නේෂන් ලංකා ෆයිනෑන්ස් සහ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ඒකේ කෝටි 5700 ක මූල්‍ය වංචාව ??

0
135

 

කෝටි 5700 ක මූල්‍ය වංචාවක්
මීගමුවේ තැන්පත්කරුවන් 39 කගේ
කෝටි 35 කට අධික මුදලකුත් ඒ අතරඉතාම සූක්ෂම ලෙස විශ්වාසය ගොඩනඟාගෙන, වැඩි පොලියක් ලබා දෙන බව කියමින් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටි 5700 මුදලක් වංචා කළ බව කියන නේෂන් ලංකා ෆයිනෑන්ස් පී.එල්.සී. සහ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්  ලිමිටඩ්  යන මූල්‍ය ආයතනවල සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂකවරුන් 11 දෙනෙකුට  එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.
වාර්තා වෙන අන්දමට රටේ ප්‍රසිද්ධ මුල්‍ය ආයතනවල සේවය කරන ඒජන්තවරුන් පිරිසක් නේෂන් ලංකා ෆයිනෑන්ස්  පී.එල්.සී. නමැති ආයතනයට බඳවාගෙන ඔවුන් විසින් මෙහෙය වූ සිය ගනුදෙනුකරුවන්ගේ කෝටි ගණනක මුදල් වැඩි පොලියක් ලබා දෙන බව පවසමින් නේෂන් ලංකා ෆයිනෑන්ස් ආයතනය වෙත එම මුදල් තැන්පත් කරන ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව වැඩි පොලි ලාභ අපේක්ෂාවෙන් මෙතෙක් වාර්තා වී ඇති අන්දමට රටේ විවිධ පළාත් වල වෙසෙන ගනුදෙනුකරුවන් .800 ක පමණ පිරිසකගේ රුපියල් කෝටි 5700ක මුදලක් මෙලෙස වංචා කර ඇති බව හෙළි වී තිබේ.

මෙලෙස මුදල් තැන්පත් කළ වෙන්නප්පුව ප්‍රදේශයේ වෙසෙන ටානියා ජෝර්ජ් මෙනවිය ප්‍රකාශ කළේ මීගමුව ප්‍රදේශය පුරාවට මෙලෙස මුදල් තැන්පත් කළ ගනුදෙනුකරුවන් 39 කට අධික ප්‍රමාණයක් මේ වන විට මිගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති බවයි. එමෙන්ම ඇය වැඩිදුරටත් සඳහන් කළේ එලෙස මීගමුව ප්‍රදේශයේ වෙසෙන ගනුදෙනුකරුවන් විසින් රුපියල් කෝටි 35 කට අධික මුදලක් මේ මූල්‍ය ආයතනයේ තැන්පත් කර ඇති බව තමන්ට වාර්තා වූ බවයි .
මෙහිදී ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ තමන් ව්‍යාපාරිකාවක් ලෙස එකතු කරගත් මුදලක් දැනට වසර කිහිපයකට පෙර කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතනයේ ස්ථාවර ගිණුමක (FD)තැන්පත් කළ බවයි. එම ආයතනයේ දී හඳුනාගත් අනුරාධා රාජපක්ෂ නමැති මූල්‍ය ඒජන්තවරිය සමග දැඩි විශ්වාසයක් සහ බැඳීමක් ඇතිකර ගත් බවත්, ඉන් පසුව වසර කීහිපයක් ගත වුණු විට ඇය විසින් තමාට දුරකථනයෙන් කතා කොට තමා කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතනයෙන් ඉවත් වූ බවත්, තමා දැන් සිටින්නේ නේෂන් ලංකා ෆයිනෑන්ස්  ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ රැකියාවක බවත් එහි මුදල් ආයෝජනය කරන්නේ නම් දැනට රටේ වෙනත් බැංකු සහ මූල්‍ය ආයතන වලට වඩා ඉතාම වැඩි පොලියක් ස්ථාවර ගිණුම් වෙත ලබා දෙන බවද  එම ඒජන්තවරිය ප්‍රකාශ කර ඇත. සොයා බැලීමේදී ද නේෂන් ලංකා ෆයිනෑනස් පී.එල්.සී. ආයතනය යනු ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් වන අතරම දිවයින පුරා ශාක 44 ක් ඇති බවද ඇයට දැනගන්නට ලැබී තිබේ. ඒ අනුව එම ආයතනයේ මීගමුව ශාඛාව වෙත ගිය ඇයට ඇයගේ විශ්වාසය දිනා ගෙන සිටි අනුරාධා රාජපක්ෂ නමැති මූල්‍ය ඒජන්තවරිය, එහි කළමනාකාර තනතුරක රැකියාවක් කරන බවටත් ඒත්තු ගැන්වී ඇති අතර ඇය විසින් නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනයේ මීගමුව ශාඛාවේ කළමනාකාරුවන් සහ අධ්‍යක්ෂකවරුන්ද එහිදී හඳුන්වා දී තිබේ.  අනුරාධා රාජපක්ෂ නමැති එම ඒජන්තවරියද එම ආයතනය තුල කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතනයේ  කළ රැකියාවට වඩා සැලකිය යුතු නිලයක්  දරන බව ද  ටානියා ජෝර්ජ් මෙනවියට පෙනී ගොස් තිබේ.
ඒ අනුව ඇය විසින් රුපියල් මිලියන 05 කට වැඩි මුදලක් එම ආයතනයේ තැන්පත් කර ඇති අතර ඇයගේ වැඩිමල් සොහොයුරා සහ වැඩිමහල් සොහොයුරියද මෙලෙස තවත් මිලියන ගණනාවක මුදලක් වැඩි පොලීයක් අපේක්ෂා කරමින්  තැන්පත් කර තිබේ.  එලෙස මුදල් තැන්පත්  කිරීමේදී ඔවුන් ටානියා ජෝර්ජ් මෙනවිය වෙත පවසා තිබුණේ වාණිජ සුරැකුම්පත් (commercial papers) ලබා දෙන බවකි. ඇය ඇතුළු ඇගේ සොහොයුරා සහ සොහොයුරියද මුදල් තැන්පත් කළේ නේෂන් ලංකා ෆයිනෑන්ස් ආයතනයේ  වුවද ඔවුන් වෙත ලබා දී තිබුණේ  සිංහ කැපිටල් ඉන්වෙස්ට් ලිමටඩ් ආයතනයේ පොරොන්දු සහතික පත්‍ර හෙවත්  ප්‍රොමිසරි නෝට්ටු සහතික පත්ය. ඒ පිළිබඳව අනුරාධා රාජපක්ෂ නමැති එම ඒජන්තවරියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා තිබුණේ ඒ පිළිබඳව අවිශ්වාසයක් හෝ ප්‍රශ්නයක් හෝ ඇතිකර නොගන්නා ලෙසත්, සිංහ කැපිටල් ඉන්වෙස්ට්ස්මන්ට් ලිමිටඩ් යනු නේෂන් ලංකා ෆයිනෑන්ස් පී.එල්.සී. ආයතනයේ මව් ආයතනය බවත්, මේ දිනවල  ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නේෂන් ලංකා ෆයිනෑන්ස් පී.එල්.සී. ආයතනය  සම්බන්ධයෙන් විගණනයක් හෙවත් ඔඩිට් එකක් සිදු කරන බවයි. ඒ නිසා එය ප්‍රශ්නයක් කර නොගන්නා ලෙස ඇය තරයේම ඔවුන්ට එසේ පවසා තිබිණි.  ටානියා  ජෝර්ජ් මෙනවිය පවසන්නේ මාස කිහිපයක් යනතුරු ඔවුන් පොරොන්දු වූ ලෙස එම පොළී මුදල් ද ලබා දුන් බවකි. නමුත් මාස කිහිපයක් ගතවීමේදී එම පොළී මුදල් නොලැබුණු බවත්, ඒ පිළිබඳව පසුව ප්‍රශ්න කිරීමේදී විවිධ වූ නිදහසට කරුණු  කියමින් එය මඟ හරින තත්ත්වයක් තමන්  දුටු බවත් ඒ පිළිබඳව අවිශ්වාසයක් ඇතිවූ බවත්, එම සැකය නිසා තමන්  මීගමුව මූලස්ථාන පොලිසි ස්ථානයට පැමිණිලි කළ බවත්ය.
ඉන්පසුව කළ සොයා බැලීමේදී ඇයට දැනගන්නට ලැබී තිබුණේ මේ ආකාරයෙන් මුදල් වංචාවට හසුවුණු දැනට පොලිස් ස්ථානවලට පැමිණිලි කළ ගනුදෙනුකරුවන් .800 ක පමණ පිරිසක් සිටින බව සහ ඔවුන් විසින් රුපියල් කෝටි 5700 ක පමණ මුදලක් තැන්පත් කර මෙලෙස මෙම අති විශාල මුල්‍ය වංචාවට හසු වී ඇති බවයි.

මීගමුව,කුරණ ප්‍රදේශයේ සිංහ හාර්ඩ්වෙයාර් ආයතනය පවත්වාගෙන යන සුසන්ත සංජීව මහතා සහ වාසනා දිල්රුක්ෂි මහත්මියද රුපියල් මිලියන 05  බැගින් මෙම ආයතනයේ තැන්පත් කර මෙම මුදල් වංචාවට හසු වී ඇති ව්‍යාපාරික යුවලකි. ඔවුන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය ණය මුදල් ලබාගැනීම සඳහා සොෆ්ටලොජික් ෆයිනෑන්ස් ආයතනයට ගිය විට එහි සේවයේ යෙදී සිටි විදූ උදේශිකා නම් ඒජන්තවරියක් හඳුනාගෙන ඔවුන් සමග ඉතාමත් දැඩි විශ්වාසයක් හා සබඳතාවයක් ගොඩනගාගෙන තිබුණි. වසර කිහිපයක් ගෙවුණු පසු ඇයද පවසා ඇත්තේ ඇය දැන් සිටින්නේ නේෂන් ලංකා ෆයිනෑන්ස් ආයතනයේ බවත්,   මෙහි මුදල් තැන්පත් කරන අයට විශාල පොලියක් ලබාදීමට හැකි බවත්ය.  මෙලෙස ඔවුන් ද ඇය සමග බැඳී තිබුණු සබඳතාව නිසා සහ කාලයක් පටන් ඇය පිළිබඳ වූ දැඩි විශ්වාසය හේතුවෙන් කිසිදු සැකයකින් තොරව රුපියල් කෝටියක් හෙවත් මිලියන 10 ක් මේ දෙදෙනා විසින්ද තැන්පත් කර තිබේ.
මේ ආකාරයෙන් මීගමුවේ ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක තැන්පත්කරුවන් මෙම මූල්‍ය වංචාවට හසුව තිබේ. මෙය විශ්වාසය පෙරදැරි කරගෙන ඉතාම සූක්ෂම ලෙස සැලසුම් කළ සහ ගනුදෙනුකරුවන් ඉතාම සූක්ෂම ලෙස රැවටීමකට ලක්කල නීති විරෝධී මූල්‍ය වංචාවක් ලෙස ද හඳුන්වා දිය හැක.
මේ වනවිට පොලිසියට ඉදිරිපත් වී ඇති එක් අධ්‍යක්ෂකවරයෙක් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත. තවත් අධ්‍යක්ෂකවරුන් 10 දෙනෙකුට  නොතිසි නිකුත් කර තිබේ.

එමෙන්ම මේ වන විට මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මීගමුව මුලස්ථාන පොලිස් ස්ථානයට අමතරව ගාල්ල, අනුරාධපුර ,පොළොන්නරුව සහ කොල්ලූපිටිය යන පොලිස් ස්ථාන වලට ලද පැමිණිලි පදනම් කරගනිමින් මෙි සම්බන්ධයෙන් තවත් වැඩිදුර විමර්ශන පැවැත්වේ.
වාර්තා වන පරිදි මෙම මූල්‍ය වංචාවෙන් අගතියට පත් මීගමුව ප්‍රදේශයේ වෙසෙන තැන්පත්කරුවන්ගේ  පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ  ඉන්දික සිල්වා මහතා පෙනී සිටියි.

මෙම මුල්‍ය වංචා සිදුවීම සම්බන්ධයෙන්මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන දෙවන නඩු වාරය අද දින (07/04/2025) පස්වරුවේදී පැවැත්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here