නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගෙන! “දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා” -අකිල කියයි

0
152
sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
( 11.00 am ) ආරක්ෂක හමුදා නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,බාරකාර ආණ්ඩුව වෙත දැඩි විවේචනයක් එල්ල කරමින් සිටියි.

නිරෝධායන කටයුතු සඳහා පාසල් යොදාගැනීමේ වැඩපිළිවලක් ගැන සඳහන් කරමින් අකිල විරාජ් කාරියවසම් සිය ෆේස් බුක් ගිණුමට වීඩියෝවක් එක්කර ඇත.

ඔහු එහි සඳහන් කර තිබෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලය, ඩී.එස් සේනානායක විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය දැනටමත් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවය.

“දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. පාසැල් ආරම්භ කළ විට රාජකීය විද්‍යාලය ගත්තොත් දරුවන් හත් අට දාහක් දිනපතා එනවා. මේ දවස්වල දරුවන් නැතත් මුරකරුවන්, අනධ්‍යන සේවකයන්ටත් අවධානම්. වෙන ඕන තැනක් ගන්න. දරුවන්ගේ අනාගතය සමග සෙල්ලම් කරන්න එපා,” යනුවෙන් ඔහු පවසා ඇත.

මේ පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ පාසල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා නොගන්නා බවය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සියලු දෙනා නැවත කඳවුරු වෙත කැඳවා ඇති නිසා, දුරස්ථභාවය පවත්වාගෙන යා නොහැකි කඳවුරු ආශ්‍රිතව පිහිටා ඇති පාසල් කිහිපයක් හමුදා සාමාජිකයන්ගේ අවශ්‍යතා සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.

යුධ හමුදාපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් theleader.lk කළ විමසීමක දී අකිල විරාජ් කාරියවසම් හිටපු අධ්‍යාපන ඇමතිවරයා පැවසුයේ, ”කොළඹ ඩී. එස්. එක දැනටමත් පවරාගෙන, 400ක් විතර ගෙනත්. කොළඹ රාජකීය, නාලන්ද, තර්ස්ටන් විතරක් නෙමෙයි, පුත්තලම පැත්තේ ඉස්කෝලත් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවරාගෙන. මේක ඉතාම බරපතල තත්ත්වයක්.” කියාය.

 

සමාජ මාධ්‍ය ප්‍රතිචාර : ඇයි දිලිත්ගේ හෝටලය ගන්නේ නැද්ද ?

International Conference Hall Hambantota ‘මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය’

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වන ඇතැමුන් විමසන්නේ, කොළඹ වැනි ජනාකීර්ණ ප්‍රදේශයක නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවනවට වඩා මිනිසුන් එතරම් නොගැවසෙන හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ ඉදිකර තිබෙන, ‘මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය’ වැනි දැවැන්ත ගොඩනැගිලි මෙවැනි නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා නොගන්නේ ඇයි ද කියාය.

එසේම, ජනාධිපතිවරයාගේ සමීප හිතවතා වන දිලිත් ජයවීර විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා ලබාදුන් කාමර 150 කින් යුත් ඔහුගේ අතිසුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් වන Citrus Waskaduwa හෝටලය හා  කරෝකේ වසන්ත විසින් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙනයාමට ලබාදුන් ඔහුගේ ‘සන්හිල්’ ව්‍යාපාරයේ හෝටල්  හමුදා සාමාජිකයින් නිරෝධායනය යොමු නොකරන්නේ ඇයි දැයි කියා ඇතැමුන් විමසති.
theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here