නෙල්සන්වාස්ගේ හදවත.

0
653

එයාගෙ හදවතෙන් සීයට හැත්තෑවක් වැඩ කරන්නෙ නෑ කියල දැනගත්තාම හදවත සම්පූර්ණයෙන්ම ඇණ හිටිය වගේ දැනුණ. ඔයා, හදවතේ විතරක් නෙමෙයි ලේවලටම කා වැදුණු චරිතයක් නිසාම මේ සටහන ලියන්න හිතුණ.


ඉස්සර මට රොෂාන් පෙරේර ඩ්‍රම්ස් ගහනව බලන්න පිස්සුවක් තිබ්බ. මං දන්නව අනූව දශකෙ විතර ඉපදිච්ච ගොඩක් උන්ට ඒ පිස්සුව තිබුණ, අදටත් තියෙන උන්මාදයක් බව. අදටත් එක එක බෑන්ඩ්වල ඩ්‍රම්ස්කාරයෝ ඩ්‍රම උඩ නැග ගෙන කොන්ඩෙ දෙපැත්තට පද්ද පද්ද වැඩකෑලි දාද්දි, ඒ ෆලෝ කරන්නෙත් රොෂාන් හදපු රෝල් බව දන්න මිනිස්සු දන්නව.


රොෂාන් පෙරේරා හිටියෙ සන්ෆ්ලවර් එකේ. 2012ට කලින් සන්ෆ්ලවර් තමයි ආසම බෑන්ඩ් එක. එලිමහන් ලයිව් ශෝ බලපු,සන්ෆලවර් සමඟ ප්‍රියා,ප්‍රින්ස්, නාමල්, අතුල ශ්‍රී, විජය බණ්ඩාර, ජය ශ්‍රී, ෆ්‍රෙඩී, දීපාල්, මාලනී, කපුගේ වගේ කැසට් අහපු උන්ට සන්ෆ්ලවර් කියන්නෙ අමුතුම වෙනස් ම රහක් කියන එක අමුතුවෙන් මතක් කරන්න ඕනි නැති දෙයක්. බැජී වගේ අලුතෙන් ආපු බෑන්ඩ්, සන්ෆ්ලවර්ලා දෙදාස් දහයෙ විතර ගහපු නන්ස්ටොප් එහෙම පිටින් කොපි පේස්ට් කරද්දි, උන්ගෙ සින්දු තමන්ගෙ වගේ ස්ටේජ් එකේ ප්ලේ කරද්දි පැත්තකින් හිනාවක් දාල දෙදාහෙන් පස්සෙ උන් දිහා කින්ඩියට බලන්න හිතෙන්නෙ ඒ නිසා.


ඉස්සර ඉතින් මමත් ඒ ගොඩේ එකෙක්. සන්ෆ්ලවර් ශෝ එකක් බලන්න පයින් හැතැම්ම ගණන් ගිහින් සමහර වෙලාවට ටිකට් එක ගන්න සල්ලි නැතුව අන්තිම නන්ස්ටොප් එකටයි ජාතික ගීයටයි ග්‍රවුන්ඩ් එකට හොම්බ දාල ආපහු ආව එකෙක්. උන්ගෙ මියුසික් මාර බැලන්ස්.පෑම් පෑම් ගාන ඕනිවට වඩා වැඩි මියුසික් නැතුව, ලස්සනට ගානට මියුසික් තිබුණු බෑන්ඩ් එකක්.
මං දන්න විදිහට ආර්ටිස්ට් බැකින්වලට කලින් බෑන්ඩ් සෙසන් එක පටන් ගත්ත මුල්ම සංගීත කණ්ඩායමත් සන්ෆ්ලවර්. ඒකෙදි උන් ගොඩක් වෙලාවට කිව්වෙ උන්ගෙම සින්දු. නෙල්සන් වාස් තමයි බෙස්ට්ම. තව නොයෙල් රාජ්, රුවන්,මන්ජු, ඒ සෙට් එකත් අමතක කරන්න බෑ. නෙල්සන් වාස් කියන සමහර සිංදුවලට නටන්න නෙමෙයි, ගල් වෙලා වගේ අහන් ඉන්නත් පුළුවන්. ඒ ගොඩක් සින්දු නෙල්සන්ම ලියපු හින්ද, දැං ඉන්න සමහරු ඒවගෙ ඔරිජිනල් ආර්ටිස්ට් කවුද කියල වැඩිය දන්නෙත් නැති හින්ද, මට මතක් වෙන එක නවත්ව ගන්න කොහොමත් බැරිත් හින්ද සිංදු කීපයක මුල් පේලි ටිකක් මෙතන ලියනව.

*ඉපදෙන්නෙ තනියම
*ඉපදුනු දා පටන්ම
*පියාඹන්න හිතුවට
*ආදරේට තරහ වෙලා
*දින්න දාට කොල්ලෝ
*දෝසි දාන සූසී
*විකටයා මමයි
*එලාර දුටු ගැමුණූ
*බෝතලේ මගෙ බෝතලේ
*මගේ පුතා රජා කියල
*ඔබ මගෙ නෙමෙයි
*ගහ දන්න අය හට
*පෙම් යුවලක් තනිවෙල මහ කාන්තාරෙක
*සයුරද නිදන වෙලාවෙ
*අත පාන්නවත් අතක් නොමැති නිසානේ
*සෝඩ මදිවෙලා
*මගෙ නෝනා හරි වසයි
*කන බොන කොස් ඇට මීයෙක්

සම්භාවනීය පරම්පරාව විවේචනයට ලක් කරද්දි වුණත් නෙල්සන් වාස්ගෙ සින්දුවල අමුතු රහක් තිබුණ.

එළාර දුටු ගැමුණු එකෙන් ඌ කතා කළේ, යුද්දෙ ගැන. යුද්දෙ හිඟන්නගෙ තුවාලෙ වෙද්දි දේශපාලකයො ඒකෙන් වාසි ගන්න හැටි මිනිහ ස්ටේජ් නැගල කෑ ගහල කිව්ව. පෝය දවසට නත්තලට මුදලාලි දන් පින් කරාට, කන්න බත් කටක් ඉල්ලගෙන වෙන දවස්වලට කඩේට එන හිඟන්නන්ට ගහල පන්නන හැටි අත පාන්නවත් අතක් නොමැති නිසානෙ සින්දුවෙන් කිව්ව. ඒක හරි පණ තියෙන වොයිස් එකක් හින්දත්, සරල වචන එක්ක අමුවෙන්ම වදින හින්දත් මං හිතන්නෙ දන්සැලක දානව නම් දාන්න හොඳම සින්දුව අතපාන්නවත් අතක් නොමැති නිසානෙ සිංදුව කියල. මගේ පුතා රජා කියල කරේ තියාගෙන ගිහින් දවසක අපේ කරේ යන තාත්ත ගැන වුණත් ස්ටේජ් එකක කියද්දි, සින්දුවෙ මැදදි පළාත දෙවනක් වෙන්න තාත්තේ කියල කෑ ගහද්දි නටන්න බලාගෙන ෂෝ එකට යන කාගෙ කාගෙත් කකුල් එක පාරටම නැවතුණා. තාත්ත ගැන අමුතු ආදරයක් දැනෙන්න පටන් ගත්ත.

සන්ෆලවර්ල හදපු ගොඩක් සින්දුවල මෙලඩිවල අයිතිකාරයා විතරක් නෙමෙයි ලංකාවෙ මුලින්ම ඩ්‍රමර්ට සපෝර්ට් වෙන්න පෑඩ් එකක් ප්ලේ කරපු මනුස්සයත් නෙල්සන්. වයසට ගියාට වයසට යන්නෙ නැති මේ මනුස්සයගෙ වචන වගේම ජීවිතෙත් හයිය වෙලා, ආයෙත් දවසක ස්ටේජ් එකක දකින්න බලාගෙන ඉන්නව!

ආදරෙයි🖤

(දිලිප් ප්‍රසන්නගේ ⁣⁣⁣ෆේස් බුක් පිටුවෙනි )