පරිසර හිතකාමී විද්‍යාඥයාගෙන් පරිසර හිතකාමී ගඩොලක්..

0
807

bricksපරිසර හිතකාමී විද්‍යාඥයාගෙන් පරිසර හිතකාමී ගඩොලක්..
It’s a home –It’s not a house. සංකල්පයෙන් ක්‍රියාවට නංවාලීම අරඹයි..
*********************************
නිවාස මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් ප්‍රධානතම එකක්. මේ නිවාස ගොඩනැගීමේ දී විවිධ ගොඩනැගිලි ද්‍රව්‍ය වුවමනා වෙනවා. ගඩොල් කියන්නේ එසේ යොදා ගැනෙන ද්‍රව්‍ය අතරින්, ගොඩනැගිල්ලේ ‘මූලික තැනුම් ඒකකය’ කියා යමෙකු කියන්නේ නම් ඔහු නිවැරැදියි. මේ ගඩොල් සම්බන්ධයෙන් අලුත් විදියට සිතූ, ඒ සිතිවිල්ල ක්‍රියාවට නැංවූ තරුණ විද්‍යාඥයකු අපට හමුවුණා. ඔහු නමින් රංගික උමේෂ් හල්වතුර. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්යවරයෙක්. එසේම දැඩි පරිසර හිතකාමියෙක්.

ඔබේ නිමැවුම ගැන කෙටියෙන් කීවොත්?

පස් වලින් සෑදූ කොන්ක්‍රීට් ගලක් (Mud Concrete Block – MCB)

මේකේ විශේෂත්වය මොකක්ද?

පළමුවැනිම කාරණය තමයි මේ නිෂ්පාදනය ‘හරිත’ නිෂ්පාදනයක්. එහි අන්තර්ගත සමස්ත ශක්තිය (embodied energy) සැලකිය යුතු මට්ටමකින් අඩුයි. එය තනන්නට භාවිත කෙරෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය. අනෙක් කාරණය මේ ගඩොල පිළිස්සීමකට ලක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා එය තැනීමේදී කිසිදු ආකාරයකින් පරිසර හානියකට ඉඩක් ඇත්තේ නැහැ. අනෙක් අතට, MC ගඩොල යොදා තනන බිත්තිවලින් ගොඩනැගිල්ල ඇතුළට සුවදායක සිසිලසක් ලබා දෙනවා. ගඩොල සඳහා වැයවෙන මුදල ඉතා අඩුයි. වැදගත්ම කාරණය තමයි, මෙය තනන්නට මහා ලොකු තාක්ෂණ දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ. ඔනෑම කෙනෙකුට සරළව එය තනාගන්නට පුළුවන්.

ගල හදන්නට යොදාගන්නේ මොනවාද?..

පස්, ගල් , වතුර හා ඉතා ස්වල්ප වශයෙන් සිමෙන්ති,

මෙහෙම නිෂ්පාදනයක් කරන්න හිතුණේ කොහොමද?

මැටි කියන්නේ අපේ අතීතයේ බහුල වශයෙන් භාවිත කරපු දෙයක්. මේ මැටි පුළුස්සා සවි ශක්තිය ඇති නිෂ්පාදන අපේ පැරැන්නන් තනා තියෙනවා. අනුරාධපුරයෙන්, පොළොන්නරුවෙන්, ඉබ්බන්කටුවෙන් අපට මේ සඳහා ඕනෑ තරම් සාක්ෂි ලැබී තිබෙනවා. ඒ වගේම මැටි වරිච්චි බිත්ති සහිත නිවාස ඇතුළත සුවදායකයි. සිසිලයි. මැටි ගුරුලේත්තුවත් මගේ විශේෂ අවධානයට ලක්වුණා. කිසිම විශේෂ තාක්ෂණයක් නැතිව, ගුරුලේත්තුවේ වතුර ඉතා සිසිල්. මැටිවල තිබෙන සවිවර බව මෙයට හේතුවයි. ඉතින් මේ මැටි යොදා, එහි සිසිල්කරණ ගුණය ද රැකගෙන, කොන්ක්‍රීට් මෙන් සවිමත් ගලක් තනන්නේ කෙසේද කියන ප්‍රශ්නය මට ඇති වුණා. හැබැයි අප දන්නා කාරණයක් තමයි, කොයිතරම් සිමෙන්ති වැඩි කළත්, සාමාන්‍ය බදාමයකට, කොන්ක්‍රීට්වල ශක්තිය ගන්නට බැහැ. හේතුව කොන්ක්‍රීට් සඳහා භාවිත කෙරෙන ගල්. බදාම සඳහා යොදා ගන්නේ සියුම් වැලි. ලොකු ගල් කැට ඉවත් කෙරෙනවා. සාමාන්‍ය ගඩොල් තැනීමේදී ද එසේමයි. ඉතින් අපට සිතුණා මැටිවලට ලොකු ගල් කැට යොදා සිමෙන්ති යම් ප්‍රමාණයක් එක් කළොත් කොන්ක්‍රීට් මෙන් සවිය ඇති ගඩොල් තනාගත නොහැකිද කියා. ඉතින් මේ කිව් සියලු කාරණා වල හොඳ ගතිගුණ එකතු කරලා, අයහපත් දේ බැහැර කරලා එක නිෂ්පාදනයක් තැනීමට අප පෙළඹුණා.

මේ පර්යේෂණය ගැන කෙටියෙන් කීවොත්?.

පසේ මූලික සංඝටක තුනක් තියෙනවා. සියුම් මැටි, වැලි හා බොරළු. ගලේ ශක්තිය වැඩි කරන්න මේවා යොදාගත යුතු හොඳම අනුපාත මොනවා දැයි අධ්‍යයනය කරන්න සිදු වුණා. ඊ ළඟට, මේ සඳහා යොදන ප්‍රශස්ත වතුර ප්‍රමාණය නිර්ණය කළ යුතු වුණා. අපට අවශ්‍ය වුණා මේ මිශ්‍රණයට ‘ස්‌වයං සම්පීඩන’ ගතිගුණය ලබාදෙන්න. ඒ වගේම, යෙදිය යුතු අවම සිමෙන්ති ප්‍රමාණය ද සොයාගත යුතු වුණා. මේ සියල්ල මෙහෙම කියද්දී සරළයි වගේ පෙනුණාට ඇත්තෙන්ම සංකීර්ණ වැඩ ගොඩක්. ඒ නිසා මේ මූලික කරුණු අධ්‍යයනය වාස්තු විද්‍යාඥ ලක්මිණි රණසිංහ ගේ ආචාර්ය උපාධි පර්යේෂණය යටතේ සිදුකළා.

ගඩොල නියමාකාරයෙන් නිම කරන්න ගත වූ කාලය කොපමණද?

මූලික අධ්‍යයන සඳහා ලක්මිණිට වසර දෙකක් ගත වුණා. ඉන් පසුව නිමි භාණ්ඩයක් මට්ටමට එය ගෙන එන්නට තවත් වසර දෙකක් පමණ වැය වුණා.

මේ නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය තිබෙනවාද?,

ඔව්. එය තිබෙන්නේ මගේ නමට.

මේ පර්යේෂණය ඉදිරියට ගෙන යාමට ඔබ සමත් වුණාද?

ඔව්. මේ ගඩොල විශාල පරිමාණයෙන් භාවිත කිරීමේ ශක්‍යතාව සොයා බලන්නට අපට උවමනා වුණා. මොකද ඉහත කී සියලු අධ්‍යයනයන් විද්‍යාගාර ඇතුළේ කළ ඒවා නේ. මේ සඳහා අපට අගනා අවස්ථාවක් ලැබුණා වාසස්ථාන පිලිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UN Habitat) වෙතින්. ඔවුන් උතුරු-නැගෙනහිර යුද්ධයෙන් අවතැන්වූවන්ට නිවාස හා ප්‍රජාශාලා තනා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. මෙයට සම්බන්ධ වීම, අපට ලැබුණු මහඟු අවස්ථාවයි. මේ අනුව 2014 දී මඩකලපුවේ ක්‍රියාත්මක වූ නිවාස ව්‍යාපෘතියක නිවාස හා ප්‍රජා ශාලා තනන්නට මේ MCB ලබා දෙන්නට අපට හැකි වුණා. මේ ව්‍යාපෘතිය නිසා, නිවාසයකට අවශ්‍ය පරිදි ගඩොලේ සවි ශක්තිය වැඩි දියුණු කරන්නේ කෙසේද කියා අත්හදා බලන්නට ලැබුණා. ඉන්පසුව කිලිනොච්චියේ නිවාස හත්සිය පනහක් (750 ක්) පමණ හදන්නට මේ ගඩොල භාවිත කරන්නට අපට අවස්ථාව උදා වුණා. එය මේ වනවිටත් කරගෙන යමින් පවතිනවා. මට මෙතැනදී විශේෂයෙන්ම කියන්න ඕනෑ, අපේ උත්සාහය වන්නේ මේ දැනුම මහජනතාවට සම්ප්‍රේෂණය කරන්න. අපේ අධ්‍යාපනයට වියදම් කළේ ඔවුන්ගේ මුදල්. ඒ නිසා මේවායේ අවසාන ප්‍රතිලාභ ලැබිය යුතු වන්නේ ඔවුන්.

සිමෙන්ති භාවිතයෙන් තොරව ගඩොල් තනන්නට කෙනෙකුට උවමනා නම්? සිමෙන්ති මිල වසරින් වසර ඉහළ යනවා නේ!

අනිවාර්යයෙන් අපේ අවධානය එයට යොමු වුණා. සිමෙන්ති වෙනුවට යොදාගත හැකි ස්වාභාවික ස්ථායීකාරක (natural stabilizers) එකක් ගැන අප කල්පනා කළා.

මෙහිදී එක් විශේෂ නිරීක්ෂණයක් අපගේ මතකයට ආවා. පැරැන්නන් ගල් අලවන තාක්ෂණයක් දැන සිටියාද යන්න නිතර මා සිතූ කාරණයක්. මොකද, ඇතැම් ස්ථානවල ගල් අලවන්නේ නැතුව එසේ පුරුද්දන්නට ඇති ඉඩකඩ අඩුයි යන්න අපට නිරීක්ෂණය වූ දෙයක්. මේ ස්ථානවල දක්නට ලැබුණු තවත් එක් සුවිශේෂ කාරණයක් මගේ දැඩි කුතුහලයට පාත්‍ර වුණා. එය නම්, මේ කිව් ස්ථානවල, ඒ අවට ප්‍රදේශයේ දක්නට නොලැබෙන අන්දමේ ගහන ඝනත්වයකින් ගල් අන්නාසි, අක්කපාන ආදී දේ වැවී තිබූ බවයි. ගල් අලවන්නට පැරැන්නන් යොදාගත් යම් මිශ්‍රණයක් තිබුණා නම්, මේවා ඒ වට්ටෝරුවේ සංඝටක වන්නට බැරිද යන ප්‍රශ්නය බොහෝ අය මතුකරනවා. මේවා ස්වාභාවික බහු අවයවික (natural polymers) වන්නට හැකිද යන්න සොයා බලන්නට මට වුවමනා වුණා.

ඒ වගේම, අප දන්නවා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය. මෙහි අතුරු ඵලයක් වන සියුම් අළු (fly ash) බැහැර කිරීම විශාල ගැටලුවක් බව මා දැන සිටියා. ඉතින්, මේ අළු, අපේ ගඩොල සඳහා යොදාගැනීමෙන් කුමක් වේද කියා බලන්නට මට අවශ්‍ය වුණා. මා කළේ වාස්තු විද්‍යාඥ චමීර උඩවත්ත ඔහුගේ ආචාර්ය උපාධිය සඳහා මේ අධ්‍යයනය කරන්නට යොමු කිරීමයි.

මෙහිදී, දවුල් කුරුඳු නානු, පයින් කිරි හා රබර් කිරි , කජු මැලියම්, දහයියා අළු හා අනෙකුත් අළු වර්ග ආදී ස්වාභාවිකව ලබාගත හැකි ද්‍රව්‍ය ගණනාවක් සිමෙන්ති සඳහා විකල්ප ස්ථායීකාරක ලෙස භාවිත කළ හැකිද කියා අප පර්යේෂණ කර බැලුවා. එහි ප්‍රතිඵලයක් ලෙස, කෝස්ටික් සෝඩා, අළු, පස් හා තවත් ස්වභාවික රසායනික ද්‍රව්‍ය කීපයක් එක් කිරීමෙන් MCB එකට වඩා සවිමත් භූ-බහු අවයවික මැටි කොන්ක්‍රීට් ගල (Geo-polymerized Mud Concrete Block) නිපදවන්නට අපට හැකි වුණා. මේ සඳහා මේ වනවිට පේටන්ට් බලපත්‍රයට ඉල්ලුම් කර තිබෙනවා. ඒ වගේම ස්වාභාවික විකල්ප ස්ථායීකාරක දෙකක් සඳහා පේටන්ට් බලපත්‍ර ලැබුණා.

තවත් සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. එනම්, මේ ගඩොල් තනන්නට සාපේක්ෂව වැඩි ශ්‍රමයක් අවශ්‍ය වීම. එයටත් පිළියමක් සෙවීමට අප කල්පනා කළා. මේ නිසා වාස්තු විද්‍යාඥවරියක වන රිස්නා ආරූස් ඇයගේ ආචාර්ය උපාධියේ පර්යේෂණය ලෙස, ගොඩනැගිල්ල සඳහා කෙලින්ම බිත්ති වශයෙන් වාත්තු කරන්න හැකිද කියා සොයා බැලුවා.මේ වන විට එම පර්යේෂණයත් සාර්ථකව නිමාකර තිබෙනවා. ඇගේ පර්යේෂණ කටයුතු වල ප්‍රතිඵල ලෙස ඇයට පේටන්ට් බලපත්‍ර දෙකක් ලබාගැනීමට හැකි වුණා. එකක් මේ බිත්ති වාත්තු සඳහා යොදා ගැනෙන මිශ්‍රණයට. අනෙක එම කාර්යය සඳහා යොගැනෙන විශේෂ අච්චුවට.

මෙම පර්යේෂණ සඳහා උදව් කළේ කවුද?

අපට අනගි සහයක් ලබා දුන් මොරටුව විශ්ව විද්‍යාලයය මුලින්ම සඳහන් කරන්නට කැමැතියි. ඒ වගේම, විශේෂයෙන්ම ස්තුති පූර්වකව සිහිපත් කළ යුතු වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනමයි. මෙම පර්යේෂණ සියල්ලම සඳහා නොකඩවා ප්‍රතිපාදන ලබා දුන්නේ එම ආයතනයයි. හැබැයි ඒ සමඟම මගේ ස්තුතිය අපේ රටේ ජනතාවටත් පුද කරන්නට අවශ්‍යමයි. මොකද අපට මේ දේවල් කරන්නට හැකියාව ලබාදුන්නේ අපේ අධ්‍යාපනයයි. ඒ සඳහා වියදම් වුණේ ඔවුන්ගේ බදු මුදල් බව මට අමතක කරන්නට බැරි කාරණයක්.

ලැබුණු සම්මාන ආදිය සඳහන් කරනවා නම්?

මෙම නිෂ්පාදනය සඳහා 2016දී ඔස්ට්‍රියාවේ ‘එනර්ජි ග්ලෝබ්’ සම්මානය ලැබුණා. ඒ වගේම තුන්වැනි ලෝක විද්‍යා ආයතනය (Third World Academy of Sciences – TWAS) තරුණ විද්‍යාඥයන්ට වාර්ෂිකව ලබාදෙන‘TWAS තරුණ විද්‍යාඥයා’ සම්මානය 2017 දී මටලැබෙන්න හේතු වුණේත් මෙම නිෂ්පාදනයයි.

මෙම අපූරු නිෂ්පාදනය වෙළඳපොළට ලබාදීමේ හැකියාව කොහොමද?
අධ්‍යයන අංශයේ කටයුතු වල යෙදිලා ඉන්න අපට ව්‍යාපාරික නැඹුරුවක් නැහැනේ. ඒ නිසා මේක වෙන කවුරුහරි මුල් වෙලා ඉදිරියට ගෙන යන්න ඕනෑ. අලුත් දෙයක් නේ. ඒ නිසා වෙළඳපොළට දැමීමේදී, දැනට එහි තිබෙන භාණ්ඩ හා තරග කිරීමේ ගැටලුව පැන නගිනවා. නමුත් මෙහිදී සඳහන් කරන්නට ඕනෑ පාරිභෝගිකයාගේ ‘පිළිගැනීම’ (acceptance) ලබාගැනීමට අප සමත් වූ බව. මා මුලින් සඳහන් කළ නිවාස ව්‍යාපෘතිවලදී අපට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා ඒවායේ පදිංචි වූ අයගෙන්. ඒ නිසා දැන් ඉතින් අවශ්‍ය වන්නේ ව්‍යවසායකයන් තමයි. ඒ සඳහා ඉදිරිපත් වන ඕනෑම කෙනෙකුට හෝ ආයතනයකට අපගේ නොමසුරු සහයෝගය ලබා දෙන්න අප සුදානම්!.

හෙලබෝජුන්- මෑතකදී මානුෂිය සත්කාරයක් සමගින් ඔබ මෙය ක්‍රියාවට නැංවූ බව සැලයි.?

මහාචාර්යවරයා – ඔව්, මේක සම්පුර්ණ නිවසක් දක්වා ගොඩනැංවීමක් මගින් මෙය ක්‍රියාවට නංවා සිහිනයක් සැබෑ කරගත්තා. ඒක අපුර්වත්වයක් එක් කළ අමුතුම සිහිනයක් සැබෑ වීමක් .. European union and Habitat for Humanity මගින් ශ්‍රී ලංකා රජය සම්බන්ධීකරණය යටතේ ලැබුණු ආධාරයකින් මේක කරනු ලැබුවේ.

නව නිෂ්පාදන අවිශ්වාස කරන බැවින් දේශීය ප්‍රජාවට නව තාක්ෂණය ගෙන ඒමට ඉතා අපහසු වුණා. නමුත් මූලික පුහුණුව / වැඩමුළු මගින් අපිට මේ සඳහා ඉහළ පිළිගැනීමක් ලැබුණා. ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ මෙහි ශක්තිය, නිමාව, සුවපහසුව සහ පිරිවැයයි. මෙය නොගැඹුරු බිත්තියක් ලෙස සිදු වන බැවින්, ස්වභාවික පරිසරයක මෙන් මෙහි ඇතුලත ඉන්න පුළුවන්.

බලශක්ති / කාබන් පියසටහන සංසන්දනය කළහොත් මෙය අවම වටිනාකමක් සහිත ද්රව්යයකි. එනිසා එය පරිසර හිතකාමී බව ඔප්පු කරයි.

අපි කණ්ඩායමක් හැටියට වැඩ කළා. අන්තිමේදී අපි ඒ පවුල වෙනුවෙන් නිවසක් පමණක් නොවෙයි. එය ප්‍රදේශයේ ජනතාවගේ ඉතා ඉහළ පිළිගැනීමක් හා අගයක් ගත් නිර්මාණයක් වුණා.

ඒ සිහිනය මහාචාර්යවරයාගේ වචනයෙන්;

“I was born in a rented house. Then we moved to our own house and that was our home. I still can remember how myself, ammi thaththi and malli were happy that day.

I felt the same happiness on the day I finished building my own house.

That made me to the feel the happiness of one owning a home,

By the way, what if someone build a house for another family….!

And can someone just imagine how it will be when you build a home for someone else and if you build it with a technology which you invent….!

I am experiencing that today.
Wow…I am thrilled and proud as a human by making a smile on another citizen.”

මේ සැබෑ වුන සිහිනයේ , සිහින නිවසේ සම්පුර්ණ විස්තරය මේ youtube ලින්ක් හරහා ඔබට නරඹන්න පුළුවන්.

මේ සිහිනයේ අපුරු අත්දැකීම ඔබට විදින්නට නම් එය ඔබ දැකිය යුතුමය.

වැඩි තොරතුරු සදහා –
Address:-
University of Moratuwa
Department of Civil Engineering
Faculty of Engineering,
Moratuwa.

Email-
rangika@uom.lk
rangikauh@gmail.com

සචී පනාවල-රැස News/Helabojun Team
සැකසීම -HelabojunTeam,
අපගේ පිටුවට ඔබත් එකතු වෙන්න – https://www.facebook.com/srilankahelabojun/