2010 ජනවාරි 24 වෙනිදා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ගෙදරින් ගියා ගියාමය තාම ගෙදර පැමිණ නැත. එදා මෙදා තුර ඔහුගේ ප්‍රිය බිරිය සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ඔහුගේ කුඩා ඡායා රූපයක්ද සමගින් තවමත් ඔහු සොයා ඇවිදිමින්, කන්නලව් කරමින් සිටින්නීය. ‘උබලා මගේ මිනිහට මොකද කළේ’ ඇය නිරන්තරව අසන්නී ය. 2010 ජනාධිපතිවරණයෙන් පසුව දැන් දෙවෙනි වතාවටද ජනාධිපතිවරණ වේදිකාවට ප්‍රගීත් එක්නැළිගොඩ පැමිණ ඇත! 2015 ජනාධිපතිවරණ වේදිකාවේ විශාල ඉඩක් අතුරුදන් කරනු ලැබූ මෙම මාධ්‍යවේදියාගේ කතාවට වෙන්විය. ඒ කතාව අසා සිටි බොහෝ දෙනෙක් පුරවැසියෝ මෛත්‍රී යුගයක් පතා මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය භාවිතා කළේය. ඒ මෙම මාධ්‍යවේදියාට එමගින් නොපමාව යුක්තිය ඉටුවෙයි යන බලාපොරොත්තුව සමගින් ය. අප සිතූ ලෙසම අප පත් කළ ජනාධිපතිවරයා කටයුතු කළේ නැත. ඔහුගේ පුංචි මොළයට එදා ඔහු දුන් පොරොන්දු ඉටු කිරීමේ යුතුකම තේරුණේ නැත. යුක්තිය පතා ආ මිනිසුන් අමතක කර ඔහු චූදිතයින් පසුපස යන්නට විය. එහි ප්‍රථිපලය අද ඔහු භුක්ති විඳිමින් සිටියි. එහෙත් ඔහුගේ පාලන සමය තුළ රාජපක්ෂවරුන්ගේ පාලන කාලය තුළ නැවතී තිබුණ මෙම මාධ්‍යවේදියා අතුරුදන්වීම පිළිබඳ පරීක්ෂණ නිසි මගට පීලි පැන බොහෝ දුරක් ගියේ ය. එනිසා අද අපි මේ මාධ්‍යවේදියාට වුණේ මොකද්ද යන තිත්ත ඇත්ත දනිමු.
මෙම මාධ්‍යවේදියා දෙවෙනි වරට පැහැරගෙන යන්නේ ජනාධිපතිවරණ මැතිවරණ සමයකදී ය. ඒ කාලය තුළ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළේ දැන් මට ජනාධිපති පුටුව දෙන්න යැයි, ජනපතිවරණ වේදිකාවට ගොඩවී සිටින ගෝඨාභය රාජපක්ෂය. ඔහු අද වේදිකාවට ගොඩවී බෙරිහන් දෙන්නේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරනවා කියමින් ය. එහෙත් සත්‍ය ඔහු රටේ ආරක්ෂාව භාර අමාත්‍යාංශයේ ඉහළම නිළධාරියා සේ කටයුතු කරන කාලයේ මාධ්‍යවේදීන් මෙලෙස උස්සගෙන ගොස් අතුරුදන් කරන රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමය. ඔහු එය නොදැන සිටියානම් ඔහු කොහොමටවත් ජනාධිපති තනතුරට සුදුසු නැත. ඔහු එම යාන්ත්‍රණය පිළිබඳව දැනගෙන එය නොසලකා එවක කටයුතු කළානම් ඔහු ජනපති පුටුවට නන්වා හිඳවීම පසෙක ලා ඔහුව බන්ධනාගාරයට යැවිය යුතුය.
කෙසේ හෝ මේ වනවිට ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණ අවසන්ව ඇත. ඉදිරියේදී මෙම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නට නියමිතය. මෙම ලියුම්කරු මේ අතුරුදන් කිරීම පිළිබඳව පුවත්පත් ලිපි මාලාවක් ලිවීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවක සටහන් වී තිබුණේ මෙම මාධ්‍යවේදියාගේ පැහැර ගැනීම ආරක්ෂක ලේකම්වරයෙකුගේ නියෝග ප්‍රකාර සිදුවී ඇති බවය. එම තොරතුර එහි සඳහන් වූවේ සාජන් මේජර් රණ්බණ්ඩාගේ සාක්ෂියක් ලෙසය. කවුද මේ ආරක්ෂක ලේකම්? එම ප්‍රශ්නාර්ථය නගමින් ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියා අතුරුදන් කිරීම පිළිබඳව මෙසේ නැවත ලියන්නට සිතුවෙමි.
රණ්බණ්ඩාගේ සාක්ෂිය
‘ මම ගිරිතලේ වැඩ කළේ 2009 අගෝස්තු මාසේ ඉඳලා. ඒ කර්නල් ෂම්මි කුමාරරත්න යටතේ. ඒ කාලේ එල්ටීටීඊ සංවිධානයේ රැඳවියෝ 9 දෙනෙක් විතර අපේ කඳවුරේ විශේෂ ස්ථානයක රඳවලා හිටියා. ඒ අය අතර සුමතිපාල සුරේෂ් කුමාර් නොහොත් තවේන්ද්‍ර නොහොත් මුරලි කියලා කෙනෙක් හිටියා. දවසක් මගේ රාජකාරි දූරකථනයට ෂම්මි සර් කෝල් එකක් ගත්තා. කෝ මුරලි ඉන්නවද දෙන්න පෝන් එක කියලා කිව්වා. ඊට පස්සේ මම දූරකථනය ඔහුට දුන්නා. මුරලි කතාකරලා ඉවරවෙලා මට ආයි පෝන් එක දුන්නා. ඒ වෙලාවේ සර් කිව්වා මම මුරලිට වැඩක් කිව්වා ඒක ආරක්ෂක ලේකම්තුමාගේ වැඩක් ඒක අදම කෙරෙන්න ඕනී කියලා. ඒක මුරලි එක්ක කතාකරගන්න කියලා. ඊළඟට මුරලි කිව්වා ‘අද නාදන් කොළඹ යනවා (මේවනවිට නාදන් නැමති බුද්ධි නිළධාරියා මුරලිගේ සහෝදරයෙක් ලෙස ප්‍රගීත් එක්නැළිගොඩට හඳුන්වාදී ඇත) නාදන්ට ප්‍රගීත්ව මුණගස්සන්න කියලා. ඒක ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙසක් කියලත් කිව්වා’. මම ඒවෙලාවේ මුරලිගෙන් ඇහුවා එහෙම කොහොමද මුණගස්වන්නේ කියලා. එතකොට තමයි ඔහු කිව්වේ මීට කලින් මේජර් ප්‍රබෝධ සිරිවර්ධන සහ කණ්ඩායමක් එක්ක හබරණට ගිහිං ප්‍රගීත්ව හමුවුණ වෙලාවේ නාදන් තමන්ගේ සහෝදරයෙක් කියලා හඳුන්වා දුන්නා කියලා.’
දැන් ඔබට ප්‍රගීත්ගේ පැහැරගෙන යාම පිළිබඳ කතාව කලින් කියවා නැතිනම් කවුද මේ මුරලි යන්න ගැටලුවක් වන්නට පුලුවන් ය. මුරලි යනු සැකවින් හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් ලෙස හඳුනා ගන්නට හැකිය. ඔහු 2009 මැයි 15 වැනිදා මුලතිව් හිදී හමුදාවට භාරවී ඇත. මුරලි සහ ප්‍රගීත් මුණගැසෙන්නේ 2002 අවුරුද්දේ සටන් විරාම කාලයේ මඩු දේවස්ථානයේදීය. එහිදී ඔවුන් මිතුරන් බවට පත්වෙන අතර පසුව දෙදෙනා අතර දිගින් දිගටම දූරකථන සම්බන්ධතා සමග මිත්‍රත්වය පැවතී ඇත. මේ මිත්‍රත්වය යුද්ධ හමුදා බුද්ධි අංශය දැනගන්නේ මුරලි අත තිබෙන ප්‍රගීත්ගේ දූරකථන අංකය අනාවරණය වීම සමගය. මෙහිදී ඒ පිළිබඳව මුරලිගෙන් බුද්ධි අංශය ප්‍රශ්න කර ඇත. ඊට පසුව ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගැනීම සඳහා මුරලි යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් භාවිතා කර ඇත. එම බුද්ධි මෙහෙයුම ගිරිතලේ කඳවුර තුළ ෂම්මි කුමාරරත්නගේ අණදීමෙන් සිදුවී ඇත. දැන් අපට නැවත මුල් කතාවට යා හැකිය.
ප්‍රගීත් ගිරිතලේට ගෙන ඒම
ඉහත කී ලෙස නාදන් කොළඹ යන්නේ ප්‍රගීත් පැහැර ගැනීමටය. ඔවුන් බත්තරමුල්ල සහ රාජගිරිය අතර ප්‍රදේශයකට ප්‍රගීත් එක්නැළිගොඩ ගෙන්වාගෙන එහිදී පැහැරගෙන ඇත. මෙහිදී ප්‍රගීත් එක්නැළිගොඩ රාජගිරිය ඊ නිව්ස් කාර්‍යාලයේ සිට නාදන් මුණගැසීම සඳහා පැමිණ ඇත. මේ කරුණු දූරකථන කුලුනු දත්ත වාර්තා පැහැදිලිව සනාථ කරයි. එමෙන්ම එදින ප්‍රගීත් සමග සිටි ඔහුගේ මිතුරන්ද මෙම හමුව සඳහා ප්‍රගීත් පිටව ගිය බව සනාථ කරයි. එම තොරතුරු සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇත. එලෙස පැහැරගන්නා ප්‍රගීත් එදිනම ගිරිතලේ බුද්ධි කඳවුර වෙත රැගෙනවිත් ඇත. ප්‍රගීත් ගිරිතලේ කඳවුරට ගෙනා බව සාජන් මේජර් රණ්බණ්ඩාගේ සාක්ෂියෙන් සහ එම කඳවුරේ එම කාලයේම රඳවාගෙන සිටි එල්ටීටීඊ සාමාජික රාම්ගේ ප්‍රකාශයෙන් තහවුරු වෙයි. අපි මුලින්ම රණ්බණ්ඩාගේ සාක්ෂිය වෙත යමු.
‘නාදන් මට රෑ කතාකරලා කිව්වා ප්‍රගීත්ව හමුවුණා කියලා. පස්සේ 2010 ජනවාරි 25 උදේ 10ට විතර එල්ටීටීඊ සාමාජික රාම්ව රඳවලා සිටින සිරමැදිරිය ළඟ තියෙන ගල ගාවට මට එන්න කියලා කෝප්‍රල් රංජි කතා කරලා කිව්වා. මම එතනට ගියා. ඒ යනකොට ඇස් දෙක බැඳපු මිනිහෙක් ගල උඩ වාඩි කරවලා හිටියා. රංජි මට කණට කරලා කිව්වා මේ තමයි ප්‍රගීත් එක්නැළිගොඩ කියලා. පස්සේ මම මිනිහට කතා කළා. මිනිහා කිව්වා මම ප්‍රගීත් කියලා. ඊට පස්සේ එකට ස්ටේෆ්ලර් කරපු කාටූන් චිත්‍ර තියෙන කොළ දහයක් මට රංජි ගෙනත් දුන්නා. ඒ කාටූන් චිත්‍රවල හිටියේ රාජපක්ෂ පවුලේ අය. එදා මම අවස්තා දෙකකදී මේ කාටූන් චිත්‍ර ගැන ඔහුගෙන් ප්‍රශ්න කළා. ඊට පස්සේ දවල් කෝප්‍රල් නාදනුයි, කෝප්‍රල් රංජියි ඇවිත් ෂම්මි සර් ගාවට අරගෙන යනවා කියලා ප්‍රගීත්ව අරගෙන ගියා.’ මෙම රැගෙන යාමෙන් පසුව ප්‍රගීත්ට වූ දෙයක් කිසි කෙනෙක් දන්නේ නැත. කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුලු මෙම අතුරුදන් කිරීමට සැක කිසිම කෙනෙක් මේ ගැන කටක් හොලවන්නේ ද නැත. එහෙත් කර්නල් ෂම්මි කුමාරරත්නගේ සහ මේ අපරාධකරුවන්ගේ දූරකථන දත්ත විශ්ලේෂණය කළ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රගීත් එක්නැළිගොඩ බත්තරමුල්ල ප්‍රදේශයේ සිට ගිරිතලේ හරහා අක්කරෙයිපත්තුව ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත. එම තත්ත්වය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක කරන්නේ අක්කරෙයිපත්තුව බුද්ධි කඳවුර තුළදී ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය කරන්නට ඇති බවය.
ප්‍රගීත් එක්නැළිගොඩ ගිරිතලේ කඳවුරේ ගලක් උඩ රඳවා ප්‍රශ්න කිරීම සනාථ කරමින් ඒ අසළ රඳවා සිටි එල්ටීටීඊ සාමාජික එදිරිමානසිංහම් ආරච්චි චන්දිරන් නොහොත් රාම් නැතිනම් වින්සන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී ඇත. ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ 2010 ජනවාරි ජනාධිපතිවරණයට ආසන්න දිනකදී සිංහල මිනිහෙක් ගෙනවිත් තමන් රඳවා සිටි කුටිය අසල රඳවාගෙන ප්‍රශ්න කළ බවය. එහිදී සරත් ෆොන්සේකාට උදව් කිරීම පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කරනවා තමන්ට ඇසුණු බව රාම් ප්‍රකාශ කර ඇත.
මෙම අවධියේ ප්‍රගීත් එක්නැළිගොඩ සරත් ෆොන්සේකාගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුමට දායක වෙමින් සරත් ෆොන්සේකා මහතාගේ යුද්ධ මෙහෙයුම් අළලා නිර්මානය කරන වාර්තා චිත්‍රපටයකට සම්බන්ධවී සිට ඇත. එමෙන්ම ඔහු රාජපක්ෂ පවුල් ගහා නම් කුඩා පොත්ක්ද නිර්මාණය කර ඇත. එහි සඳහන් වී තිබී ඇත්තේ 2009 අවුරුද්ද අවසන් වනවිට රාජපක්ෂ පවුලේ කී දෙනෙක් රජයේ ඉහළ තනතුරු දරමින් සිටියාද යන්නයි. එය එකල බෙහෙවින් කතාබහට ලක්විය. සාජන් මේජර් රණ්බණ්ඩා, තමන් ප්‍රශ්න කළා කියන කාටුන් කොළ දහය එය වන්නට පුලුවන් ය. මෙම කරුණු සලකා බැලීමේදී පැවති රාජපක්ෂ රෙජීමයට අපි දන්නේ නැහැ කියමින් මෙම අතුරුදන් කිරීමෙන් ගැළවෙන්නට බැරිය. එනිසා මෙම සාක්ෂි ඇතුළත කියවෙන මෙම පැහැර ගැනීමට නියෝග ලබාදුන් ආරක්ෂක ලේකම්වරයා කවුරුන්දැයි සොයාගත යුතුය. හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ඇතුලු හිටපු හමුදාපතිවරුන් මෙම අතුරුදන් කිරීමේ පරීක්ෂණවලට සහාය ලබාදීම දිගින් දිගටම මගහැරියෝ ය. එම තත්ත්වය තුළ අතුරුදන් කරනු ලැබූ ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියාගේ සිරුර සොයා ගන්නට පරීක්ෂණ කණ්ඩායමට නොහැකි විය. එමෙන්ම දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවන්ට මෙම අතුරුදන් කිරීම සඳහා නියෝග ලබාදුන්නේ කවුරුන්දැයි සොයා යන්නට නොහැකි විය. එහෙත් මෙම පැහැර ගැනීම සහ අතුරුදන් කිරීම පිළිබඳව සොයා ගොනුකරගෙන තිබෙන පර්‍යේෂණීය සාක්ෂි ප්‍රභලය. එනිසා ඉහළින් ලැබුණු නියෝග අනුව කටයුතු කළ කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුලු හමුදා නිළධාරීන්ට උසාවියෙන් දඬුවම් පමුනවනවා නියතය.
anidda.lk