ප්‍රංශයේ සංක්‍රමණිකයන් සඳහා කමිටුවක්

0
85

9051593

සංක්‍රමණිකයන් මුහුණ දෙනු ලබන ගැටලු නිරාකරණය කරගනිමින් ඔවුන්ට වඩා යහපත් තත්වයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සංක්‍රමණිකයන් සඳහා වූ කමිටුවක් පසුගියදා ගොඩනැගිණි. ඒ සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුයේ ප්‍රංශයේ , හතරවන ජාත්‍යන්තරයට අයත් පක්ෂයක් වන Nouveau Parti Anticapataliste (NPA) . මෙම සංක්‍රමණිකයන් සඳහා වූ කමිටුව NPA යටතේ අනුබද්ධ සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති. ලොව පුරා නන් දෙසින් ප්‍රංශයට පැමිණ සිටින විවිධ ජාතිකත්වයන්ට අයත් සංක්‍රමණිකයන්ගෙන් මෙය සමන්විතය.

විශේෂයෙන් ආසියානු කලාපිය ශ්‍රීලංකාව ,ඉන්දියාව , ටිබෙට් ,පකිස්ථානය ,බංගලාදේශය , ඇෆ්ගනිස්ථානය , බුරුමය , චීනය , පිලිපීනය , නේපාලය රටවලින් සංක්‍රමණය වන්නන්ට මුහුණ දීමට සිදුවන භාෂා අර්බුදය සමනය කරනු වස් කමිටුව අංශ දෙකකින් ක්‍රියාත්මක වේ. එක් අංශයක් ඉංග්‍රීසි භාෂාවෙන්ද අනෙක් අංශය අප්‍රිකානු සහ මැද පෙරදිග රටවල සංක්‍රමණිකයන් සඳහා ප්‍රංශ භාෂාවෙන් ද සන්නිවේදන කටයුතු කරනු ලබයි.

කිසිදු නිත්‍යානුකුල බලපත්‍රයක් නොමැතිව දැනට ප්‍රංශයේ වෙසෙන සංක්‍රමණිකයන්ට බලපානු ලබන විසා ගැටළු කෙරෙහි NPA – සංක්‍රමණිකයන් සඳහා වූ කමිටුවේ විශේෂ අවධානය යොමු වේ . ඔවුන්ගේ ලියකියවිලි පිළියෙළ කිරීම , පරිවර්තන කටයුතු , අධිකරණ සහ ආගමන විගමන පොලිස් කටයුතු වලදී අවශ්‍ය නීති උපදෙස් සහ සහාය ලබා දීමට මෙම කමිටුව කටයුතු කරනු ඇති.

එමෙන්ම දැනට ප්‍රංශ රජයේ විසා බලපත් හිමි රැකියාවල නියුතු සංක්‍රමණික ශ්‍රමිකයින් සිය සේවා ස්ථානවලදී මුහුණ දෙනු ලබන ගැටලු වෙනුවෙන්ද මෙම කමිටුව මැදිහත් වේ . ඒ සඳහා අවශ්‍ය උපදෙස් NPA වෘත්තීය සමිති ක්‍රියාධරයන් ගෙනි .

මේ අතර සංක්‍රමණිකයන්ගේ භාෂා ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ප්‍රංශ භාෂා පන්ති , දේශපාලන , කළාසංස්කෘතික වැඩසටහන්ද සංක්‍රමණිකයන් වෙනුවෙන් සංවිධානය කෙරෙනු ඇති .

පවතින ධනේශ්වර ක්‍රමය යටතේ සකල විධ නොසලකා හැරීම්වලට ලක්වූ සියලු සංක්‍රමණිකයන් එක් විය යුතු බව NPA පෙන්වාදෙයි . වත්මන් ප්‍රංශ සමාජවාදී පක්ෂ ආණ්ඩුව සමාජවාදයට අතවනා ධනවාදය වෙත ගමන් කරමින් සිටින බව මේ අතර NPA චෝදනා කරයි .

වර්ගවාදයට එරෙහිව, සමාන අයිතීන් දිනාගැනීම වෙනුවෙන් වන උද්ඝෝෂණයක් දෙසැම්බර් 7 සෙනසුරාදා පස්වරු 1.30 ට පැරිස් 18 බාර්බේස් හි දී පැවැත්වේ . සංවිධානය NPA සහ සංක්‍රමණිකන් සඳහා වූ කමිටුව මගිනි.

සටහන අතුල විතානගේ

athulav@gmail.com