පළාත් සභාවෙන් ,මධ්‍යම රජයට ගත්තත් මීගමුව රෝහලේ අඩු පාඩු රැසක් ?

0
80

 

මීගමුව රෝහල පසුගිය කාලයේදී පාලනය වූයේ බස්නාහිර පළාත් සභාවෙනි. පළාත් සභා ප්‍රතිපාදන වලින් පමණක් මීගමුව වැනි සුවිශේෂී සහ ප්‍රධාන රෝහලක සෞඛ්‍ය සේවා කටයුතු නිසි ලෙස පවත්වාගෙන යෑම අසීරු කාරයයක් බවට පත්විය. මේ නිසාම ප්‍රදේශයේ ජනතාව මෙන්ම විද්වතුන් , සමාජ ක්‍රියාකාරිකයින් ,දේශපාලකයින් වැනි බොහෝ දෙනෙක් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ඉතා ඉක්මනින්ම මීගමුව රෝහල බස්නාහිර පළාත් සභාවෙන් මධ්‍යම රජයට පවරා ගන්නා ලෙසයි. මේ වන විට එය ඉටුවී තිබේ. එහෙත් මධ්‍යම රජයෙන් පාලනය වන වෙනත් රෝහල් වලට වඩා මීගමුව රෝහලේ අඩුපාඩු බොහොමයක් ඇති බවට පසුගිය කාලයේ මෙන්ම මේ දිනවලද රෝහලට පැමිණෙන ජනතාව මැසිවිලි නගමින් සිටි.

OPD එක ගැන රෝගින්ගේ මැසිවිලි

රෝහල පිළිබඳව කතා කරන බොහෝ දෙනකු නගන ප්‍රධානතම චෝදනාවක් වන්නේ රෝහලේ බාහිර රෝගී අංශයට (OPD) පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේදී සෑහෙන කාලයක් මිඩංගු කිරීමට සිදුවන බවයි. එලෙසම සායන වලට පැමිණෙන රෝගී ජනතාවට ද ඔවුන්ගේ ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් වෙනුවෙන් විශාල කාලයක් රෝහල තුළ මිඩංගු කිරීමට සිදුවන බවට දැනට කාලයක සිට නැගෙන මැසිවිල්ලකි .

සායන වලත් ගැටළු රැසක් !

එමෙන්ම බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් මෙන්ම සායන වලට පැමිණෙන රෝගීන් බොහෝ දෙනෙකුද පවසන්නේ උදෑසනම රෝහලට පැමිණෙන බාහිර රෝගීන්ට සහ සායන සඳහා පැමිණෙන රෝගීන් බොහෝ දෙනෙකුට එම වෛද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබාගෙන රෝහලින් පිටවීමට සිදුවන්නේ දහවල් කාලයත් ඉකුත් වීමෙන් පසුව බවය

රෝහලට පැමිණෙන බාහිර රෝගී අංශයේ සමහර රෝගීන්ට ද එලෙසම සායන සඳහා පැමිණෙන බොහෝ රෝගීන්ට ද වෛද්‍යවරුන් නියම කරන සමහර සුළු පරීක්ෂණයන් සඳහා ද වැඩි කාලයක් ගතකිරීමට සිදු වීම රෝගින් මුහුණ දෙන තවත් අපහසුතාවකි.

වෛද්‍යවරුන්ටත් බරපතල උපකරණ හිඟයක් ! ප්‍රෙෂර් බලන්නත් මැසින් නෑලු !

විශේෂයෙන්ම රුධිර පීඩනය පිළිබඳව කෙරෙන පරීක්ෂාවේදී ඒ සඳහා උපයෝගී වන රුධිර පීඩන මැනුම් උපකරණ හෙවත් ප්‍රෙෂර් මීටර් අවශ්‍ය පරිදි රෝහල තුළ නොමැතිවීම , මීගමුව රෝහලේ පවතින විශාලතම අඩුපාඩුවක් ලෙස වාර්තා වුණි

මේ පිළිබඳව අප කළ විමසීමකදී රෝහල් සංවර්ධන පදනමේ සහාපති ක්‍රිෂාන්ත දල්පදාදු මහතා ප්‍රකාශ කර සිටියේ රෝහලේ ඇති එම ප්‍රෙෂර් මීටර් කිහිපයක්ම නිසි ලෙස ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවයි . එහිදී ඔහු පැවසුවේ ඔහු ඇතුළු තවත් කීහිප දෙනෙකු විසින් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ද හවුල් කර ගනිමින් මුදලක් එකතුකර එම මුදල මීගමුව රෝහලට අඩුපාඩුවක්ව පවතින ප්‍රෙෂර් මීටර් මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කළ බවයි.
වාර්තා වන පරිදි රෝගීන් පරීක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය තවත් බොහෝ දේ මීගමුව රෝහල තුළ අඩුපාඩුවක්ව පවතී.

ශල්‍යාගාර ඇත ! වැඩ නැත !

එලෙසම මීගමුව රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල අලුත් වැඩියා කටයුතු පිණිස වසා දැමූ නිසා එහි ස්ථාපිත කර තිබූ ශල්‍යගාර 04 ක් තවමත් විවෘත කර නොමැති බවද වාර්තා වුණි. මෙයද රෝගීන්ට විශාල අඩුපාඩුවකි. ශල්‍යකර්ම පමාවීමට ද, සල්‍යාගාර තුළ කෙරෙන රෝගී පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීම ආදි සුවසේවා කටයුතු සඳහා මෙම ශල්‍යාගාර විවෘත නොවීම විශාල අඩුපාඩුවකි .

ඖෂධ වලත් බරපතල හිඟයක් !

රෝගීන් පවසන පරිදි පළාත් සභාවෙන් පාලනය වන කාලයේ දී මෙන් රෝහලේ තවමත් ඖෂධ හිඟයක් පවතී. බොහෝ අවස්ථාවල රෝගීන් විසින් සමහර ඖෂධ වර්ග පිටත ඔසුසල්වලින් රැගෙන ආ යුතු බවද වාර්තා වුනි.

(exercise ECG ) යන්ත්‍රයත් කැඩිලද ?

එලෙසම රෝහලේ හෘද රෝග ඒකකයට පැමිණෙන බොහෝ රෝගීන් හට දැඩි අවශ්‍යතාවයක් ව පවතින එක්සසයිස් ඊ.සී.ඡී. (exercise ECG ) යන්ත්‍රය ද මේ වන නිසි ලෙස ක්‍රියාත්මක තත්ත්වයේ නොමැත

ඒ සඳහා රුපියල් කෝටි 12 ක 13 ක පමණ මුදලක් වැය වන බව ද වාර්තා වුනි. එවැනි යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා මීගමුව රෝහල් සංවර්ධන පදනම මගින් ආධාර උපකාර කිරීමට හැකියාවක් ඇති බව එම පදනමේ සභාපති ක්‍රිෂාන්ත දල්පදාදු මහතා පැවසීය.ඒ සඳහා මේ වන විට රෝහල් අධ්‍යක්ෂකතුමා සමගින් සාකච්ඡා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

රෝහලට පැමිනෙන බොහෝ රෝගීන්ට තම කාලය නිකරුනේ බොහෝ සෙයින් වැය කරන්නට සිදු වන්නේ රෝහලට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන් , හෙද හෙදියන් සහ සුළු සේවක සේවිකාවන් නිසි පමානයට නොමැති වීම බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි

මධ්‍යම රජයට දුන්නත් ප්‍රමාණවත් කාර්යමණ්ඩල නැත

මීගමුව රෝහල බස්නාහිර පලාත් සභාවෙන් ,මධ්‍යම රජයට පවරා ගත්තත් එහි සැලකිය යුතු ලෙස විශේෂඥ වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන්, හෙද හෙදියන් , සහ අනෙකුත් කාර්‍යය මන්ඩල සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි වී  නොමැති වුවද  පෙර නොවු විරූ ලෙස මීගමුව රෝහලට පැමිනෙන රොිගීන්ගේ විශාල වැඩිවිමක් වී ඇති බවද දැක ගන්නට ලැබේ.

එසේ හෙයින් මීගමුව වැනි ප්‍රසිද්ධ වෙලඳ සහ සංචාරක නගරයක පිහිටි මෙම රෝහලට මධ්‍යම රජයෙන් පාලනය වන වෙනත් රෝහලකට ලැබිය යුතු සියලු පහසුකම් සහ සේවාවන් ද ලබාදීමට වගකිව යුතු බලධාරියන් ක්‍රියා කළ යුතු වේ.

එලෙසම වෙනත් රජයේ රෝහල්වලට ලබා දී ඇති විශේෂඥ වෛද්‍යවරුන් ,සාමාන්‍ය වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩල ද නිසි ප්‍රමාණයට මීගමුව රෝහලට ලබාදීමට කටයුතු කිරීම තුලින් දිනපතා මෙම රෝහලට පැමිණෙන , දහස් ගණනක් රෝගී ජනතාවට තම සුව සේවාවන් කඩිනමින් සිදු කර ගැනීමට හැකි වනු ඇත. එය වගකිව යුතු සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් සේම පරම යුතුකමක් ද වනු ඇත.