පක්ෂග්‍රාහී මාධ්‍ය ආයතනවලට එරෙහිව සිවිල් ක්‍රියාකාරිකයන් සටනට !

0
148

WhatsApp Image 2019-01-10 at 19.03.31

පක්ෂග්‍රාහී ලෙස මාධ්‍යකරණයේ නියුතු මාධ්‍ය ආයතනවලට විරෝධය පළ කිරීමේ විරෝධතාවයක් අද (10) කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්විණි.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවය සඳහා එක්ව සිටි අතර ඔවුන් කලු ඇඳුමින් සැරසී විරෝධතාව පැවැත්වීය.
එහිදී අදහස් දැක්වූවන් ප්‍රකාශ කළේ බොහෝ මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් සිටින බවයි. මහ ජනතාවට අයත් රූපවාහිනී සහ ගුවන් විදුලි සංඛ්‍යාත භාවිතා කරමින් බොහෝ මාධ්‍ය ආයතන මාධ්‍ය අවභාවිතා කරන බවත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු මාධ්‍ය දේශපාලනඥයන් වෙනුවෙන් සහ මාධ්‍ය හිමිකරුවන් වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් විරෝධතාකරුවන් අවධාරණය කරයි.
බොහෝ මාධ්‍ය තමන් අංක එක බව පවසමින්, අංක එක බවට පත්වීමට මාධ්‍යකරණයේ නාමයෙන් ඕනෑම ජඩ වැඩක්, ඕනෑම නින්දි ක්‍රියාවක් සිදු කරන බවත්, එවැනි මාධ්‍ය ආයතනවලට එරෙහිව සිය විරෝධය අඛණ්ඩව සිදු කරන බවත් විරෝධතාවය අතර අදහස් දැක්වූවන් ප්‍රකාශ කළේය.
සේයා රූ – අජිත් සෙනෙවිරත්න
උපුටා ගැනිම – ලංකා නිව්ස් වෙබ්
 

 

මාධ්‍ය ආයතන හිමිකරුවෙකු හෝ මාධ්‍යකරුවෙකු ලෙස ඔබ කරමින් සිටින්නේ කුමක්ද? මාධ්‍ය සදාචාරය හා සමාජ වටිනාකම් පිළිබඳව, නැවතත් ඔබට සිහි කැඳවන්නට සිදුව ඇත්තේ ඔබ පසුගිය ඔක්තෝබර් 26 වනදා සිදු වූ ව්‍යවස්ථා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණයේම කොටස්කරුවෙක් ලෙස, අමු අමුවේම මාධ්‍යකරණයේ අවම සමාජ වටිනාකම් පවා බිඳ දමමින් සාහසික මාධ්‍යකරණයක යෙදුනු නිසාය. මෙම සාහසික මාධ්‍යකරණය අද ඊයෙක වුවක් නොවේ. නමුත් විශේෂයෙන් පසුගිය ඔක්තෝබර් 26න් පසු ඔබගේ මාධ්‍යකරණයේ භූමිකාව විසින් පෙන්වා දෙන්නේ ජනමාධ්‍ය වලට කොතරම් අවිචාරී විය හැකිද යන්නයි. එහිදී නිශ්චිත දේශපාලන කණ්ඩායමක ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී ක්‍රියාවන් නියෝජනය කරමින් හා එය සාධාරණීකරණය කරමින් සිදු කල ක්‍රියාවන් විසින් උල්ලංඝනය කලේ, මාධ්‍ය විසින් ප්‍රජාතන්ත්‍රවාදී හා අවම සදාචාරසම්පන්න භාවිතයක යෙදෙනු ඇතැයි යන ජනතාවගේ අපේක්ෂාවය. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යකරණයේ යෙදෙන ඔබ විසින් භුක්ති විඳින්නේ හා ලාභ උපයන්නේ, මහ ජනතාවගේ දේපලක් වන සංඛ්‍යාත වලින් බව අප සිහිපත් කරනු කැමැතිය. ඒ නිසාම මහජනතාවට ඔබගේ භාවිතයන් ප්‍රශ්න කිරීමට අයිතියක් ඇත. එම අයිතිය මුර්තිමත් කිරීම වෙනුවෙන් ඔබගේ මාධ්‍ය අවභාවිතය පිළිබඳව අවධානයෙන් සිටින පුරවැසියන් ලෙස, ජනතාවට වගවන සදාචාරසම්පන්න මාධ්‍ය භාවිතයක් සඳහා මෙම කරුණු කිහිපය ඔබට මතක් කර දීමට කැමැත්තෙමු.

සත්‍ය ගවේෂණය හා වාර්තාකරණය
ඔබගේ වාර්තා කිරීමට අදාල කරුණු නිවැරදිව ලබා දීම හා එම වාර්තා නිවැරදි බවට වගවීම අත්‍යාවශ්‍යය. උදාහරණයක් ලෙස මෑතකදී එක්තරා මාධ්‍යයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසිරවීමට ගත් පියවර ව්‍යවස්ථා විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නඩු තීන්දුව වාර්තා කොට තිබුනේ, “ජනපති ප්‍රකාශයට පත් කල මහා චන්දය ශ්‍රේෂ්ඨාධිකරණය අත් හිටුවයි” යනුවෙනි. මෙය නඩු තීන්දුව වාර්තා කිරීමක් නොව මුළුමනින්ම කරුණු විකෘති කිරීමකි. මෙම කාල සීමාව තුල මෙවැනි අභුත පුවත් මැවීම් තුළ, මාධ්‍ය විසින් ප්‍රේක්ෂක, ග්‍රාහක හා පාඨක සමාජය අපහරණයට ලක් කරනු ලැබීය.

ස්වාධීනත්වය
මාධ්‍ය මුදලාලිකරණය වීම හරහා එළිබසින, ඔබලාගේ දේශපාලන හා ආර්ථික අභිලාශයන් පිහිටා ඇත්තේ, ‘ජනමාධ්‍ය ස්වාධීන විය යුතුය’ යන මහජන අපේක්ෂාවට එපිටින් බව රහසක් නොවේ. එහෙත් එම අභිලාශ ඔබගේ මෙන්ම තවත් කිහිප දෙනෙකුගේ පටු අභිලාශයන් මිස සමස්ත මහජනතාවගේ කැමැත්ත හෝ අවශ්‍යතාවය නොවන බව මතක් කිරීමට කැමැත්තෙමු. සෑම කතාවකටම අවම වශයෙන් දෙපැත්තක් ඇත. මෙම දෙපැත්තටම අදාළ කරුණු සන්නිවේදනය කිරීමට නොහැකි වුවද, අපක්ෂපාති හා සාධාරණ ලෙස එම කතාවට අදාළ සංධර්භය එළි කිරීම ඔබගේ වගකීමකි.

හිංසනය අවම කිරීම
විවිධ ආණ්ඩු මගින් ක්‍රියාත්මක කරන ලද වර්ගවාදී සහ ජාතිවාදී ක්‍රියාකලාපයන් වල ප්‍රතිඵලයක් ලෙස, රටට අත්පත් කර දුන් තිස් වසරක සිවිල් යුද්ධයෙන් අප සැවොම හෙම්බත්ව ඇත. එම ක්‍රියාවලිය විසින් හා දේශපාලන ක්‍රියාවල අත්තනෝමතිකත්වය විසින් ජාතිවාදය වපුරා ඇති බිමක, තවදුරටත් මේ රට එම දිශාවට රැගෙන නොයාමට ඔබට විශාල වගකීමක් ඇත. සිංහල, දෙමළ, මුස්ලිම් හා අනෙකුත් ජනවර්ග අතර සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන්, ඉතිහාසය විසින් ඔබට පවරා ඇති වගකීම මග හැර, ජාතිවාදය පෝෂණය කරන අධිපති මතවාදයන් නියෝජනය කරන්නේ මන්ද? එසේම ඔබගේ බොහෝ වාර්තාකරණයන්ගෙන් පසුව වින්දිතයන්ට අත්වන ඉරණම පිළිබඳ ගණන් බැලීමක් සිදු නොකරන බව පැහැදිලිය. උදාහරණයක් ලෙස මෑතකදී මාතර සිදුවූ පාසල් සිසුවෙක් විසින් තවත් සිසුවෙක් මරා දැමීමට අදාළ රූප පෙළ, අමු අමුවේම ප්‍රචණ්ඩත්වය ප්‍රචාරය වන අයුරින් පෙන්වීම ආදිය ඉතාම නින්දිත මාධ්‍ය භාවිතයක් බව නොකිවමනාය. මේ ආකාරයෙන්ම ස්ත්‍රීන්, ළමුන්, සමරිසි ප්‍රජාවන්ගේ හා අනෙකුත් චුදිතයන් සම්බන්ධ වාර්තාකරණයන්වලදී කිසිඳු සදාචාර වටිනාකමකින් බැඳී සිටින බවක් පෙන්නුම් කරන්නේ නැත. ඒ අනුව ඔබ විසින් යොදා ගන්නා මාධ්‍ය රූප සහ වචනාර්ථ පිළිබඳ වග වන ලෙස ඔබට මතක් කර දීමට කැමැත්තෙමු.
වගවීම
හරවත් මාධ්‍ය භාවිතයක් ජනතාවට වග විය යුතුය. එම වගවීම ඇත්තේ සාධාරණ, යුක්තිගරුක, සියලු දෙනාට නිදහසේ ජීවත් විය හැකි සමාජයක් ඉල්ලා සිටින බහුතර ජනතාවට මිස, ආර්ථික වාසි මුල් කරගත් සුළුතර පිරිසකගේ අභිලාශවලට නොවන බව මතක් කර දීමට කැමැත්තෙමු.
මාධ්‍යවල පැවැත්ම ඇත්තේම ප්‍රජාතන්ත්‍රවාදී උරුමයක් වන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තුලයි. පරමාධිකාරිවාදී අත්තනෝමතික පාලනයන් තුල මාධ්‍යකරුවා අණබෙර ගසන්නෙකුට නැතිනම් වන්දි භට්ටයෙකුට වෙනස් නොවේ. ඔබේ වෘත්තියට අර්ථයක් හා වටිනාකමක් එක් වන්නේ ඔබගේ ප්‍රකාශන හා තොරතුරුවල ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ඔබ ආරක්ෂා කරන්නේ නම් පමණි. තවද ඔබට හිමිව ඇති මාධ්‍ය බලපත්‍රය යනු, රටේ පාලන බලය හැසිරවීම වෙනුවෙන් ප්‍රධානය කළ බලපත්‍රයක් නොවන බව මතක් කිරීමට කැමැත්තෙමු. ඒ අනුව සමස්ථ මාධ්‍ය භාවිතාව තුළ සුරැකිය යුතු සමාජ වටිනාකම් ගැන සංවාදයට එළැඹීම හා ඒ වෙනුවෙන් ක්‍රියාකිරීම ඔබගේ වගකීමකි. අවසාන වශයෙන් කිව යුත්තේ අප ඔබ දෙස බලා සිටින බවය.
ශ්‍රී ලංකාවේ කාන්තාවෝ
අලුත් පියාපත්
අලුත් පරපුර
මාරුතයේ හඬ
දිදුලන හදවත
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු
වෘතීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය
සාධු ජනරාව
නැගී සිටිමු ශ්‍රී ලංකා
චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය
අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥවරු