබි චරිතයකි.

චන්ද්‍රිකා බලයට ගෙන ඒමේ මතවාදී යාන්ත්‍රණයේ පතාකයෙක් වූ රාවය පත්තර ආයතනයේ හිමිකරුවා වූ වික්ටර් අයිවන්ගේ සන්නසක්ද රැගෙන විමුක්ති කොටි නායකයන් හමුවීමට කිළාලි කළපුව හරහා යාපනයට ගිය නන්දන වීරරත්න ප්‍රමුඛ කණ්ඩායමට බයිසිකලයක යමින් සිටි නිමලරාජන් හමුවීම ඔහු දකුණ සමඟ පෑහෙන්නට පටන් ගැනුණු පළමු ප්‍රවේශය විය. නන්දන හරහාම රාවයටද, පසු කලෙක බීබීසී සිංහල සේවයටද එක්වූ නිමලරාජන් යාපනයේ පීඩිතයාගේ ‘කටහඬ’ බවට පත් විය. ඉදින් ක්‍රමයෙන් ඔහු අප සියල්ලන් සමඟම යාපනයේ දෛනික ජීවිතය බෙදා හදා ගත් මාධ්‍ය මිත්‍රයකු මතු නොව ළෙංගතු සහෝදරයකු බවට පත් විය.

 

chechmani

චෙම්මනියේ සමූහ මිනීවල පිළිබඳ තොරතුරු ගැඹුරටම කණින ලද්දේ නිමලාය.

ගුවන් බෝම්බ අත්හැර කුඩා දරු දැරියන් සමඟම 140කට අධික දෙනා මරාදැමුණු, නවාලි ශාන්ත පීතර දෙව්මැදුර මුදුණේ ලඹ දුන් කුරුසියේ වේදනාව, පත්තර පිටු අතර අතුරාලන්නට පුරෝගාමී වූවන් අතර නිමලා ද සිටියේය.

සිංහල හමුදාවන්ගේ මල්ටි බැරල් ප්‍රහාරයන්ට නතු වූ කයිතඩි වැඩිහිටි රැකවරණ පරිශ්‍රයේ වයෝවෘධයන් 150ක් දෙනෙක් මිය ගිය ශෝකබරිත සංසිද්ධියේදී නිමලරාජන් ඒ ජීවිත බේරා ගන්නට රතුකුරුසකරුවන් හා එක්වී ක්‍රියා කර තිබූ අන්දම ඔහු වඩා ගෞරවය පාත්‍ර කරලන්නක් විය.

යාපනය මතු නොව සකල උතුරම කම්බස් කරමින් මීනි මරමින් සිටි චන්ද්‍රිකා ආණ්ඩුවේ කැබිනට්ටුවේ පුනුරුත්තාපන ඇමති ඩග්ලස් දේවානන්දාගේ ඊපීඩීපී යට නිමලරාජන් වහකඳුරු මෙන් විය. වසර දෙදහසේ ඔක්තෝබරයේ පැවති මහමැතිවරණයේ දී, නිල හමුදාවන්ගේ රැකවරණය ලත් ‘ඩග්ලස් අතුරු හමුදා’ යාපනය අර්ධද්වීපයේ දියත් කළ ප්‍රචණ්ඩත්වය හා භීෂණය නිමල්ගේ නිර්භිත හෙළිදරව් කිරීම්වලට නතු විය. විශේෂයෙන් ඩෙල්ෆ්ට් සහ කයිට්ස් දූපත් තුළ සිදූ වූ සිද්ධීන් බරපතළ විය. ආසන්නතම මරණීය තර්ජයන් ගලා ආයේ ඒ ඔස්සේය. නිමලරාජන් ඝාතනයේ වගකීම ඊපීඩීපී වෙත එල්ල කරමින් වී. ආනන්දසංගරීගේ අත්සනින් යුතුව, පළමු පුවත්පත් නිවේදනය නිකුත් කෙරුණේ, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විසිනි.

 

siwaram lasantha

නිශ්චිතවම යුද්ධය තුළ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම ඇරඹුණේ නිමලරාජන්ගෙනි. ඔහු විසූ යාපනය කච්චේරිය අසල නිවස, ආරක්ෂක බැරියර තුනකින් වට වුණු අධිආරක්ෂක කලාපයකි. අධිආරක්ෂක කලාප යනු රජයේ අතුරු හමුදාවන්ට රාජ්‍ය නිල මිලිටරි ආරක්ෂාව සහිතව මිනී මැරිය හැකි භූමි කලාපයක් බව නිමලරාජන් ඝාතන සංසිද්ධිය විසින් තහවුරු කරලීය. ධර්මරත්නම් සිවරාම් පැහැර ගැනුණේ බම්බලපිටිය පොලීසිය අබියසදීය. ඔහුගේ ප්‍රාණ නිරුද්ධ සිරුර හමුවූයේ පාර්ලිමේන්තු හුළඟ වදින මානයේ වූ කිඹුලා ඇල අසල තිබියදීය. ලසන්ත වික්‍රමතුංග මරා දැමුණේ අත්තිඩියේ අධිආරක්ෂක කලාපය තුළය. මේ ඝාතන ඍජුවම රාජ්‍ය අනුග්‍රහය ලැබූ අතුරු මිලිටරි කල්ලි විසින් මුදා හරින ලද අපරාද විය.

 

රාජ්‍ය අනුග්‍රහ, අනුදැනුම හා ආශිර්වාදය මත රටින් පළා ගොස් සිටි, නිමලරාජන් ඝාතනයේ ප්‍රධාන සැකකාර ඊපීඩීපී කෙරුම්කාරයකු වූ සෙබෙස්තියන් පිල්ලෛ රමේෂ් නොහොත් නැපෝලියන් බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණේ 2022 පෙබරවාරියේදීය. බීබීසීයට සේවය කළ මාධ්‍යවේදියකුගේ ප්‍රධාන ඝාතක චූදිතයා සැලකිය යුතු කාලයක් එක්සත් රාජධානිය තුළ සැඟවී සිටිම පිළිකුල් සහගත යැයි ‘සත්‍යය හා යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ’ යස්මින් සූකා ප්‍රසිද්ධියේ පැවසූවාය.

 

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනයට බ්‍රිතාන්‍යයේදී අයකු අත්අඩංගුවට

කොළඹ සිටි මිතුරන්ට, ගුවනින් පමණක් ළඟා විය හැකිව තිබූ නිමලරාජන්ගේ මළගම වූ කලාපය, දකුණට තහනම් අඩවියක් විය. ඇතැම් විට වේදනාව සහ කෝපය කවියක වේශයෙන් වුව පිටවන්නට පිළිවන. ‘නිමලරාජන්ගේ අම්මා’ මැයෙන් එවන් හැඟුමෙන් මවිසින් ලියැවුණු තරමක් ප්‍රකටව ඇති කවියෙහි ප්‍රස්තුත, ‘ලිලී තෙරේස් මයිල්වාහනම්’ මාතාව පුතුගේ ඝාතනය පිළිබඳ යුක්තිය වෙනුවෙන් අසූ විය දක්වාම නොනිමි සටනක නිරතව හිඳි, නැපෝලියන් අත්අඩංගුවට ගත් පුවත නොදැනම, ඉකුත් වසරේ ජූනි මාසයේ කැනඩාවේදී ජීවිතයෙන් නික්ම ගියාය. කැනඩා යාමට පෙර දා රාත්‍රියේ රාවය පත්තරයේ සනුහරය සමඟ මොරටුව සොයිසාපුරයට ගොස් නිමල්ගේ අම්මා වැළඳ ගත් ඒ අතීත මොහොත තවමත් කඳුළු උණන සජීවි මතකයකි.

 

1519161 882093025168908 4309349931515779538 o

බයිසිකල් ගහණ යාපනයේ විසූ අප මිත්‍ර නිමලරාජන්ටද සුප්‍රකට බයිසිකලයක් තිබිණ. යාපනයේ ගොස් ඔහු හමුවුණු අයකු වේ නම් ඔහුගේ බයිසිකලයේ හරස් පොල්ලේ වාඩි වී හමදා මුරපොලවල් හරහා නොගිය අයකු වන්නට බැරිය. අපමණක් දකුණේ මිත්‍රයන් අතුරින්, අවසන් සමයේ, නිමලරාජන්ගේ සමීපතම ඇසුරට පත්වූයේ යාපනය සරසවියේ උගන්නන්ට ගිය අප මිත්‍ර සාමිනාදන් විමල්ය. එවන් අතිශය භීෂිත අවධියකය යාපනයේ යෑම සාමිගේම වචනවලින් කිවහොත් “ගොඩක් අය එළියට පනින්න දඟලන දොරටුවකින් මං බොහොම අමාරුවෙන් ඇතුළට රිංගුවා’’ වැනි දඩබ්බර වැඩකි.

 

සාමිනාදන්ගේ මෙකී තීන්දුව පිටුපස වූ හයි හක්තිය නම්, හීන්දෑරි යෝධයා වූ නිමලරාජන් ය. නිමල් මරා දැමුණු පසු දකුණේ පත්තර මිත්‍රයන්ට අවමඟුලට හෝ යන්නට චන්ද්‍රිකානු අනුහස හන්දාම අවකාශ නොලැබිණ. නිමල්ගේ නිසල දේහය අසල සිංහලෙන් දුක කියමින් සිංහලෙන් අඬන්නට ඉඩ ලැබුණේ නිමලාට සහෝදරික බඳු වූ සාමිනාදන්ගේ බිරිඳට පමණි.

නිමලරාජන් මරා දැමුණු පසු ඒ බයිසිකලයට ගොඩ වූයේ අප මිත්‍ර සාමිනාදන් විමල්ය. යාපනයේ දී ඔහු මුණ ගැසුණු හැම විටෙකම සාමි උන්නේ සිටියේ සයිකලය සමඟය. එය අතිශය සංකේතාත්මක සංසිද්ධියක් විය. ‘බයිසිකල් කතාවක්’ මැයෙන් ඒ පිළිබඳ කවියක් පවා මා විසින් ලියැවුණි. එහිදී මම සාමිනාදන්ට පරිස්සම් වන්නට යයි මිත්‍ර ස්වරයෙන් යෝජනා කළෙමි. මහා සංහාරයකින් පසු ඔහු කෙසේ හෝ නිරුපද්‍රිතව ඉතිරි විය. පසුකාලීනව ඔහු නිමල්ගේ බයිසිකලය අත්හැර යතුරු පැදියක් ගත් බව ආරංචි විය. ජනතා විමුක්ති පෙරමුණේ යාපනයේ ශාඛාව හදන්නට එහි පැමිණි, පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුපස නංවා ගෙන ගොස් තිබුණේ මෙකී යතුරු පැදියේ යැයි අප අතීත මිත්‍රයකු සීරියස් ස්වරයෙන් කීවේය.

අවශ්‍ය නම් දැන් සාමිනාදන්ට මෝටර් රථයක් පැදවීමද දුෂ්කර කටයුත්තක් නොවන බව මම ඔහුට කීවෙමි.

එසේ කීවද සාමිනාදන්, තවමත් නිමලරාජන්ගේ ‘මළකඩ නොකන’ බයිසිකලය කොහෝ හෝ නිරුපද්‍රිතව රඳවා ඇතැයි මට සිතෙයි.

 

සිංහරාජය ; දෙපලු වන වන මැදින් මාවතක් මැවෙයි : 'මෝසම් දෙකිඳ' - (මංජුල වෙඩිවර්ධන)– මංජුල වෙඩිවර්ධන

(බල්සාක් කැෆේ –  2022 ඔක්තෝබර් 30 අනිද්දා පුවත්පත )