නිහාල් ද සිල්වා කලාකරුවා සිය කලා දිවියේ අභිමානවත් 55 වසර සමරයි

0
11

මීගමුව පුරවරයෙන් බිහි වූ තවත් දක්ෂ රංගධරයෙක් වන නිහාල් ද සිල්වා කලාකරුවාගේ කලා දිවියේ අභිමානවත් 55 වැනි වසර අද එනම් 2024/06/29 දින මහත් හරසරින් සමරනු ලැබීය. අද දින සවස මෙම සැමරුම් උත්සවය පැවැත්වූයේ මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලීය රංග ශාලාවේදීය.
මේ උත්සවය සඳහා, පුජ්‍ය රාජාංගනයේ සෝනුත්තර ගරු ස්වාමින් වහන්සේ, ප්‍රජාපති ගෝතමී ආරාමාධිපතිනි, තලාවේ සුදස්සනී ගරු මෙහෙණින් වහන්සේ සහ මීගමුව කලාපයේ අනුනායක ගරු සිස්වාන් කෲස් පියතුමා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වුහ.

වර්ෂ 1967 සිට අද දක්වාම පුරා වසර 55 ක කාලයක් නිහල් ද සිල්වා කලාකරුවා වේදිකා නාට්‍ය මෙන්ම ටෙලි නාට්‍ය හා චිත්‍රපටි රැසකටද රංගනයෙන් දායක වී තිබේ. එලෙසම ඔහු විසින් මේ වන විට කෙටි චිත්‍රපටි 04 ක් අධ්‍යක්ෂණය කර ඇති අතර ඔහුගේ 05 වැනි කෙටි චිත්‍රපටය ඩී වී ඩී තාක්ෂණය ඔස්සේ ඔහුගේම කැමරාවක් භාවිත කරමින් පටිගත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු විසින් ප්‍රකාශ කර තිබුණි. කලා දිවියේ අභිමානවත් 55 වෙනි වසර සමරන නිහාල් ද සිල්වා කලාකරුවාට මේ වන විට කලා භූෂණ සම්මානය ඇතුළු තවත් සම්මාන රැසක් ද ඔහුගේ රංගන දිවිය පුරාවට හිමි වී තිබේ.
මේ සැමරුම් උළෙල නර්තනාංග කිහිපයකින් වර්ණවත් වූ අතර නිහාල් ද සිල්වා කලාකරුවාගේ එකම දියණිය වන හරිස්චන්ද්‍ර විද්‍යාලයේ නර්ථනාචාරීණිය ලෙස කටයුතු කරන ශෂී මධුකා ද සිල්වා මහත්මිය ඉදිරිපත් කළ නර්තනාංගය මෙම උත්සවයේ කාගෙත් සිත් ගත් කැපී පෙනෙන අංගයක් විය.
එලෙසම මෙම සැමරුම් උත්සවයේදී මීගමුව මුස්ලිම් සහෝදරත්වය සහ මුස්ලිම් ආගමික සංහිඳියාව නියෝජනය කරමින් ප්‍රකට දේශක , අබ්දුල් රහුමාන් සහ සමාජ ක්‍රියාකාරීකයෙකු වන සුජායිල් මුනියර් යන මහත්වරුන් විසින් සුවිශේෂී සළුවක් නිහාල් ද සිල්වා කලාකරුවාට පළඳවමින් විශේෂ ගෞරව බුහුමනක්ද පිරිනමන ලදී.

මෙම සැමරුම් උත්සවය සඳහා මීගමුව පුරවරයෙන් බිහි වූ නාට්‍යවේදීන්, රංගනවේදීන් ඇතුළු කලාකරුවන් රැසක් ද එලෙසම නිහාල් ද සිල්වා කලාකරුවා පදිංචි මීගමුව අඟුරුකාරමුල්ල ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.

හරිස්චන්ද්‍ර විද්‍යාලයේ නර්ථනාචාරණී ශෂී මධුකා ද සිල්වා