මාගේ යතුරු පැදියේ කාලීන සේවාව ( සර්විස් එක) සඳහා බජාජ් මෝටර් හවුස් වෙත මා එදා ගියේ රුක්මනී දේවී රගහල ඉදිරිපිට පාරෙනි. එම පාරට හැරෙනවාත් සමගම සුදු කඩදාසිවල කළු අකුරින් මුද්‍රිත පෝස්ටර් ගණනාවක් තැන තැන ගසා තිබිණි. මාගේ විමසිලිමත් දෑස ඊට යොමු විය. ඒවායේ මෙසේ සදහන් වී තිබිණි.
‘ මේ ජරා ගණිකා වෘත්තිය නවත්තන්න පෙරට එන්න ‘
‘ මින් ඉදිරියට ගණිකාවියන්ට දඩුවම ඇසිඩ් ‘
මේ කිසිදු පෝස්ටරයක වගකීම කවුරුන්ගේද යන්න සටහන් වී නොතිබිණි. එහෙත් කාරණය පැහැදිලිය. පව්කාර ස්ත්‍රියට ගල් නොව ඇසිඩ් ගැසීමට සියල්ල සූදානම්ය. සුචරිතවාදීහු (?) පෙරට විත් ඇත.
‘ ඔබ අතරින් පවක් නැති තැනැත්තා පළමුකොට ඈට ගලක් ගසන්න ‘
( ජොහාන් 8-7)
යැයි කියන්නට ෙජ්සු කෙනෙක් අද නැත. මංගල්‍ය ගීතිකා ඇසෙන්නේය. මීගමුව හාත්පස පැතිරී ඇති අහස උසට කොත් නැගි දෙව් මැදුරුවල මහා මංගල්‍යයන් පැවැත්වෙන්නේය. විදුලි ආලෝකයෙන් දෙව් මැදුරු භූමිද මංමාවත්ද ඒකාලෝක වන්නේය. තරගයට ප්‍රතිමාද සුදුවර ප්‍රතිමාද මංසන්ධියක් මංසන්ධියක් ගානේය. මීපුර කතෝලික අනන්‍යතාවය හා උරුමය සුරකින්නට ඉමහත් වෙහෙස දරන්නාවූ ගිහි පැවිදි උත්තම උත්තමාවියෝය.
සංවිධානය. පුවත්පත්ය. එහෙත්,
‘ ස්ත්‍රිය ඔවුහු කොහේද? කිසිවකු ඔබට වරද තැබුවේ නැද්ද? මමද ඔබට වරද නොතබමි. යන්න. මින්පසු තවත් පව් නොකරන්න’ ( ජොහාන් 8-10-11)
යැයි කියන්නට ෙජ්සු කෙනෙක් නැත.
පිරිමින්ගේ පාප කදට දෝස විදින ළදුනේ
කොළඹ හලාවත මහ පාරෙන් රුක්මනී දේවී රඟහල ඉදිරිපිටින් යන පාරට හැරෙන තැනම ඇති කොමර්ෂල් බැංකුවට යන ඕනෑම කෙනෙකුට ඒ අවට සැරිසරන මේ අබිසාරිකාවන් දැකගත හැක. ඔවුන් කිසිවකුගේවත් සලෙළු මන බදනා පැහැපත් වර්ණයක්, සුකුමාල පෙනුමක්, සරාගී නෙතක් දැකගත නොහැකිය. ඒ වෙනුවට දැඩි හිරු රශ්මියත් සමග නිබද සරන ඔවුන්ට උරුම කාලවර්ණ අදුරු පැහැයත්, දුක්බර වත හා විඩාබර නෙතත් ළැමට යටින් සැඟව ඇති ළයේ දුක්බර කතාන්දරය කියා පායි.
මහද දැඩි ලෙස කම්පා කළ සිදුවීම් දෙකක් ගෙන හැර දක්වනු කැමැත්තෙමි.
දිනක් අදාල ස්ථානයේ ඇති කොමර්ෂල් බැංකුවට ගිය මා අදාළ ගනුදෙනුව හමාර කොට එළියට පැමිණ එහි අංගනයේ නවතා තැබූ මගේ යතුරු පැදිය වෙත ගියා පමණි. ඒ අවට සරනු දැක පුරුදු අබිසාරිකාවක් මහා පාරෙන් එහා කටුවාපිටිය දෙව් මැදුරට හැරෙන පාර ආරම්භයේම ඇති සෙබස්තියන් මුනි ප්‍රතිමාව දෙස දුක්මුසු දෑසින් බලා සුරතින් සාන්ත කුරුසයේ අඩයාලම යැදුම හා බැදි ලකුණ නළලින් පටන්ගෙන සිය සිරුරේ සළකුණු කළාය. ඈ පිටුපසින් බීමතින් වැනි වැනී යන තරුණයකු දිටිමි. ඒ මාවතේ Rooms යනුවෙන් සටහන් කළ ස්ථාන කීපයකි. සෙබස්තියන් ප්‍රතිමාව දෙස බලා සාන්ත කුරුසිය සළකුණු කළ ඈ හදවතින් දෙවියන්ට කළ යැදුම කුමක් වීද? කාමාතුර බේබද්දාගෙන් රැකවරණයද? ඔවුන්ගේ එදිනෙදා භෝජනයද?
තවත් දිනක දවාල 1.45 ට පමණ එවැන්නියකගේ ඇෙඟ් දැවටෙමින් කතාබස් කරමින් ඉදිරියට යන සුදු පාසල් නිල ඇදුමක් හැදි කුඩා දියණියකි. බාහිර පෙනුමින් ඇය අදාළ තැනැත්තියගේ දියණියක් බව පෙන්නුම් කළාය. අදාල අබිසාරිකාව එම දියණියද සමඟ මීගමු මහ රෝහල ඉදිරිපිට ඇති කෑම කඩයකට ගොඩ වුණාය. සුචරිතවාදීන් ඇයට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළොත් එම දියණියට කුමක් වනු ඇත්ද?
මහගම සේකර කිවිදාණෝ සිය ප්‍රබුද්ධ නම් කාව්‍ය කෘතියේ සදහන් කරන්නක් වෙත මාගේ මතකය දිව යයි.
නහා පයිප්පයෙන්
උලා රානි සබන් ඇග
දෑත දෙපය නිය තොල් තද රතින් රත් කොට
උලා වත්සුණු වතෙහි ගන කමට
දවටා ගත වටා දිලිහෙන වෛවර්ණ සාරිය
බැස තනි මගට ගොම්මන් වෙලාවට
කොහි යේද නැගණියනි කිව මැනව
යන්නෙමි එහි මමද
දන්දෙනු පිණිස ඇඟ මස
පතා නොව බුදු බව
පතා බත් වේලක් හෙට
හාමතින් දරුවෝ
සිය රෝගයෙනි සැමියා
ඔවුන් සුවපත් කළ යුතුය මා
අම්මා බුදු වේවා
මෙහිදී බොදුනු කවියා ගණිකාව දෙස බලා ඇත්තේ ඉමහත් මානව දයාවෙනි. කවියා ඇගේ ක්‍රියාව දෙස බලා ඇත්තේ ඈ ඒ තත්ත්වයට පත් කළ සමාජ යථාර්ථය තුළය.
අධිනීතීඥ රන්බණ්ඩා සෙනවිරත්න රජරටින් බිහි වූ දක්ෂ ගීත රචකයෙකි. පසුගිය යුද වාතාවරණය අනුරාධපුර පූජනීය නගරය ගණිකාවන්ගෙන් පිරුණ නගරයක් බවට පත් කර තිබූ බව කවුරුත් දන්නා රහසකි. ඊට හේතුවද කවුරුත් දන්නා නමුත් එයද රහසකි. මේ ප්‍රදේශයේ සැරිසැරූ අබිසාරිකාවක ගැන ඔහු අතින් ලියැවෙන ගීය මෙසේ වෙයි.
ළදුනේ ළදුනේ
ඔබේ දෑස දැකගත්තෙමි සැදෑ කලෙක ළදුනේ
දෙනෝ දහක් අත ගත්තද සැමියකු නැති ළදුනේ
නෑයින් නෑකම් නොකියන වීදි සරන ළදුනේ ළදුනේ
තෙල් මල් ගෙන දෝත පුරා මුනි කුටියට පියමං වන
ඔබේ දෑස දැකගත්තෙමි සැදෑ කලෙක ළදුනේ ළදුනේ
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබද පටාචාරාවකි ,ඔබද කිසා ගෝතමියකි
පිරිමින්ගේ පාප කදට දෝස විදින ළදුනේ
අදුරේ පව් කරන දනා එළියෙ රවන ළදුනේ
ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළදුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළදුනේ
ඉල්ලූම නැතිනම් සැපයුමක් නැත. මේ අබිසාරිකාවන්ගේ් ඉල්ලූම කාගේද? පිරිමින්ගේය. පිරිමින් ඔවුන් සොයා එන්නේ ආශාවන් සංතෘප්ත කරගනු පිණිසයැ.
අව්කාස්ටකේ ඔවුන් සැරිසරන්නේ ජීවත් වීමටය. එහෙත් දෝස ලබන්නේ ඔවුහුමය. නෑයෝ ඔවුන්ට නෑකම් නොකියති. තමන්ද ප්‍රසිද්ධියේම අවමන් විදින බැව් ඔවුහු දනිති. එහෙත් ඔවුන්ව ඒ තත්වයට පත් කළෝ කවුරුද?
අදුරේ පව් කරන දනා එළියෙ රවන ළදුනේ
රුසියානු මහා ගත්කරු ලියෝ තෝල්ස්තෝයිගේ The Resurrection ( උත්ථානය) නවකථාව මගේ සිහියට නැෙග්. එහි කථානායකයාට අපරාධයක් විනිශ්චය කරන ජූරි සභාවක සාමාජිකත්වය දරන්නට සිදු වේ. සමාජ ගෞරවයට පත් මේ ජූරි සභිකයාට විනිශ්චය කරන්නට සිදු වන අය අතර ගණිකාවක් විය. ඈ ඔහුගේ තරුණ වියේදී ඔහු අතින් අපහරණයට ලක් වූ තැනැත්තියක් වූවාය. එතැන් පටන් කථාව දිග හැරෙන්නේ ඔහුගේ හෘද සාක්ෂිය වටාය. එහෙත් අපේ සමාජයට නැත්තේද හෘද සාක්ෂියක්ය.
විවාහය හා සම්බන්ධතා පිළිබද නීති හා සම්මතයන්ට පටහැණි දෑ වැඩිපුරම සිදුවනුයේ ඉහළ සමාජ පන්තිවලය. ධනයද බලයද ඒ සදහා ඕනෑවටත් වඩා අවකාශ තනවා ඇත. ඇමති පුතුන් හා සම්බන්ධ මෑත කාලීන Night Club අඩදබර මේවාට නිදසුන්ය. දකුණ ප්‍රදේශයේ දේශපාලනයටද සම්බන්ධ එකතරා බලවතෙකු සිය 100 වෙනි ස්ත්‍රී දූෂණය උත්සව ශ්‍රීයෙන් සැමරූ බවක්ද පසුගිය දිනවල අසන්නට ලැබිණි. මැති ඇමතිවරුන්ගේ අනියම් සබදතා පිළිබද පුවත් ඉතා ප්‍රසිද්ධය. මීට කලකට ඉහත ජාත්‍යන්තර සරාවක පිරිමි ළමා ලිංගික ශ්‍රමිකයන් ( Male child Prostitutes)සොයා එන්නන් සදහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල් දෙකක් නම් කර තිබූ බව කිතුසර වාර්තා කර තිබිණි. ධනවතුන් හා බලවතුන් සදහා සුපිරි ගණිකාවන් හා සුපිරි හෝටල් නිතර සැදී පැහැදී ඇත. අපගේ අරමුණ මේ පිළිදව සමාජ හා ආගමික ආචාර ධර්ම හා නීති රීති ඉදිරිපත් කිරීම හෝ ඒවායේ ගුණදොස් විග්‍රහ කිරීම නොවේ. තමන්ගේම වූ නෛතික හා අනෛතික මාර්ග තනාගෙන
ඒවා කෙනෙක් උල්ලංඝණය කළද අඩුවක් නැතිව අනුකම්පා විරහිතව මේ පිළිබද දැඩි නීති රීති සම්පාදනය කිරීමට දේශපාලන හා ආගමික බලවත්තු නොපැකිලව කටයුතු කරති. බලවතුන්ට ලිස්සා යෑමට මාර්ග තනාදී දුබලයන් කොටු කර ගැනීම හා කොටුවන ආකාරය බලා සිටීම ඔවුහු නොඅඩුව කරති. මේ නයින් මීගමුවේ වීදි සරන අබිසාරිකාවන්ට ඇසිඩ් ප්‍රහාර එල්ල කිරීමේ තර්ජනය පිටුපස ඇති දේශපාලන ආගමික හා ලිංගික කුහකත්වය පෙනෙන ප්‍රමාණයට වඩා ඉතා විශාලය. එහෙත් අප සමාජයට එය දැකීමේ හෘදය සාක්ෂියක් නැත.
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළදුනේ
පව්කාර ස්ත්‍රියට සමාව දීම මගින් ෙජ්සුතුමා කාම මිථ්‍යාචාරය අනුමත කළේ යැයි කීම මුසාවකි. උන්වහන්සේගේ ප්‍රශ්නය වූයේ එය නොවේ.
ඇයට චෝදනා නගනවුන්ගේ කුහකත්වය හා ඇය එම තත්ත්වයට පත් කළ සමාජ ක්‍රමයයි.
‘මමත් ඔබට වරද නොතබමි. යන්න. මින්පසු තවත් පව් නොකරන්න’.( ජොහාන් 8-:11)
මීගමුවේ වීදි සරන අබිසාරිකාවන් පිළිබද අපේ ප්‍රශ්නය ඇත්තේ එතැනය. පුංචි රෝමය යන විරුදාවලියෙන් සාඩම්බරයට පත් ගිහි පැවිදි උත්තම උත්තමාවියන් වෙසෙන මී පුරය මත්ද්‍රව්‍ය ජාවාරමේ සිට සෑම ආකාරයකම අනිසි ජාවාරම් සදහා ප්‍රසිද්ධිය උසුලයි. ඒ සෑම කටයුත්තක් පිටිපසම සිටින බලවත්තු කවරහුද? නීතිය හා ආගම ඔවුන් සොයා නොයන්නේ ඇයි? නීතිය ඔවුන් පසුපස ලූහුබැද ගිය විරල අවස්ථාවලදී නීතියට වූයේ කුමක්ද?
ඊනියා සිල්වතුනි හැකිනම් ඒ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න. මීගමුව වූ කලී හැම අතින්ම ඇතුළතින් ඕජස් ගලන කුණු ගද ගහන නමුත් බැහැරින් සුදු හුණු ගාන ලද සොහොන් කොතකැයි බයිබලීය භාෂාවෙන් අපි චෝදනා කරමු.
මී පුරය වනසන සැබෑ ව්‍යාග්‍රයන් නිරුපද්‍රිතව සිටියදී මුව හමට තඩිබාන අඥාණ මුග්ධයන් නොවන ලෙස අපි ඔබට ආයාචනා කරමු. මෙය මීගමුවට පමණක් සීමා වූ කථාවක් නොවන බව තවදුරටත් සදහන් කරනු කැමැත්තෙමු.
අජිත් හැඩ්ලි පෙරේරා/ kahaperera@yahoo.com