පගා කාරයන්,පගා මරුවන් ආදී වශයෙන් හඳුන්වන පුද්ගලයන් විසින් ගනු ලැබූ අල්ලස දූෂණ, වංචා සහ අල්ලස් වශයෙන් විස්තාරණය වූ පසු එය”ජරාව”යන මෑත කාලීන අව වහරින් හැඳින්වෙන බව අපි දනිමු. ඒ අනුව පගා මරුවන් යන වදන මේ වන විට “ජරා පප්පලා”ලෙස යාවත්කාලීන වී ඇත.එවන් තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අල්ලස් මුළුමනින්ම මැඬලීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව සකස් කිරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලබා ගැනීමේ දී අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය පොරොන්දු වී ඇතැයි ද කියනු ලැබේ.ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් විසින් දින දහහතරක් තුළ අධ්‍යනයක් කරමින් අදාළ වාර්තාව සකස් කිරීමට පියවර ගෙන ඇති බව ද එම වාර්තාවේ සඳහන් ය.රාජ්‍ය ආයතනවල දූෂණ හා අක්‍රමිකතා වැළැක්වීමේ දී පවතින අඩු පාඩු සොයා ගනිමින් ජාත්‍යන්තර ආයතන එහි දී ගන්නා ක්‍රියාමාර්ග ද සැලකිල්ලට ගනිමින් වාර්තාව සකස් කෙරෙන බව පැවසෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය පිළිබඳ සමාලෝචන සාකච්ඡාව ලබන ජුනි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කිරීමට නියමිත අතර එම සමාලෝචනයට පෙර මෙම දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කිරීමට නියමිත බව ද පැවසෙයි.ඉන්පසු ශ්‍රී ලංකාව දූෂණයෙන් තොර රටක් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කරන සහතිකය මත ආයෝජන අවස්ථා පුළුල් කර ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා තිබේ.මෙහි දී ද ශ්‍රී ලංකාව මූල්‍ය විනිවිද භාවයෙන් කටයුතු කිරීම, සහන ලබා දීමේදී සිදු විය යුතු විනිවිදභාවය, ජනතා බදුවලින් සිදු කරන වැඩ ගැන පාර්ලිමේන්තුව දැනුවත් කිරීම, සහන සාධාරණව බෙදා දීම යන කරුණු කෙරෙහි දක්වන සද්භාවය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කර තිබේ.කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් මෙම දූෂණ විරෝධී පනත අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇත.නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත හඳුන්වා දීමත් සමග වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් දැනට පවතින පනත අහෝසි වන අතර ජනාධිපතිවරයා, මහ කෙමසාරිස්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කොමිෂන් සභා සාමාජිකයින් ද සියවත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වේ.
ඇතැම් පිරිස් චෝදනා කරන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි නව දූෂණ විරෝධී පනත ඉදිරිපත් නොකළ බවත් එම පනත රටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා අවශ්‍යතම කරුණක් බවත් විනිවිදභාවයෙන් යුතු අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාපනය කිරීම ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ තාක්ෂණික කරුණු කිහිපයක් පමණක් නව දූෂණ විරෝධී පනතට ඇතුළත් කර ඇති බව ත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කොට තිබේ.නව දූෂණ විරෝධී පනත තුළින් දූෂණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ හැකියාව තහවුරු වන අතර නව අල්ලස් කොමිසමේ කටයුතු අධීක්ෂණය කිරීමේ බලතල පාර්ලිමේන්තුවට පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කොට ඇත.
‘‘වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ මෙවැනි දූෂණ විරෝධී පනතක් ගෙන ඒමට උත්සාහ කළත් එය අසාර්ථක වී තිබුණා. එම නිසා දූෂණයට විරුද්ධ හෝ පක්ෂපාතී දේශපාලනඥයන් කවුරුන්ද? යන්න නව දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු හෙළිදරව් වෙයි’’ යනුවෙන් අධිකරණ ඇමැතිවරයා සඳහන් කොට තිබීම ද විශේෂත්වයකි.ඊට හේතුව ශ්‍රී ලංකාව පාලනය කිරීමට වැඩවසම් ආදී ප්‍රාථමික දේශපාලනයක් ප්‍රමාණවත් බව සිතන රාජපක්ෂ දේශපාලනය මෙවන් අනීන දේශපාලන සංකල්ප කෙරෙහි එතරම් නම්‍යශීලී බවක් නොදැක්වීම ද විය හැක.
‘‘රටේ සිදුවන වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීම සම්බන්ධයෙන් ඉකුත් කාලය පුරාම බරපතළ අන්දමින් සාකච්ඡාවට බඳුන් වුවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය නීතිරීති ප්‍රමාණවත් අන්දමින් තිබුණේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලබා ගැනීමේ කටයුත්තේ දී මෙම දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙනවා. එම නිසා නීතිපතිවරයාගේ ද අනුමැතිය ලැබී ඇති නව දූෂණ විරෝධී පනත කඩිනමින් සම්මත කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා’’ යැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් කියා ඇත.
මෙම නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කිරීමේදී ඒ සඳහා දූෂණ විරෝධී ක්‍රියාවන්ට එරෙහිව හඬ නගන සිවිල් සංවිධාන සහ පුද්ගලයින් ද අදහස් සහ යෝජනා ලබා ගත් බවද අධිකරණ අමාත්‍යාංශය සඳහන් කොට ඇත. 1994 අංක 19 දරණ පනත යටතේ ශ්‍රී ලංකාව තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට පෙර මෙරට අල්ලස් නීතිය සම්බන්ධ නීති ප්‍රතිපාදන ක්‍රමයෙන් විකාශනය වෙමින් පැවතිණි. එහි ආරම්භය ශ්‍රී ලංකාවට ඉංග්‍රීසින් විසින් හඳුන්වා දෙනු ලැබ විවිධ සංශෝධනවලට ලක්වෙමින් ක්‍රියාත්මක වන 1883 අංක 02 දරන ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයෙන් මුලින් ම අල්ලස් සම්බන්ධ වැරදි වෙන් කර කර දැක්වී ය. මේ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 9 සහ 11යන පරිච්ඡේදවලින් අල්ලස් සම්බන්ධ වැරදි වෙන් කොට දක්වනු ලැබිණි.දණ්ඩ නීති සංග්‍රහයෙන් අල්ලස් වැරදි දැක්වීමේ නීති ප්‍රතිසංස්කරණවලට පසුව 1954 අංක 11 දරන අල්ලස් පනතෙන් අල්ලස් සම්බන්ධ නව ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඇතිකර ගන්නා ලදී. මේ පනතේ නෛතික ප්‍රතිපාදනවලින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට ලක් නොකළ අතර ම දණ්ඩ නීති සංග්‍රහයේ දක්වා ඇති සියලු අල්ලස් වැරදි මෙම පනත යටතේ ද අල්ලස හා සම්බන්ධ වැරදි ලෙස දක්වා තිබිණි. අනතුරුව මෙරට අල්ලස් නීතිය සම්බන්ධයෙන් වැදගත් වන නෛතික ප්‍රතිසංස්කරණය වන්නේ 1958 අංක 40 දරන අල්ලස් (සංශෝධන) පනතයි. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙකී සංශෝධනයෙන් අල්ලස් පනත යටතේ ඇති වැරදි විමර්ශනය කිරීම සඳහා වෙන ම රාජ්‍ය ආයතනයක් ලෙස අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව පිහිටුවීම සහ අල්ලස් කොමසාරිස් නමින් තනතුරක් ඇති කිරීමයි. මීට පෙර නීතිපතිවරයාගේ ඍජු අධීක්ෂණයට යටතේ පැවති විමර්ශන සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පුළුල් බලතල හා කාර්යපටිපාටි ද මෙම සංශෝධනයෙන් හිමිකර දී තිබේ.
ශ්‍රී ලංකා අල්ලස් නීතිය සම්බන්ධ ඉතිහාසයේ සුවිශේෂ ම හැරවුම් ලක්ෂ්‍යය සටහන් වන්නේ 1994දී ය. එනම් 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත් කෙටුම්පත 1994දී පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත වීම ය.මෙකී සුවිශේෂ පනතේ තවත් විශේෂත්වයක් වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධුරයට පත්ව මුලින් ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු පනත් කෙටුම්පත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත් කෙටුම්පත වීමයි. ශ්‍රී ලංකා දේශපාලනය තුළ රාජ්‍ය නායකයකු තම පාලන සමය ආරම්භයේදී ම මෙවැනි සාධනීය පනතක් මුලින් ම ගෙන ඒම හේතුවෙන් ඇයගේ පාලන සමයේ ආරම්භක කාල සමය සුවිශේෂත්වයක් දැරූ බව සහේතුකව අප පිළිගත යුතු ය.චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ මැතිවරණ ව්‍යාපාරයේදී ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් වූයේ අල්ලස සහ දූෂණය අනුව අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙනුවට අල්ලස් හෝ දුෂණ විමර්ශනය කිරීමට සහ ඒවාට විරුද්ධව නඩු පැවරීම සඳහා විධානය කිරීමට මෙම ස්වාධීන කොමිෂන් සභාව ඇති කරන බවකි.
පසුව පළමු විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේ පණ ගැන්වුණු විවෘත ආර්ථිකය මත අතු ඉති ලමින් දළු ලා වැඩෙමින් තිබූ අල්ලස හා දූෂණය තවදුරටත් මෙරට ආර්ථිකය අකර්මණ්‍ය තත්ත්වයට ඇඳගෙන යමින් තිබුණු තත්ත්වයක් තුළ අල්ලස හා දූෂණය පිටුදැකීමේ අරමුණින් ඇයගේ පාලන තන්ත්‍රය තුළ ඇයගේ පළමු නීති කෙටුම්පත් කිරීම ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත ස්ථාපිත කිරීම අගය කළ යුතු කටයුත්තකි.එහෙත් එකී පනත ගෙන ආ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පසුකාලීන පාලනය සම්බන්ධ එල්ල වූ චෝදනා සහ අල්ලස් කොමිසමේ වර්තමාන ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් එල්ල වන විවිධ චෝදනා බහුල වීම මත රටේ අල්ලස හා දූෂණය පිටුදැකීමේ අරමුණින් මෙවැනි වඩාත් ප්‍රබල නීතිමය ව්‍යුහයක් ඇති කිරීම අතිශය වැදගත් කටයුත්තක් ලෙස සැලකිය හැකි ය.
දමයන්ති ගමගේ