පරිඝනක පුහුණු මධ්‍යස්ථානයට දෙමව්පියන්ගේ විරෝධතාවය

0
82

IMG-20190909-WA0003

 

මීගමුව දළුපත  මහ  විදුහලේ   පවත්වාගෙන යන පරිඝනක  පුහුණු  පාඨමාලාවක් ඉවත්  කරගන්නා  ලෙස  ඉල්ලමින්  අද  එම විදුහලේ දෙමව්පියන් පිරිසක්  විරෝධතාවයක  නියලුන  අතර  මේ  සමබනධයෙන් විමසා  බැලීම  සඳහා   කලාප අධ්‍යාපන  අධ්‍යක්ෂක ඇන්ටනි  මහතාද   මෙම  අවස්ථාවට   සහභාගි විය.

දැනට  වසර 20ක  පමණ  කාලයක්  තිස්සේ  මුදල්  අයකරමින් පවත්වාගෙන  යන  මෙම  පරිඝනක  පුහුණු  පාඨමාලාව  සඳහා  විදුහලේ  කොටසක්    එවකට  සිටි  විදුහල්පති  තුමා  විසින්  ලබාදී  ඇත.  පාසැලේ  නොවන  ළමුන්  බඳවා  ගනිමින්  සිදුකෙරෙන  මෙම පුහුණු   පාඨමාලාව  ඉවත්කර   මෙකී  ස්ථානය  ලබාදෙන ලෙස  ඉල්ලා        අදාල  බලධාරීන්  දැනුවත්  කලද  ඔවුන්  මෙය  මඟහරින  බව  දෙමව්පියන්  පවසති.    දෙමව්පියන්  ප්‍රකාශ කරන්නේ   දැනට  අබලන්වී  ඇති  පරණ  ගොඩනැගිල්ල  කඩා  ඉවත්කර  දෙමහල්  නව  ගොඩනැගිල්ලක්  ඉදිකිරීම  සඳහා  කටයුතු  යෙදා  ඇති බැවින්   එහි  දැනට  සිදුකෙරෙන  කටයුතු  කරගැනීම  සඳහා    මෙම  ස්ථානය  විදුහලට  ලබාදිය යුතු  බවයි. පසුකාලීනව  ඉවත්කර ගැනීමේ    එකඟතාව  මත  ලබාදුන්  විදුහලේ  මෙම   කොටස  නැවත  පාසැලට  ලබාදෙන  ලෙස  ඉල්ලන  ඔවුන්  තවදුරටත්  ප්‍රකාශකරන්නේ   බලධාරීන්  පාසැලේ  පවතින  ප්‍රශ්න විසඳනවා   වෙනුවට  එහි  වෙනත්  කටයුතු  සඳහා  යොදාගැනීමද  වැරදි  සහගත  බවයි.  එසේම   ඔවුන්   දක්වා  සිටින්නේ  විදුහලේ  ප්‍රධාන  ශාලාව  පිටස්තර  ළමයි  සඳහා  මුදල්  අයකරමින්  ඉංග්‍රීසි  පංතියක්ද  ආරම්භ  කිරීමට  වගකිවයුත්තන්ගේ  අරමුණක්  ඇති බැවින්  ඔවුන්  එයට එරෙහිවද   මෙම  විරෝධතාවය  යොදා  ගන්නා  බවයි.

මෙම  උද්ගෝෂණයේදී  කරුණු  දක්වන   දෙමව්පියන්  සහ  පාසැල්  සංවර්ධන  කමිටුවේ  සාමාජිකයෙකු වන  රොහාන්  මහතා  පවසන්නේ   ඔවුන්  මෙම  පරිඝනක  පුහුණුවට  විරුද්ධත්වයක්  නැති  බවය.  නමුත්  පාසැලේ  ආරක්ෂාව  පිළිබඳවද  ප්‍රශ්ණයක්  ඇති බවත්,  එසේම    දැනට  පවතින  තත්වය  තුළ  වෙනත්  අහිතකර  දේවල්  පවා  සිදුවන  බවට  තොරතුරු  ලැබී  ඇති බවත්  පවසයි.

මීගමුව  පොලීසියේ නිලධාරි  මහතෙකු  පැමිණ  දෙමව්පියන්  සමඟ   කථාබහ  කර  කලාප අධ්‍යක්ෂක  ඇන්ටනි  මහතා සමඟ  කළ  සාකච්ඡාවකින්  පසුව  ඔහු  ප්‍රකාශකළේ  තමන්ට මේගැන  කිසිවක්  කිරීමට  බලයක් නැති  බවත්,  ඒ සඳහා  ගම්පහ  කොට්ඨාශභාර  ඇමති  හමුවී  විසඳුමක්  ලබාගතයුතු  බවත්ය.  නමුත්  විදුහලේ   ප්‍රධාන  ශාලාවේ  පැවැත්වීමට  තීරණය කළ  ඉංග්‍රීසි  පංතිය  නොපවත්වන බවට  ඔහු  පොරොන්දු විය.   මේ  අනුව  අවසානයේදී  දෙමව්පියන්  කොට්ඨාශ භාර ඇමති  හමුවී  විසඳුමක්  ලබාගැනීමේ   තීරණය  සඳහා  එකඟතාව  පළකරමින්   විරෝධතාවය  අවසන්  කරන  ලදී.