”නිවට සිවලුෙන් සිහසුනින් බැසයන්න”….බියෙන් අත්මිදෙමු ඇරඹෙයි…

0
210
freedom fm fear
සකලාකාර භිතින්ට එරෙහිව ජයතිලක බණ්ඩාරගේ  බියෙන් අත්මිදෙමු ප්‍රසංගය 2013 නොවැ 18 වනදා සවස 6.30 ශාන්ත ජෝශප් දෙව්මැදුර රංග ශාලවේදි ඇරඹුණි.
මෙහි ප්‍රධාන ආරධිතයින් ලෙසින් අනුරාධපුර පදවියේ රදගුරු තුමන් ද සහභාගිව සිටි මෙම ප්‍රසංගයේ පොල්තෙල් පහන දැල්විම සිදුකරන ලද්දේ නිදහස් වෙළද කලාප කම්කරු අරගලයේදි පොලිසිය විසින් ඝාතනය කරනු ලැබු රෝෂාන් චානකගේ මව් විසිනි.
මෙහි අදහස් දැක්විම් සදහා ප්‍රකට නාට්‍ය හා සිනමාවේදි පරාක්‍රම නිරිඇල්ල මහතා සහ නිදහසේ වේදිකාවේ කැදවුම්කාර මණ්ඩල සාමාජික බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදි.
මංජුල වෙඩිවර්ධන විසින් තම ගීත සගයා වු ජයතිලක බණ්ඩාර වෙත ලියා ඒවා තිබු කවියක්  ද සභාවේදි ඉදිරිපත් කරන්නට යෙදුණි.
පහත පළවන්නේ එ් කවියයි.

රැයෙන් දවාලට වන අපමණ නින්දා
ඇහෙන්නට ලොවට වීණා තත සින්දා
දැයෙන් සමු අරන් යන්නට බැරි හින්දා
බියෙන් මුදාලන හඬකට පද බැන්දා

එකට පියාපත් විහිදුව විහඟුන්නේ
දෙකට නැවී රජවාසල පිළිකන්නේ
දෙමළ රුහිරු බී කුරහන් රොටි කන්නේ
අපට නුඹ ම මිස වෙන කවුරුද ඉන්නේ

උතුර නැගෙනහිර මළගෙදරක් වැන්නේ
උතුර උතුර කඳුළැලි සුළි කැරකෙන්නේ
උතුර දකුණ අමතක වුණු කෙසරුන්නේ
වතුර පොදක් වත් කොහොමද ඉල්ලන්නේ

එහෙව් රටක ඇස් අරවන හඬක් ඇතී
දෙඇස් ඇරුණු කල රැය වුවත් නිදි නැතී
පහත් කෙරුණු අත් එසවෙන දිනක් වෙතී
දහස් දස දහස් ගණනින් රොද බඳිතී

අචපල ස්වර අතර අචපල පද ඇතිරූ
කටහඬ අතට අරගෙන ලෙලවන සොයුරූ
රජුනට එරෙහි සටනට බිජුවට වැපිරූ
රජරට උපන් රජු නුඹ මිස වෙන කවුරූ

සාදු හදවතින් නැඟ එන අනුරාව
නෑසු දෙසවනින් ඉන්නට හැකිවාද
දෑත ඔසවමින් නුඹ අඬගැසුවාම
ඈත දුරක හිටියත් අපි නුඹ ගාව

රැයේ මොන හඳක් නැඟුණත් වෙඩි වදිනා
පයේ හැපෙන තරමට අඳුරම ගලනා
බියේ නොඉඳ අත්මිදුමට ගී ගයනා
ජයේ නුඹම පමණෙකි, ඔව් නුඹ පමණා

මංජුල වෙඩිවර්ධන
2013 නොවැම්බර් 16

Comment and join the discussion