නිමල්කාට මඩ ගහන රජයේ මාධ්‍යට විරුද්ධව පොලිස්පතිට පැමිණිල්ලක්

0
82

ආචාර්්‍ය නිමල්කා  ප්‍රනාන්දු මහත්මියට එරෙහිව , ඇය විසින් කරන ලද ප්‍රකාශයක් මුල්කරගනිමින්  විශාල අපහාසාත්මක , තර්ජනාත්මක හා ද්වේශ සහගත මාධ්‍ය ව්‍යාපාරයක් රජයේ මෙන්ම රජයට ගැති මාධ්‍ය විසින් පසුගිය දිනවල දියත්කරන ලදී. මෙහි පුරෝගාමී කටයුත්ත සිදුකරන ලද්දේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක හඩ්සන් සමරසිංහ මහතායි. ඔහු විසින් සිය වැඩසටහනකදී ආචාර්‍ය නිමල්කා ප්‍රනාන්දුගේ ප්‍රකාශයක් විකෘති කරමින් ඇය වැනි අයව කොන්කරමින් මරාදැමිය යුතු බවට සිය ගුවන්විදුලි වැඩසටහන මගින්  ප්‍රකාශ කර තිබේ.
මෙම ද්වේශ සහගත  ප්‍රකාශයට විරුද්ධව පැමිණිල්ලක්  ශ්‍රී ලංකා මානව  හිමිකම් කොමිසමට හා පොලිස්පති වෙත ඉදිරිපත් කිරීමට අද උදෑසන දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් පියවර ගන්නා ලදී. මෙම පෙත්සම බාරදීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක , එජාප මාධ්‍ය අංශයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර,  දෙමළ ජාතික සන්ධානයේ  පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ එම්. ඒ. සුමන්තිරන්, නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ  නායක මනේ ගනේෂන් , එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය, පැෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි, ආචාර්්‍ය ජෙහාන් ප්‍රනාන්දු, නිදහසේ වේදිකාවේ කැදවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී වූහ. මෙම අවස්ථාවේදී පැමිණිල්ල බාරගත් මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් විසින් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් හැකි ඉක්මණින් පරීක්ෂණ ආරම්භ කරන බවයි.
1390732_649688905074576_877944518_n
නොවැම්බර් 07 වනදා කොළඹ දී  පැවති විලක්ප සිවිල් සමාජ සමුළුවේ කැදවුම්කාරිනියක් වූ  ආචාර්්‍ය නිමල්කා ප්‍රනාන්දු  ලංකාවේ පවතින ස්ත්‍රීයට එරෙහි ප්‍රචන්ඩත්වය පිළිබද ඇයගේ අදහස් පළකළාය.

‘‘ ස්ත්‍රියට එරෙහිව සිදුවන ප්‍රචන්ඩත්වය අද අප මුහුණ දෙන ප්‍රධාන  ප්‍රශ්නයක්.  මට කාන්තාවක් ලෙස අහන්නට සිදුවනවා රේඩියෝ වැඩසටහනක් ලගදී, මට කළ  වාචික තර්ජනයක්. එමෙන්ම එය මානසිකව සිදුකළ තර්ජනයක්. මට නිවසක් තිබෙනවා. මම අධ්‍යාපනයක් ලබලා තිබෙනවා, මට මූලික අයිතිවාසිකම් තිබෙනවා. නමුත් මට මගේ අයිතිවාසිකම් භුක්තිවිදීමට අවස්ථාවක් නැහැ. මොකද  රජය මාව මරන බවට තර්ජනය කරනවා.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක විසින් මා මරාදැමිය යුතු බවට යෝජනා කරනවා. මම මෙය ඔබත් සමග නිදහසේ බෙදාගන්නවා වුවත්, මම දිනපතා මුහුණ දෙන මානසික ව්‍යාකූළත්වය කෙබදු ද ?  මාව කවුරුන් විසින් හෝ මරාදමයිද කියා කවුද දන්නේ.
ශ්‍රී ලංකා රජය විසින් සහශ්‍රය වෙනුවෙන් අප අත්පත්කරගෙන ඇති සංවර්ධනය ගැන ලස්සන වාර්තාවක් හදන්නට පුලුවන්. නමුත් මම අහනවා සවස 06 න් පස්සේ කොළඹ කාන්තාවකට නිදහසේ ඇවිද යා හැකි ද? යාපනේ ඇවිද යා හැකිද ? නුවර බස් එකක කාන්තාවකට නිදහසේ යා හැකි ද ?  අපිට අපේ අදහස් නිදහසේ ප්‍රකාශ කළ හැකිද කාන්තාවන් ලෙස ?